පොහොට්ටුවේ දේශපාලන ළිං මැඩියෝ සහ මැඬලිය නොහැකි අරගලයේ අපේක්‍ෂා!

394

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්‍ෂා කළ ආකාරයට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හා සමාජ ආර්ථික ක්‍ෂේත්‍රවල උග්‍ර පරිහානිය විසින් පීඩනයට පත්කරන ලද ජන ජීවිතවලට සහනයක් ලබාදීමට මෙතෙක් නොහැකි වී තිබේ. දශක ගණනාවක විනාශකාරී දේශපාලන ක්‍රියාකාරකම් සැණකින් ප්‍රකෘති කළ හැකි, ප්‍රාතිහාර්ය පෑමේ බලයක් ජනාධිපති රනිල්ට නැති බව කව්රුත් දනිති. එසේම වසර දෙකකට නොඅඩු කාලයක් මේ රට දේශපාලන නිරයක් බවට පත් කිරීමට මෙන්ම එහි නායකයන්ට රට හැර පලායෑමට ද සිදු වූ වාතාවරණයට වග කිව යුතු පොහොට්ටුවේ බහුතරයක් සමග ජනාධිපතිට අලුත් දෙයක්, සාධනීය වෙනසකට මුල පිරීමක් හෝ කළ නොහැකි බව ද පැහැදිලිය. නිදහසින් පසු මෙරටේ පාලනය භාර වූ දේශපාලන පක්‍ෂ හා එහි නායක කාරකාදීන් විසින් අනුගමනය කරන ලද දූෂිත හා වංචනික සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිපත්තිවල විපාක උත්සන්න වූයේ පොහොට්ටු පාලන සමයේදීය. සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරමින් 69 ලක්‍ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභය ජනාධිපතිවරයා සමග රටම ගමන් කළ අන්ධකාර අගාධයට පහන් එළියක් හෝ දල්වාලීමට ඔවුන්ට නොහැකි විය. දැන් පොහොට්ටුව හැරගොස් සිටින කණ්ඩායම්වල ද මේ සමාජ පරිහානියට වගකිව යුතු අය සිටිති.

කෙසේ හෝ පොහොට්ටුවට එරෙහිව නැඟුණු ජනතා විරෝධය, ගාලුමුවදොර අරගලය මහා බලවේගයක් බවට පත් වූ ආකාරයත් එයින් ඇදවැටුණු රාජපක්‍ෂ කඳවුර පිළිබඳ කතාවත් රටම දනී. ඒ පොහොට්ටුව සමග ගෝඨාභය විනාශ කළ සමාජ ආර්ථික දේශපාලන ගමන වළක්වා එයට සාධනීය වර්ධනයක් ලබාදීමේ භාරධූර වගකීම පැවරුණේ රාජපක්‍ෂ දේශපාලන කඳවුරෙහි පසමිතුරකු වූ රනිල්ටය. එහෙත් අපේ දේශපාලන පරිහානියේ දුබලතා, අක්‍රමිකතා දුරලමින් එයට සාධනීය මුහුණුවරක් දීමට ජනාධිපති රනිල් දරන ප්‍රයත්නය හා එයට හරස්වන පොහොට්ටුවේ ක්‍රියාකාරකම් කෙබඳු දැයි දැන් කරළියේ සිදුවන විකෘති රැඟුම්වලින්ම දැකබලා ගත හැකිය. ඇත්ත වශයෙන්ම අද පොහොට්ටුවේ අරමුණ හා ජනාධිපති රනිල්ගේ අපේක්‍ෂා අතර යම් ප්‍රතිවිරෝධතාවක් ද දැක ගත හැකිය. පොහොට්ටුවට වුවමනා යළිත් තමන් අතින් ගිලිහී ගිය බලය ලබා ගැනීමත්, ඉතිරි නිල කාලය සුවසේ ගෙවා රටට කුමක් වුවත් තම මඩි තරකර ගැනීම බවත් රහසක් නොවේ. ඒ සඳහා ජනාධිපති රනිල් එකඟ කරවා ගැනීම, බලපෑම් කිරීම රනිල් ජනාධිපති ධුරයෙහි තහවුරු කිරීම වෙනුවෙන් අත එසවූ පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙළගැසීම ද පුදුමයක් නොවේ. එහෙත් ඔවූහු මේ මහපොළොවේ දේශපාලන යථාර්ථය අමතක කරති.

පොහොට්ටුවේ දේශපාලන ළිං මැඩියෝ සහ මැඬලිය නොහැකි අරගලයේ අපේක්‍ෂා!

ගෝඨාභය ජනාධිපති ධුරය හැරදමා රටින් පැන ගියේ ඔහුට පමණක් එල්ල වූ ජනතා විරෝධය නිසා නොවේ. එය රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටු පාලනයටම එරෙහිව නැඟුණු කාලබෝම්බයක් වැන්න. ගෝඨාභය සමග සිටි ඇමතිවරුන්ට ද ඒ අප්‍රසාදය පළ විය. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් වාචාල කතා කී ඇමැතිවරුන් ගණනාවක්ම එලෙස ජනතාව ප්‍රතික්‍ෂේප කරති. එසේම පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක් පිළිබඳ යථාර්ථය ද එය විය. එපමණක් නොව පොහොට්ටුව සමග එක්ව සිටි දැන් ස්වාධීන වී සිටින කණ්ඩායම්වල සමහරුන්ට ද දැඩි විවේචන පවතී. ඒ මොනවා වුවත් පාර්ලිමේන්තුවේ බලය තවමත් පොහොට්ටුව සතුය. අද ඔවුන් කිසිදු චකිතයකින් තොරව පවසන්නේ ද තම ජනවරම අවසන් වී හෝ අවලංගු වී හෝ නොමැති බවය. ඔවුන්ට අනුව ජනාධිපති රනිල් යනු ඔවුන්ගේ එකඟතාව, ඡන්දය අනුව එම ධුරයට පත්වූ අයෙකි. එහි තේරුම ජනාධිපති පොහොට්ටුව මග සිටිය යුතු බවය. ඒ කටහඬට සවන් දිය යුතු බවය.

රනිල් ජනාධිපති වූයේ පොහොට්ටුවේ ඡන්දවලින් බව ඇත්තකි. එහෙත් රනිල් පොහොට්ටුවේ දේශපාලනය හෝ ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට බැඳී නැත. ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය, පැහැදිලිව ඒ සියල්ලටම එරෙහි වූ සමාජ දේශපාලන ආමන්ත්‍රණයකි. පොහොට්ටුවෙන් යළිත් ඉල්ලා සිටින පාලනය නිසැකයෙන්ම ජනතාවගේ විරෝධයට ලක්වීම නිසා අසාර්ථක වූවකි. ඒ ඇමැති මණ්ඩලය විසින් යළි මේ පාලනය මෙහෙයවීම ජනතා අපේක්‍ෂාවන්ට ද පටහැනිය. විපක්‍ෂ නායක සජිත් සෘජුවම පවසන්නේද ජනතාවගේ විරෝධයට පාත්‍රව සිටින, දූෂණ, අල්ලස් චෝදනා සහිත ඇමැතිවරුන් සමග තම පක්‍ෂයට එකට කටයුතු කළ නොහැකි බවය. කිළිටි පාලනයකට එක්ව ඒ කුණු කන්දල් වසන් කිරීම සඳහා යොදා ගන්නා ආවරණය සර්ව පාක්‍ෂික ආණ්ඩුව ලෙස හැඳින්වීමට තම පක්‍ෂයට නොහැකි බව ඔහුගේ අවධාරණයයි. ඔහු එය නම් කරන්නේ සර්ව භක්ෂණයක් හෙවත් සියල්ල කාබාසිනියා කරන පාලනයක් ලෙසය.

පොහොට්ටුවේ සන්ධානය සමග සිටි ශ්‍රී. ල. නි. ප. සභාපති මෛත්‍රිපාලට අනුව කැබිනට් ඇමැතිවරුන් 30 ක් සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 කින් ද යුතු විශාල ඇමැති මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් ඇත. පොහොට්ටුවේ ලේකම් විසින් නම්කර එවන ලද ඇමැති ධුර ලබාදිය යුතු අයගේ ලේඛනයක් ද වේ. ජනාධිපතිවරයා හමුවූ හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ද ඉක්මනින්ම ඒවා සම්පූර්ණ කළ යුතු බවය. එසේම මෛත්‍රී විසින් කරන ලද අනාවරණයකට අනුව අද මේ ආණ්ඩුවේ ඇමැති ධුර හොබවන ශ්‍රී. ල. නි. ප. මන්ත්‍රීවරුන් කිසිවකුට ඒ සඳහා පක්‍ෂයේ අනුමැතිය ද හිමිව නැත. ශ්‍රී. ල. නි. පයට අයත් නිමල් සිරිපාලට එරෙහිව තිබුණු අල්ලස් චෝදනාව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් දැක්වූ උද්‍යෝගය හා එම ක්‍රමවේදය පිළිබඳව ජ. වි. පෙ. අනුර කුමාර දැඩි විවේචනයක් ද කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු පක්‍ෂවලින් බිලිබා ගත් මන්ත්‍රීවරුන්ගෙන් අටවා ගනු ලබන පාලනයක් නොව පොදු දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයක් අනුව රටේ සමාජ ආර්ථික දුර්දශාවට විසඳුම් සොයා ගන්නා සාමූහික එකඟතාවකි. එහිදී වඩාත් යෝග්‍ය වන්නේ ද ඉතා කුඩා භාරකාර කැබිනට් මණ්ඩලයකි. එහෙත් දැන් සිදු විය හැක්කේ ජනතාවට එපා වූ පොහොට්ටු ඇමැතිවරුන් බහුතරයකින් සමන්විත රටට ඔරොත්තු නොදෙන බරක් ජනතාවට පැටවීමක් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලධාරීන් පවසන වියදම් අඩු කරන පාලනයකට එබඳු විශාල ඇමැති, රාජ්‍ය ඇමති පිරිසකගෙන් අත්වන ප්‍රතිඵලයක් ද නැත. එහෙත් අපට තිබෙන පුදුමය මේ සියලු සමාජ දේශපාලන යථාර්ථය අමතක කර ඇමැතිකම්වලට පොරකෑමය. සමාජ, දේශපාලන, ආර්ථික සියල්ල මරණ මංචකයේ වැතිර සිටියදීත් ඇමැති ධුරවලටම කෙළ හලන දේශපාලන මජරකම දෙස ජනතාව බලා සිටින්නේ ද පිළිකුලෙන් බව සඳහන් කළ යුතුය.

ජනාධිපති රනිල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදුවන සියලු සාකච්ඡා අපට වාසි වන ආකාරයටම සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අද අප මේ අරමුදලේ සහාය අපේක්‍ෂා කරන්නේ මේ රටේ ඉතිහාසයේ දුර්වලම ආර්ථික දුබලතාවලින් බෙලහීනව සිටින පසුබිමකය. එනිසා ඔවුන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම ද පහසු නැත. බංකොලොත් රටක්, ණය ආපසු ගෙවීමට නොහැකි රටක් ලෙස අප හංවඩු ගසා තිබේ. ගෝඨාභය පාලනයේදී අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික පිළිවෙත් තවදුරටත් පවත්වාගෙන යා නොහැකිය. මහා භාණ්ඩාගාරයේ වත්කම සෘණ වී තිබෙන බව ඒ ක්‍ෂෙත්‍රයෙහි විශේෂඥයෝ පවසති. ඒ සඳහා අපට තිබෙන එකම සහ සමහරවිට අවසාන බලාපොරොත්තුව ද ජාත්‍යන්තර අරමුදලේ පිහිට පමණි. දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් අවශ්‍ය වන්නේ ද එබඳු අවදානම් සහිත ගමනක් යෑමට එකාවන්ව සිටිය යුතු හෙයිනි. ඒ විනා ඉහත සඳහන් කළ පරිදිම ඇමැතිකම් බෙදාගෙන ඉන්න ටික ජොලියේ ගෙවීමට නම් නොවේ. එහෙත් අවාසනාවක මහිම! තවමත් පොහොට්ටුවේ දේශපාලන ළිං මැඩියෝ මේ විනාශයට සංවේදී නොවෙති.

අද වනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් වුවද ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව තහවුරු වී තිබේ. හැම බලයක්ම ජන බලයට යටත් බව හුදු සටන් පාඨයක් පමණක්ම නොවේ. මේ යථාර්ථය දන්නා අය ස්වල්ප දෙනෙක් ද සිටිති. සමාජ, දේශපාලන, ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන් ද වෙනස්වීම් වේගයෙන් සිදුවන වඩාත් විවෘත සමාජයක ජීවත්වන පුද්ගලයා පැරැණි වැඩවසම් සමාජ ක්‍රම, ආකල්ප නොඉවසන්නෙකි. ගාලුමුවදොර අරගලය ඒ විරෝධතාව පිළිබඳ ප්‍රකාශනයකි. එහෙත් ඒ අරගලය පිළිබඳ ගැඹුරු දේශපාලන කියැවීමක් පොහොට්ටුවට හෝ එහි නියමුවන්ට නැති බව පෙනේ. ගාලුමුවදොර අරගලයට හිසනමා පසුබැස ගිය බැසිල් හා එහි අනුගාමිකයන් දැන් පොහොටුව මෙහෙයවන බව ද කියති. ඔවුන්ට යළිත් දේශපාලනය කිරීමට තිබෙන අයිතිය වෙනම දෙයකි. එහෙත් ඔවුන් මුහුණදුන් දේශපාලන විරෝධය දැන් සමනය වී පෙර පරිදිම ඔවුන්ට පිළිගැනීමක් ලැබී තිබේ යැයි සිතන්නේ නම් එය මුළාවකි.

පසුගිය දිනෙක (29 දා) පාර්ලිමේන්තුවේ පැවැති විදුලි බිල වැඩිකිරීමේ විවාදයේදී විපක්‍ෂයේ කිරිඇල්ල කළ සඳහන ඉතා වැදගත්ය. අරගලය උත්සන්න වූ අවස්ථාවේ කළ කී දේවල්, දැන් වැඩක් නැතැයි කීමට අද පොහොට්ටුව පසුබට නැති බව ඔහු පෙන්වා දුන්නේය. මෙය සැබෑවක් නම් ඔවුන්ට වුවමනා, අවලංගු වී ගිය පොහොට්ටු පිළිවෙත් යළි ඉදිරියට රැගෙන ඒමය. ඒ රැවටීම, ප්‍රෝඩාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව එහි ඇඟවීමය. ඒ අනුව ජනාධිපති රනිල්ගේ කටහඬ, පොහොට්ටුව විය යුතුය. ඔහු ක්‍රියා කළ යුත්තේ පොහොට්ටුවේ අභිමතය පරිදිය. එහෙත් මෙරටේ ජනතාව රනිල්ගෙන් අපේක්ෂා කරන්නේ ජනතාවට එපා වූ පොහොට්ටුව යළි කරළියට රැගෙන ඒම නොවන බව අපට පෙනී යයි.

පොහොට්ටුවේ දේශපාලන ළිං මැඩියන්ට මේ රටට හෙණ ගැහුවත් ප්‍රශ්නයක් නැති බව අද ඔවුන්ගේ දේශපාලන ප්‍රතිචාරවලින් ද පෙනේ. ඔවුන්ට වුවමනා අරගලයේ මුවාවෙන් විනාශ වී ගිය සියල්ලට වන්දි ලබාගෙන ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය බලගැන්වීමයි. ඒ සඳහා ජනාධිපති රනිල් ක්‍රියා කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවය. එහෙත් අද මේ රටේ ජනතාව විඳවන ජීවිතය ඔවුන්ට වැදගත් නැත. අහස උසට නැග තිබෙන ජීවන වියදම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ බත්පත උදුරාගෙන තිබේ. ඉන්ධන අවුල තවම ගොවිබිම්වලය.

ශ්‍රී ලංකාව යනු ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතරින් පස්වැනි ස්ථානයට පත්වූ රටය. යුනිසෙෆ් වාර්තාවක් අනුව ලංකාවේ මන්දපෝෂණයට ලක්වූ දරුවෝ ලක්‍ෂ ගණනකි. ඒ වාර්තාවට අනුව ළමා මන්දපෝෂණයේ හයවැනි ස්ථානය අපට හිමිවී තිබේ. ඒ ලෝක මට්ටමින්ය. කලාපිය වශයෙන් අපට ඇත්තේ එහි දෙවන තැනය. අද ලක්‍ෂ 48කට නොඅඩු පාසල් දරුවන්ගේ අධ්‍යාපනය, පැවැත්ම අර්බුදයක ගිලී තිබෙන බව ද එම වාර්තාවලම සඳහන් කර තිබේ.

අද මෙරටේ දරුවන්, තරුණයන් පමණක් නොව ගොවියන්, පීඩිතයන් ඇතුළු සමාජයෙහි පහළම අඩියට අයත් එදිනෙදා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා සියල්ලෝම දුක්බර ජීවිත ගෙවති. තරුණයන් අරගල කළේත්, කරන්නේත් එයට එරෙහිවය. ආණ්ඩුව එයට ප්‍රතිචාර දක්වන්නේ මර්දනයෙනි. අන්තරේ වසන්ත මුදලිගේලා මේ රටේ බැංකු හොරකම් කළ අය නොවෙති. මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ගසාකෑ අය ද නොවෙති අපේ දේශපාලනඥයන්ට සාපේක්‍ෂකව ඒ තරුණයෝ මොන තරම් පිවිතුරු සාඩම්බර අය වෙත්ද?

ජයවර්ධන යුගයේ නැක්සලයිට් චෝදනා නඟා දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කළ ආකාරයට මේ ආණ්ඩුව අද වසන්තලාට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ඉදිරිපත් කර රඳවාගෙන සටියි. ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්යය ඒ අරගලය බිමට සමතලා කිරීම ද? එහෙත් අරගලකරුවන් මැඬලීමට හැකි වුවත් අරගලයක අපේක්‍ෂා මැඬලීමට නොහැකි බව සඳහන් කළ යුතුය. නිදහසින් පසු මෙරටේ සිදුවූ ඓතිහාසික පෙරළියක් ලෙස හැඳින්වෙන ගාලුමුවදොර අරගලය දේශපාලනිකව කියවීමට අද පොහොට්ටුවට උනන්දුවක් නැතිවීම බරපතළ අනතුරක සංඥාවක් බව සමාජ දේශාපලන අංශවල ප්‍රමුඛයෝ ද පෙන්වා දෙති.

මේ වනවිට අසාමාන්‍ය ආකාරයට ඉහළ දමා තිබෙන ජල හා විදුලි බිල් පිළිබඳ පැවැති විවාදය තුළින් ද හෙළිවී තිබෙන්නේ මෙරටේ දේශපාලනඥයන්ටත් වඩා අමන, ආත්මාර්ථකාමී නිලධාරීන් පෙළකගේ ක්‍රියාකාරකම්ය. විදුලි මාෆියාවේ අධම නිල බල වසර ගණනක් රටට කර තිබෙන විනාශය සුළුපටු නැත. විදුලි හා ජල බිල් නොගෙවන මැති ඇමැතිලාත් ඒ ආයතන නිධාන බවට පත්කරගත් තක්කඩි ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් හා ඇතැම් වෘත්තීය සංගම් ද කළ පව් අපරාධ අද ජනතාවගේ හිස මත කඩාවැටී තිබේ. පොහොට්ටුවේම හිටපු ඇමැතිවරයකු වූ අලි සබ්රිගේ විවේචනය හෘදය සාක්ෂියක් ඇති කිසිදු පුරවැසියකුට ඉවසා ගත නොහැකි සත්‍ය හා යථාර්ථවාදී වූවකි. කංචන ඇමැතිවරයා යෝජනා කළේ ඒ පිළිබඳ විමර්ශනය කිරීම විපක්‍ෂයේ සභාපතිත්වය සහිත පාර්ලිමේන්තු කමිටුවකින් සිදු කළ යුතු බවය. එයින් ගම්‍ය වන්නේ ඒ විදුලි මාෆියාව සමග විෂය භාර ඇමැතිවරුන් ද සිටිය හැකි බව නොවේද? පොහොට්ටුවට ඒ ගැන වගකීම් දීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව මේ තරුණ ඇමැතිවරයාට වැටහීම ද පැසසිය යුත්තකි.

මේ අද තිබෙන ව්‍යසනයට තුඩුදුන් හේතුවලින් ඇබින්දකි. තවත් බොහෝ ක්‍ෂේත්‍රවල මේ වර්ගයේ අමන මාටියා ගැහිලි තිබෙන්නට ඇතැයි අපි අනුමාන කරමු. එනිසා ජනාධිපති රනිල් පොහොට්ටුව පිනවීම පසෙක තබා මේ දූෂිත, වංචනික, අදූරදර්ශී ක්‍රමය අවසන් කිරීමට ක්‍රියා කළ යුතුය. අරගලකරුවන් සමතලා කර පොහොට්ටුවේ වීරයකු වීම ජනාධිපති රනිල් තමන්ට මෙන්ම මෙරටේ යුක්තිගරුක සාධාරණ පුරවැසියන්ට ද කරන අපරාධයක් බව දේශපාලන වශයෙන් පරිණත වූ ජනාධිපති රනිල්ට අප පෙන්වා දිය යුතු නැත. ඇත්ත වශයෙන්ම ඔහු ඉදිරිපත්ව සිටින්නේ ජනතා විරෝධය මැද වසා දැමූ රාජපක්‍ෂලාගේ පරණ දේශපාලන කඩය, ඒ බඩු භාණ්ඩ පිටින්ම යළි ජනතාවට විවෘත කිරීම සඳහා නොවන බව ද අප නොපැකිළිව සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment