පොහොට්ටුවත් එජාපයත් අතර දේශපාලන සංහිඳියාවක් තිබෙනවා! – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

57

ඕනෑම දේශපාලන ගැටුමක් කාලානුරූපව වෙනස් වනවා නම් හොඳයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ විශේෂ අවධානය යොමු ව ඇති ගැටළුව වන්නේ මෙම අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය පවත්වාවිද නැද්ද යන්නයි. එම ගැඑළුව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා දැක්වු දඅහස් මෙසේය.

ප්‍රශ්නය- විපක්‍ෂය දිගින් දිගටම චෝදනා කළා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සාහ දරමින් සිටින බවට. පසුගියදා කැබිනට් මණ්ඩලයේ නියෝගය පරිදි පළාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් විපක්‍ෂය කරන චෝදනාව සත්‍ය බව පසක් වනවා නේද?

පිළිතුර- මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට. ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ වන විට අප සූදානම් වන්නේ දේශපාලන පක්‍ෂ ලෙස මිස ආණ්ඩුව ලෙස නොවෙයි. ඒ අනුව මැතිවරණයට සූදානම් වීම යන කාරණයට මට උත්තර දෙන්න වෙන්නෙත් පක්‍ෂයක් විදියට. අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන බව සද්භාවයෙන් යුතුව ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රකාශ කරලා තිබෙනවා. පළමු අවස්ථාවේදී අපි පුවත්පත්වල දැන්වීම් පළ කරලා අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවූවා. ඒ වගේම නාමයෝජනා පත්‍ර සකස් කිරීම, ප්‍රචාරාත්මක ආකාරයෙන් සිද්ධ කළා. ඇප මුදල් තැම්පත් කිරීමත් ඒ ආකාරයෙන් කළා. මේ වනවිට නාමයෝජනා සකස්කිරීමේ ක්‍රියාවලි අවසාන අධියරට පැමිණ තිබෙනවා.

ඒ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දිසාපතිවරුන් අමතමින් ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කළා. නමුත් ඇප මුදල් භාර ගන්නේ දිසාපතිවරයා විසින් නොවෙයි. ඇප මුදල් භාරගැනීම සම්බන්ධව අදාළ බලධාරීත්වය තිබෙන්නේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට. එම කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින්. එම නිසා එම ලිපියේ ප්‍රායෝගික ගැටලුවකුත් තිබෙනවා. මම ඒ පිළිබඳව හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සමග කතා කළා. එතුමා ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළා 2017 දීත් එබඳු සිදුවීමක් ඇතිවී ඇති බවත් නමුත් ප්‍රායෝගිකව කිසිදු බලපෑමක් සිදුනොවූ බවත්.

ප්‍රශ්නය- එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වූයේ නැතිනම් ආණ්ඩුවට සම්බන්ධ කුමන පක්‍ෂය විසින්ද ඒ සඳහා කටයුතු කර තිබෙන්නේ.

පිළිතුර- මේ පිළිබඳව මම කාටවත් හොඳ කියන්නේ හෝ දොස් කියන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කර ගත් තීරණයක් දැනුම් දීම සඳහා තමයි එම ලිපිය යොමුකර තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය තුළ ඇති වූ සාකච්ඡාව පිළිබඳව මට පෞද්ගලිකව අදහසක් නෑ. කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරන දේවල් සාමාන්‍යයෙන් ඉන් පිටත සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වගේම පක්‍ෂයක් ලෙසත් පෞද්ගලිකවත් අපිට ඒ ලියුම පිළිබඳව උනන්දුවක් නැහැ. අපේ සම්බන්ධයකුත් නෑ.

ඡන්දය කැඳවීම සහ පැවැත්වීම කියන එක අපට අදාළ කාර්යයක් නොවෙයි. අපි මුල ඉඳලම ඒ පිළිබඳව සඳහන් කළා. ඒ සම්බන්ධ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම මේ වනවිටත් දින වකවානු සහිතව ඔවුන්ට පැවරී ඇති වගකීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. අපි එම තත්ත්වයන් අනුගමනය කරමින් මේ වනවිටත් මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටිනවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කැබිනට් ඇමැතිවරුන් ලෙස කටයුතු කරනවා. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට මේ පිළිබඳව දැනුම්දී නැද්ද?

පිළිතුර- කැබිනට් මණ්ඩලය රැස්වන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඒ පිළිබඳව අදහසක් අපගේ සාකච්ඡාව තුළ තිබුණේ නැහැ. නමුත් කැබිනට් මණ්ඩලය තුළදී ඒ පිළිබඳව හදිසි කාරණයක් ලෙස සාකච්ඡා කළාද දන්නේ නැහැ. ඒ පිළිබඳව අපි නිල වශයෙන් දැනුවත් භාවයක සිටියේ නැහැ.

ප්‍රශ්නය- පළාත් පාලන මැතිවරණය කිසිසේත්ම කල් නොයන බවද ඔබ සඳහන් කරන්නේ.

පිළිතුර- ඡන්දය කල්යෑම කියන එක අපේ පාලනයෙන් බැහැර සාධකයක්. ඔබ මගෙන් අහනවා නම් ඡන්දය කල් දැමීමට ඔබ කැමතිද කියලා. මම කියන්නේ ඡන්දය කල් දැමීමට පොදුජන පෙරමුණ කැමති නැහැ කියන එක තමයි. මොකද ඡන්දය කල් දානවා කියන එක අපේ දේශපාලන කඳවුර තුළ නොතිබුණ අර්බුදයක්. අපිට ඕන තරම් අර්බුද තිබෙනවා. අපි ඇයි තවත් අර්බුදයක් කඳවුර ඇතුළට ගන්නේ. මැතිවරණ කල් නොදැමීම සම්බන්ධයෙන් අපිට කීර්තිනාමයක් තිබෙනවා. ඇයි අපි එම කීර්තිනාමය නැති කර ගන්නේ.

ඕනෑම දේශපාලන පක්‍ෂයකට විවිධ අනන්‍යතාවයන් තිබෙනවා. දේශපාලන පක්‍ෂයක අනන්‍යතාවය කියන්නේ එම පක්‍ෂයේ ලකුණ හෝ පාටට නොවෙයි නේ. පක්‍ෂයක දේශපාලන අනන්‍යතාවය කියල කියන්නේ එම පක්‍ෂය විසින් අනුගමනය කළ ප්‍රතිපත්තීමය කාරණාවලට. අපේ පක්‍ෂයට කැමැති අකමැති සියලු දෙනාම කියපු කාරණයක් තමයි මුං හරියට ඡන්දය තිබ්බා කියන එක. අපේ පාර්ශ්වයේ හරි කවුරුහරි හිතනවා නම් මේ ඡන්දය කල්දාන්න ඕනි කියලා මට කියන්න තිබෙන්නේ ඇයි අපි නිසි කලට ඡන්දය තිබ්බා කියන කීර්තිනාමය නැතිකර ගන්නේ ඇයි කියන එක තමයි. මේ දක්වා අපි බොහෝ දේවල් අහිමි කරගෙන තිබෙනවා. ඇයි අපි තවදුරටත් අපි සතු දේවල් අහිමි කර ගන්නේ. ඒ දේවල්වල අවාසිය අපි කොහොමද ගණනය කරන්නේ.

මේ වෙලාවේ ඡන්දයක් ආවොත් අවාසියි කියල ගණන් හදන අයත් සිටිනවා. නමුත් ඡන්දය නොපැවැත්වීමේ අවාසියත් අපි ගණනය කළ යුතුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාවීම අවශ්‍යයි. ඒ සඳහා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. අපි කණ්ඩායමක් මැදට ගිහින් ඇසුවොත් ඡන්දයක් ඕනද කියලා එක් කොටසක් කියාවි ඡන්දය ඕනියි කියලා. තවත් කොටසක් කියාවි ඡන්දය එපා කියලා. නමුත් ඒ පිරිසෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ඕනිද එපාද කියල ඇසුවොත් මොකක් කියාවිද? කිසි සැකයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය ඕනියි කියලා සියලු දෙනාම කියාවි. එහෙම නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාවීම සඳහා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය වනවා. ඒ අනුව මැතිවරණවලට අකමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති වීමක් පිළිබිඹු වනවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂයත් සමග සන්ධාන ගතවීමේ අවසන් තීරණය කුමක්ද?

පිළිතුර- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්තරා දේශපාලන සංහිඳියාවක් ගොඩනැඟී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ මොහොතේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය විසින් ආණ්ඩු කරමින් සිටිනවා. එහිදී අපට සිදුවී තිබෙන අහිමිවීම් පිළිබඳව තර්කයක් මතුවෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බැලුවහම මේ වනවිට ආණ්ඩු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය විසින්.

දැන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ වනවිට ගොඩනැඟී තිබෙන සංහිඳියාවට බාධාවක් නොවන ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි. පළාත් පාලන මැතිවරණය නිසා මේ වනවිට ගොඩනැඟී තිබෙන සංහිඳියාවට බාධාවක් එල්ල වුවහොත් අලුත් ආරවුලක් නිර්මාණය වනවා. එම නිසා අපි මේ වනවිට සාකච්ඡා කරමින් සිටින්නේ අවම එකඟතාවයක් සහිතව හෝ මෙම මැතිවරණයේදී ගොඩනැඟී තිබෙන සාමය පවත්වාගෙන යමින් මෙම මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද කියන එක පිළිබඳව. අපි දෙපාර්ශ්වයට එකඟවිය හැකි කාරණා සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න අපේක්‍ෂා කරනවා. එහිදී අපි ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ විධියට අර්බුදයක් ඇති නොවන ලෙස තරග කරන්නේ කෙසේද කියන එක සාකච්ඡා කරනවා මිස මෙහිදී එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමක් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ.

ප්‍රශ්නය- රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ බෙදුම්වාදයට පක්‍ෂක්ග්‍රාහී බවටත්, මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු බවටත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය චෝදනා කළා. මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය තුළ තවදුරටත් එම චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නැහැ. එම තත්ත්වය ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි කෙසේද බලපාවිද?

පිළිතුර- දේශපාලන වශයෙන් බැලුවහම ඔය ප්‍රශ්නය ඉතාම සාධාරණයි. ඔය ප්‍රශ්නය ඔහොමම අහන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණෙන් 2010 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් නම් කරන ලද අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා. එම මැතිවරණ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අතට නොවෙයි කරට අරන් කටයුතු කරනවා. නමුත් 1987-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළ ආකාරය අරගෙන බැලුවොත් 2010 දී කටයුතු කළ ආකාරයේ අවුලක් තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා උත්තරයක් ඇති. නමුත් මම එය හරි හෝ වැරදියි කියලා කියන්නේ නැහැ.

ඕනෑම දේශපාලන ගැටුමක් කාලානුරූපව වෙනස් වනවා නම් හොඳයි. ඒ වගේම අතීතයේ අපිට එකඟවන්න බැරි කාරණා සම්බන්ධයෙන් පැවති සංවාදය ඒ ආකාරයටම තිබුණාවේ. රට වෙනුවෙන් එකඟවන්න පුළුවන් තැන්වලදී එකඟවෙලා වැඩ කරනවා. එයින් අදහස් වන්නේ නැහැ වසර 45 ක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලනය අනුමත කරන බව.

අර්බුදයක් විසින් තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වූයේ. එම අර්බුදය විසින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළා. ඒ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන ආවේ අපි විසින් නෙවෙයි. නමුත් එතුමා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධුරයට පත්කළේ අපි විසින් කියන එක අපි පිළිගන්නවා. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස කියලා කෙනෙකුට තර්කයක් ගොඩනඟන්න පුළුවන්. නමුත් මම එහෙමම කියන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරලා අපි මේ දේශපාලන ගමන යන්නේ රටේ තිබුණ එක්තරා දේශපාලන අර්බුදයකට විසඳුමක් ලෙස. එයින් අදහස් වන්නේ නැහැ අපි සමස්තය සමග එකඟයි කියන එක. එකඟවන්න බැරි තැනක් වර්තමානය තුළදී මතුවෙනවා නම් අපි ඒ පිළිබඳව විවෘතව කතා කරනවා.

ඒ වගේම අතීතයේ අප කළ කී දෑ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාටත් විවේචනයක් ඇති. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ සමහර අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපේ කඳවුරටත් විවේචනයක් තිබෙනවා. ඒ පිළිබඳව කතාකරන අවස්ථාව මේක කරගත්තොත් ඊට වඩා දෙයක් අපිට නැතිවෙන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත් මීට වඩා නරක තැනකට වැටෙන්න අපිට සිද්ධ වෙනවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු 35 ක් නියෝජනය වන පරිදි නිදහස් ජනතා සන්ධානය නමින් නව දේශපාලන පෙරමුණක් පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතුවලට නව සන්ධානය අභියෝගයක් නේද?

පිළිතුර- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධියට අපි කැමතියි ප්‍රබෝධමත් ප්‍රතිවාදීන් සහිත තරග බිමක මැතිවරණයට එන්න. අලුත් යැයි ඔවුන් විසින් හඳුන්වන සන්ධානය අපි ආදරයෙන් මෙම තරග පිටියට පිළිගන්නවා. අපේ පෙරමුණ සෑමදාම සාර්ථක ප්‍රතිවාදීන් සහිත තරග බිමක් ඇලුම් කළ පිරිසක්. මේ මොහොතේ එය ඒ විධියටම අදාළයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment