පොහොට්ටුවේ ලේකම්ට ප්‍රසන්න ගොරවයි…

257
  • ප්‍රශ්නය ජනාධිපති එක්ක විසඳගන්නැයි සාගර කියයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා උදේ වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ මොහොතේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඔහු වටකරගෙන කතාබහ කරන්නට වූහ.

“අපි නම් විදේශීය සංචාරයක් ගිහිල්ලා ආවහම දවස් දෙකක් විතර නිදා ගන්නවා. ඒකට ඔබතුමා. උදේ ඇවිල්ල උදේම පාර්ලිමේන්තුවටත් ආවා. ගමන් මහන්සියක් දැනුනේම නැද්ද” කියමින් මන්ත්‍රීවරයෙක් විහිළුවක් කරද්දී සෙසු අය වටකරගෙන සිනාසෙන්නට වූහ. වජිර අබේවර්ධන නිමල් ලංසා ප්‍රමිත බණ්ඩාර ප්‍රසන්න රණවීර, දොලවත්ත, ගයාෂාන් වැනි කීප දෙනෙක් එතන සිටියහ.

“අපේ ටීම් එකම ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා මැච් ගහන අස්සේ ජනාධිපතිතුමා විතරක් ඣඡ 27 සමුළුවට ගිහිල්ලා තනියම මැච් එක ගහලා තරගයේ වීරයා වෙලත් ආවා. ඉන්දියාවත් නෑ චීනයත් නෑ…” වජිර කීවේ ජනාධිපතිවරයා පිළිබඳ තරමක් ආඩම්බරයෙනි.

“කාරණාව ගැන නිහතමානීව සිනාසුනු ජනාධිපතිවරයා මොහොතකට කාර්යාලයට ගොඩ වුවත් එතැන රැඳුනේ නැත.

“මගේ සංචාරයේ වෙච්ච දේවල් ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න තියෙනවා නේ..” කියමින් ඔහු පාර්ලිමේන්තු සභා ගැබ දෙසට ගියේ මන්ත්‍රීවරු රැසක් ද පිරිවරාගෙනය.

මෙහිදී විපක්ෂයෙන් ප්‍රශ්න ගණනාවක් මතු විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්නයක් මතු කළේය. ඔහු විමසුවේ අයි එම් එෆ් නියෝජිතයන් සමග කරන ලද සාකච්ඡාවේ ප්‍රගතිය ගැනය. ඒ පිළිබඳව ජනාධිපතිවරයා විස්තර කළත් විපක්ෂය ඉන් සෑහීමකට පත්වූයේ නැත. ණය ගැනීම පිළිබඳ ගිවිසුම හා එහි කොන්දේසි ගැන දිගින් දිගටම ප්‍රශ්න කර සිටියහ.

“ගිවිසුමේ අඩංගු කරුණු කාරණා ගැන දැන්ම රටට හෙළිදරව් කරන්න එපා කියලා අයි එම් එෆ් එක ඉල්ලීමක් කරලා තියෙනවා.” ජනාධිපතිවරයා නොවලහා කීවේය.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපට චීනයයි ඉන්දියාවයි එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. ඒගොල්ලො මේ ණය කපාහරිනවා ද නැත්තම් අවුරුදු විස්සකට විතර ණය ගෙවීම දීර්ඝ කරනව ද කියලා ඉක්මනට තීරණයක් අරන් කියාවි… එච්චරයි.” ජනාධිපති කීවේය. පාර්ලිමේන්තු සබාගැබෙන් පිටතට පැමිණි පසුවත් ජනාධිපතිවරයා හිතවත් මන්ත්‍රීවරුන් වටකරගෙන කතාබහ කරන්නට පටන් ගත්තේය.

“ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා. සිවිල් නියෝජිතයන් තුන්දෙනා
ගැනත් එතුමා අප්‍රසාදය පළ කරලා” වජිර පෙන්වා දුන්නේය.

“ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට චම්පික රණවක දාපු එක ගැනත් එතුමා අමනාපයි…” ගයාෂාන් කීවේය.

“මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ් එක්ක ගියේ ඒක ගැනත් එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා…” ඒ කිව්වේ ප්‍රසන්න රණවීර ය. සියල්ල හොඳින් අසාගෙන නිහඬව සිටි ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“මාලදිවයින ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් මටත් ප්‍රශ්නයක් නෑ. විපක්ෂ නායකතුමාට තමයි ප්‍රශ්නේ…” එසේ කියමින් රනිල් සුපුරුදු හිනාව පෑවේය.

“ඒ මනුස්සයා සල්ලිකාරයෙක්. එයා ගිහින් තියෙන්නෙ එයාගේ මුදලින්… ඒ ගැන අපි කාටවත් ප්‍රශ්න තියෙන්න බෑ…” වජිර තවදුරටත් පැහැදිලි කළේය.

ජනාධිපතිවරයාගේ ද්විත්ව සංචාරය නිසා මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම ද වෙනදා ලෙස නොපැවතුණ අතර මැති ඇමැතිවරුන්ට රාජ්‍ය නායකයා හා කතාබහ කරන්නට ද අවස්ථාවක් නොලැබිණි. ඒ නිසා මෙය මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරු හා ඇමැතිවරු ජනාධිපතිවරයා හමුවන්නට ඔහුගේ නිල කාමරයට පැමිණ සිටියහ. ඔවුන් විවිධ ප්‍රශ්න අසන්නට වූහ. බොහෝ දෙනෙක් ඇසුවේ ඇයවැය සම්බන්ධ කාරණා ය.

“දැන් මේ ගැන කතා කරන්න බෑ. මටත් දැන් මහන්සියි. අපි ලබන සතියේ අයවැය ඉදිරිපත් කරලම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වලා මේ ගැන සාකච්ඡා කරමු… එසේ කියමින් නැඟී සිටි ජනාධිපතිවරයා වැඩි වේලාවක් එතැන රැඳී නොසිට පිටත්ව ගියේය.

● මහන්සි නොබලන ජනපති රනිල්…

සැබැවින්ම ජනාධිපතිවරයා පසුගිය සතියේ නිමාකර තිබුණේ වෙහෙසකර සංචාරයකි. ඉකුත් 6 වැනිදා අලුයම ඔහු ලංකාවෙන් පිටව ගියේය. ඊජිප්තුවේ ෂර්ම් අල් ෂෙයික් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම ඔහුගේ අරමුණ වුව ද ඒ අතරතුර රාජ්‍ය නායකයන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නායකයන් හමුවීම ඉතා වැදගත් කාරණාවන් වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා හමුවීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. ලංකාවේ ජනාධිපතිවරයා සමග කතා කිරීමට ඔහු ද දැඩි උනන්දුවක් දක්වා තිබිණි.

බි්‍රතාන්‍යයේ නව අගමැති රීෂී සුනක් මහතා මුණගැසුනු වේලේ ජනාධිපතිවරයා වහාම ඔහුට සුබපතමින් කථාබහට එක්විය.

මහා බි්‍රතාන්‍යය ශ්‍රී ලංකාව කෙරෙහි ඉදිරියේ දී ඉතා මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරමින් උදව් කරනු ඇතැයි ජනාධිපතිවරයා හා විශ්වාසය පළ කරද්දී බි්‍රතාන්‍ය අගමැතිවරයා ඊට සුබවාදී ප්‍රතිචාර දක්වමින් පෙන්වා දී තිබුණේ අපි බොහෝ සමීප මිත්‍ර රටවල් කියාය. උදෑසන ආහාර ගනිමින් සිටියදී ජර්මන් චාන්සලර්වරයා හා කතාබහ කරන්නට ද ජනාධිපතිවරයාට හැකි විය. ලෝක දේශගුණ විපර්යාස පිළිබඳ අප ජනාධිපතිවරයා අදහස් දක්වද්දී ඔහු ඉතාම උනන්දුවෙන් සිය ප්‍රතිචාරය දක්වා ඇත්තේ ද රනිල් පෙන්වා දුන් බොහෝ කරුණු අනුමත කරමිනි. ආසියානු හා අප්‍රිකානු රටවල ජනතාව ද ඉදිරියේ දී පැවැතිය හැකි දේශගුණික විපර්යාසවලින් හා අනතුරුවලින් රැක ගැනීම ලොව බලවත් රටවල යුතුකම මෙන්ම වගකීම බවද ඔහු පෙන්වා දී තිබේ. මේ සංචාරයේ වැදගත්ම සාකච්ඡාව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්තිනා ජෝර්ජිවා මුණගැසීමය. ලංකාව ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෙහිදී කරුණු හුවමාරු විය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රගතිය ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී. ඒ පිළිබඳ සුබවාදී දැක්මකින් යුතුව සාකච්ඡා අවසන් විය.

● හාල් ගෙන්වීම ගැන නලින් මහින්ද වාදය

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය නිසා මෙවර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වා තිබුණේ අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී බොහෝ දුරට සාකච්ඡා වූයේ මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අණ පනත්ය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අණ පනත් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ වූහ.

“දැන් හාල් තොග මිල එකසිය හතළිහට බැහැලා. ගොවියෝ ගාව වී තියෙනවා. ඒ අතරින් තවමත් හාල් පිටරටින් ගෙන්වනවා. තව දුරටත් මේ විදියට හාල් ගෙන්වන්න ගියොත් අපේ ගොවියාට මොකද වෙන්නේ” මහින්ද අමරවීර ඒ ප්‍රශ්නය යොමු කළේ රංජිත් සියඹලාපිටියට වුවත් ඔහු ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ නැත.

“මේ විදියට හාල් ගෙන්වන එකෙන් ගොවියට වැඩකුත් නෑ… පාරිභෝගිකයට වැඩකුත් නෑ” හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පිලිතුරු දුන්නේය.

“වෙළෙඳ ඇමැතිතුමා කෝ… එතුමා ගෙන්වන්න” මන්ත්‍රීවරයකු ඇසුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙනි.

එවිටම වාගේ වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු පැමිණියේය.

“පහුගිය කාලේ රටේ තිබුණු තත්ත්වය බොහෝ දෙනෙක්ට අමතකයි. අපිට ආහාර අර්බුදයක් තිබුණා. ඒ නිසයි හාල් ගෙන්වන්න කටයුතු කළේ. මේ සංඛ්‍යා ලේඛන වැරදියි. ඉස්සරහට එන්නේ උත්සව සමය, ආහාර ඉල්ලුම වැඩිවෙනවා. මේ වෙලාවේ මෝල් හිමියෝ හාල් එළියට දාන්නෙ නැහැ. මේක බැලන්ස් කරගන්න අපිට මේ තොග මිල තියාගන්න වෙනවා.”

ඇමැති නලීන් කීවේ දීර්ඝව පැහැදිලි කරමිනි.

“මේකෙන් ගොවීන්ට සහනයක් ලැබෙන්නේ නෑ… ඒකට මොකද කරන්නෙ”අමරවීර යළි කීය.

“එහෙමනම් මුදල් අමාත්‍යාංශයේ පාරිභෝගික සුරක්ෂිතතා කමිටුවට දාලා තීරණයක් ගනිමු. හැබැයි ඊට පස්සෙ වෙළෙඳපොළේ හාල් නැහැ කියල කෑ ගහන්න එපා” ඇමැති නලීන් කීවේ තරමක ආවේගයෙනි. අවසානයේ තීරණය වූයේ හාල් ප්‍රශ්නය පාරිභෝගික සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කර තීරණයක් ගැනීමටය. අන්තරායකාර ඖෂධ පනත පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැහැදිලි කළේය.

“මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අයයි, ජාවාරම් කරන අයයි වෙන වෙනම බන්ධනාගාරගත කරන්න ඕන. ඒකට ගැළපෙන විදියට පනත් සංශෝධනය වෙන්න ඕන” විදේශ ඇමැති අලී සබ්රි කීය. ඩයනා ගමගේ හා අනූප පැස්කුවල් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ ගැන දීර්ඝව පැහැදිලි කළහ.

● එයාලා ඔක්කොම යාලුයිනෙ මල්ලි….

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු සභා ගැබේදී මෙන්ම ආලින්ද වලදීද රසවත් සිදුවීම් කතාබස් වාද විවාද කීපයක්ම ඇතිවිය. මේ අතර එක් කතාබහකට මැදි වූයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මැතිණියයි. තවත් සහෝදර මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හා ආලින්දයේ ආගිය තොරතුරු කතාබස් කරමින් සිටියාය. ඒ අතර මාධ්‍යවේදියකු ද වීය.

කතා කරන මාතෘකාව වූයේ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබේ සිදු වූ සිද්ධියකි. පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් සිටියදී ඇමැතිවරියගෙන් කථානායකවරයා ඇසූ එක් ප්‍රශ්නයක් මෙහිදී මාතෘකාව විය…

“එතුමා මගෙන් අහනවා… හොල්මන් ද..? කියලා. මට හොල්මන් නෑ. ඒගොල්ලන්ට තමයි හොල්මන්…” කියමින් ඒ කතාබහට පාදක වූ සිද්ධිය විස්තර කළාය. ඇය කළ විස්තරයට අනුව සිද්ධිය මෙසේය.

පසුගිය සතියට පෙර සතියේ දිනක හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවසින් ඇමැතිවරියට දුරකථන ඇමතුමක් ලැබී ඇත. දෙවැනි දා උදේ දහයට මහින්ද මහතාගේ නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඊට සහභාගි වන්නට පැමිණෙන ලෙසත් එමගින් ඇමැතිවරයාට ආරාධනයක් කර ඇත.

ඒ අනුව පැජට් පාරේ පිහිටි නිල නිවසට දෙවැනිදා නිසි වේලාවට ගිය ගීතා ඇමැතිතුමියට මුලින්ම මුණගැසී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ටික වේලාවක සතුටු සාමීචියට අනතුරුව වටපිට බලා අදාළ රැස්වීම කොහේ දැයි විමසා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙනි.

“ඒක රැස්වීමක් නෙමෙයි පොඩි සාකච්ඡාවක්… මේ කාන්තාවෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා ඔබතුමිය හමුවෙලා කතාබහ කරලා ප්‍රශ්න කීපයක් අහන්න. පොඩ්ඩක් එයාලත් එක්ක කතා කරන්නකෝ.”

නාමල්ගේ ඒ යොමු කිරීමෙන් පසු විමතියෙන් යුතුව සාකච්ඡාවට සහභාගි වූ ගීතා ඇමැතිවරියට එම කාන්තාවන් අසන ප්‍රශ්න 6 කට උත්තර බඳින්නට සිදුවිය. ප්‍රශ්න කාන්තා හා ළමා ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙනි. ඇමැතිවරියක් ලෙස පරිස්සමින් උත්තර දිය යුතුය. පෙර සූදානමක් ද ඒ සඳහා තිබිය යුතුය. වැදගත්ම කාරණාව මෙවන් සාකච්ඡාවකදී හුවමාරු වන කරුණු කුමන තැන්වල කුමන ආකාරයෙන් යොදා ගනීවිදැයි නොදන්නා නිසා උත්තර දෙන්නට පෙර කැබිනට් ඇමැතිවරයාගෙන් විමසිය යුතුය.

“ජනාධිපතිතුමානේ මගේ කැබිනට් ඇමැතිතුමා. එතුමන්ගෙන් විමසලා උත්තර දිය හැකියි කියලා මම කිව්වා. අනිත් එක මම ඇවිල්ලා තවම මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත වෙච්ච දේවල් සම්බන්ධයෙන් උත්තර දෙන්න පුළුවන් වුණත් ඊට කලින් වෙච්ච දේවල් සම්බන්ධයෙන් උත්තර දෙන්න බැරි බවත් කිව්වා. එහෙම කියද්දිත් ඒ කාන්තාවෝ අතර හිටපු එක්කෙනෙක් මට දේශනා දෙන්න පටන් ගත්තා. මට හොඳට දැකල පුරුදුයි. හොඳට හුරුයි. ඒත් මම ඒ ගැන අහන්න ගියේ නෑ. පස්සේ මම කාන්තා හා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිතුමා ගෙන්න ගත්තා. මට එච්චර විශ්වාසයක් ඇති වුණේ නෑ මේ වැඩේ ගැන. පුළුවන් ප්‍රශ්නවලට උත්තර දීල මම එතනින් වෙනත් වැඩකට ගියේ සභාපතිතුමාට ඒ වැඩේ භාර දීලා.”

“එතකොට කවුද අර ගෑනු කෙනා..” මාධ්‍යවේදියා විමසුවේය.

“ඉන්නකො කියනකම් පනින්නැතුව…. මහින්ද මහත්තයාගේ රැස්වීමක් කියපු නිසයි මම ආවේ. මේ කාන්තාවන්ගේ ප්‍රශ්නවලට උත්තර බඳින්න මට පුළුවන් කමක් නෑ. ඒකට මගේ කැබිනට් ඇමැතිගෙන් උපදෙස් ගන්න ඕන කියලා මම මහින්ද මහත්තයට කියලා ආවා.

ඔන්න ඊටත් දවස් දෙකකට පස්සේ මට සභානායක කාර්යාලයේ පණිවිඩයක් ආවා ලබන අඟහරුවාදා (8) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න කීපයක් අහනව. ඒවට උත්තර දෙන්න සූදානම් වෙන්න කියලා. ප්‍රශ්නත් එවනවා කිව්වා. ප්‍රශ්න ආවට පස්සෙ මම සෙනසුරාදා ඉරිදා සඳුද දවස් තුනම ඒවට සූදානම් වුණා.”

“අන්තිමේ බලනකොට මගෙන් ප්‍රශ්න ටික ඇහුවේ විපක්ෂ නායකතුමා. මට එක පාරටම මතක් වුණා එදා මහින්ද මහත්තයාගේ ගෙදරදි අර කාන්තාව මගෙන් ඇහුවෙත් මෙන්න මේ ප්‍රශ්න ටිකම නේද කියලා. ඒ කාන්තාව අහපු ප්‍රශ්න මෙයා මේ අහන්නෙ මොකටද, ඒවා මහින්ද මහත්තයාලගෙ ගෙදරදි සාකච්ඡා වුණේ මොකද කියලා මට ලොකු විමතියක් ඇති වුණා.

පස්සේ තමයි මට මතක් වුණේ අර කාන්තාව කවුද කියලා. බැලින්නම් එයා තමයි “ගෝඨ ගෝ හෝම්” කියලා අරගලය ඉස්සරහින් බෝඩ් එකක් උස්සගෙන හිටපු, විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාගේ සහෝදරිය. එයාම තමයි තවත් දවසක තමන්ගේ සහෝදරයාට පිස්සුය කියලා ගේ ඉස්සරහ බෝඩ් එකක් අල්ලන් හිටියේ. හොඳ වෙලාවට මං එයාලයි ප්‍රශ්නවලට එදා උත්තර නොදුන්නේ. අයියට අරම කරපු කෙනා මට මොනවා නොකරයිද. ඒකත් නෙමෙයි මට තිබුණු ප්‍රශ්නය. රාජපක්ෂලාව ගෙදර යවන්න අරගලය ඉස්සරහින් හිටපු මේ ගෑනු කෙනා මහින්ද මහත්තයාගේ ගෙදර මොනවා කරනවද කියලයි මට හිතුනේ.

අන්න ඒ වෙලාවේ මට මතක් වුණේ එකපාරම රන්ජන්ව.”

“ඒ මොකද ඇමැතිතුමිය….”

“ඇයි රන්ජන් නිතර කියන්නේ උන් ඔක්කොම යාළුයි නේ මල්ලි කියලා. බැලින්නං අපි තමයි මෝඩයෝ.”

“ඔන්න ඔය අස්සෙ තමයි කථානායකතුමා මගේ ඇමැතිකමට නැති කෑල්ලකුත් එකතුකරලා මිලාන් ජයතිලක මන්ත්‍රීතුමාත් තව ප්‍රශ්නයක් මගෙන් අහනව කියලා නිවේදනය කළේ.

“කොහොමද කථානායක කිව්වේ…” අනිත් අයට ඉවසිල්ලක් නැත.

“මගේ ඇමැතිකමට තව කෑල්ලක් එකතු කරල… ළමා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය කියලයි කිව්වේ. ඒ අස්සෙ මිලාන් ජයතිලක ප්‍රශ්නය අහනවා. නාමල්ලා උත්තර දෙන්න අක්කේ කිය කිය කියවනවා. ඒ අස්සේ අර දොලේවත්ත මගේ ළඟට ඇවිත් කියනව උත්තර දෙන්නලු. මම අන්දුන්කුන්දුන්.

එහෙම තියෙද්දි මම කාන්තාවක් ද පිරිමියෙක් ද කියලත් මතක නැතුව මගේ ඇමැතිකමට තව කෑල්ලක් එකතු කරලා මට අදාළ නැති ප්‍රශ්නයක් මගෙන් අහලා අන්තිමට කථානායක අහනවා… ඇයි හොල්මන්ද…? කියලා. මට නේද ඉතින්…

ඇත්තටම ඔබතුමියට සමාජ සවිබල ගැන්වීමේ කෑල්ල නැද්ද…

ඒක තියෙන්නෙ අර අනුප පැස්කුවල් ඇමැතිතුමාටනේ. ඉතින් මම ඒකයි නැගිටලා කිව්වේ ඒ මගේ අමාත්‍යාංශයට අදාළ කාරණාවක් නෙවෙයි. අනුප පැස්කුවල් ඇමැතිතුමා ඒකට උත්තර දෙයි කියලා. සැබැවින්ම අඟහරුවාදා සිදුවූ කතාන්දරයේ අගමුල බොහෝ දෙනකුට හරි හැටි වැටහී ගියේ ගීතාගේ ඒ පැහැදිලි කිරීමෙන් පසුවයි.

අන්තිමට ඊටත් පස්සේ පහුවදා වුණ දේ දන්නවාද… ඔන්න මගේ අමාත්‍යාංශ ලේකම්තුමා ෆයිල් එකකුත් අරගෙන දුවගෙන දුවගෙන ආවා. ඇවිල්ල මට ලියුමක් දීලා කියනවා මේකට බැක් ඩේට් දාලා අත්සන් කරලා දෙන්නලු. බැලින්නම් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය කෑල්ල මට අමුණපු පත්වීම් ලිපිය. ඒ දවස්වල ගහපු ලිපියක් මට හම්බ වුණේ ඊයේ. මම බැක් ඩේට් දාපු එකක් නෑ. මට ලැබුණේ අද කියලා දාලා අත්සන් කරලා දුන්නා. මම හොඳ දෙකක් කිව්වා ලේකම්ට…

“කවුද ලේකම්….”

“හොයාගන්නවා… ඔක්කොම කියලා දෙන්න ඕන මේ පත්තර බබාලට… කියමින් ඕ සිනාසුණාය.

“තරවටු කරන්න එපා… ඕව පත්තරවල දාවි..”

“දාන එකයි …. මට මොකෝ. මගේ ළඟ ඩබල් ගේම් නෑ. කියන්න තියන දේ කාට වුණත් මූණටම කියනවා. එච්චරයි.

මට දුක මේකයි. මට ඇමැතිකම දුන්න කියල මම දන්නෙවත් නැති වෙලාවක ඒ අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක් මගෙන් අහලා අන්තිමේ අහනවා හොල්මන්ද කියලා.”

“ගණන් ගන්ඩ එපා. ඔය ඔක්කොම යාලුයි අක්කේ…” එතැන සිටි තරුණ මන්ත්‍රීවරයෙක් කීවේය.

“මල්ලි හරි මල්ලි … ඒ ඔක්කොම යාළුවෝ…” ලොකු කතාබහකින් අනතුරුව ඒ සංවාදය එසේ අවසන් විය.

● කෝප් එකට එන්න බලෙන් ඉල්ලීමක්…

පසුගිය සතියේ සාගර කාරියවසම් හා ප්‍රසන්න රණවීර අතරද පාර්ලිමේන්තුවේ දී ලොකු බහින්බස්වීමක් ඇතිවිය. අන්තිමේ ගුටිබැට හුවමාරුවක් දක්වාම වර්ධනය වූ එම ගැටුම් වැළකී ගියේ අනූ නමයෙනි. සිද්ධිය වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මෙම සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ගැන කතාබහ කෙරුණු රැස්වීමක දීය. එයද දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කාමර අංක තුන ශාලාවේය.

මෙහිදී ප්‍රශ්නය මතු කළේ ප්‍රසන්න රණවීර ය. ඔහු මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයකුව සිටියේය. මෙවර කෝප් කමිටුව සඳහා ඔහුගේ නම ඇතුළත් කර නැති නිසා ඔහු ඒ ගැන ප්‍රශ්නයක් ඇසීය. ඔහු බලාපොරොත්තු වන අන්දමේ සතුටුදායක උත්තරයක් නොලැබුණු බැවින් ඔහු මෙසේ බලකරමින් යෝජනාවක් ගෙන ආවේය.

“මමත් කෝප් එකට දාන්න” රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසුවේ එම සාකච්ඡාවට සහභාගිවීමට පැමිණි පොහොට්ටු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ටය.

“ඔයාව අයින් කළේ මම නෙවෙයි. ජනාධිපතිතුමා. ඔයා ඒක එතුමා එක්කම විසඳගන්න”

ඉන් කිපුණු රාජ්‍ය ඇමැතිවරයා පොහොට්ටු ලේකම්වරයාට පහරදීමට තැත් කළද ලේකම්වරයා රාජ්‍ය ඇමැතිවරයා මඟහැර කමිටු කාමර 3 වෙත ගියේය.

ලේකම්වරයා හා රාජ්‍ය ඇමැතිවරයාගේ ගැටුම විසඳීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද මැදිහත් විය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පක්ෂ නායක රැස්වීමට දුවගෙන ආවේය.

“මේ ප්‍රශ්නෙ මොකද්ද? මේක කතාකරල විසඳගන්න” ඔහු පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට කීය.

● ආණ්ඩුවට එරෙහි විපක්ෂය සූදානම්…

ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයුමෙන් රටපුරා ක්‍රියාත්මක වූ ජාතික ජනබලවේගයේ රැස්වීම් මාලාව හා සම්මන්ත්‍රණ මාලාව පසුගිය සතියේ ඒ අයුරින් ඉතා සාර්ථකව පැවැත්විණි. ඔවුන් සූදානම් වූයේ ඉදිරි ඉක්මන් මැතිවරණයක් සඳහා ය. ව්‍යවස්ථාවෙන් ලැබෙන රැකවරණය මත රනිල් ජනාධිපති වුවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන කැමැත්ත බරපතළ අනතුරක තිබෙන බව ඔවුන්ගේ මතය විය. ජනාධිපති පත් වී ඇත්තේ විකෘති ජනමතයකින් බව ඔවුන්ගේ අදහස විය. මේ නිසා හැකි ඉක්මනින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකිමින් මැතිවරණ පවත්වා ජනමතයට හිස නැමිය යුතු බව ඔවුන්ගේ අදහසයි. ඔවුන් රට පුරා ගියේ ඒ සඳහා සූදානම්වය.

මේ අතර සමගි ජන බලවේගයත් ආණ්ඩුවට එරෙහිව සිය ප්‍රබල විරෝධය හැකි සෑම තැනකදීම දක්වමින් සිටියේය. පසුගිය සතියට පෙර සතියේ කොළඹදී පැවති විරෝධතා පා ගමනේදී සිදුවූ අකරතැබ්බය ඔවුන් නොතකා හැරීයහ. ඒ වෙනුවට රජයට එරෙහි ප්‍රබල විරෝධය හැකි සෑම සටන් පෙරමුණකින්ම පෙරට ගෙන ඒම සඳහා ඔවුන් සිය දේශපාලන ව්‍යාපෘතිවල ඉලක්කය කර ගත්හ. මේ අතර පසුගිය සතිය වන විට නිදහස ජනතා සභාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සාදා අවසන් කළේය. දේශපාලනමය වශයෙන් හා ආර්ථිකමය වශයෙනුත් ඔත්පලව තිබෙන ශ්‍රී ලංකාව නිරෝගී කිරීම තමන්ගේ වගකීම ලෙස ගෙන නිදහස මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිමවා තිබිණි. පසුගිය සතියේ ඔවුන් සාකච්ඡා කළේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතිය හමුවේ එළිදැක්වීම ගැනය. එළිදැක්වීමේ උත්සවය එළඹෙන දහතුන් වැනි ඉරිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත විය.

“අපේ මුල්ම ප්‍රතිපත්තිය තමයි නව නායකත්වයට හා අලුත් අදහස්වලට මුල් තැන දීම. ඒක අපි මේ උත්සවය තුළම පෙන්නන්න ඕන” ඩලස් කීවේය.

ඒ අනුව මෙම උත්සවයේ සියලුම කතා පැවැත්වීම් වලින් ප්‍රධාන නායකයෝ ඉවත් වී නවක මන්ත්‍රීවරුන්ට මුල්තැන දෙන්නට සියලු දෙනාම එක්ව තීන්දුවක් ගත්හ.

“අපි මේ උත්සවේ කවුරුවත් කතා පවත්වන්නෙ නෑ…” මහාචාර්ය ජී එල් කිව්වේ ය.

“ඒක අපේ පක්ෂය ඇතුළෙ තියන ප්‍රතිපත්තියක්. පුංචි පොතක පිටු අතර සීමාවුණු වචන වලට වඩා ලොකු ප්‍රායෝගික අර්ථයක් අපි ඒ සංකල්පයට ලබාදෙන්නයි මේ උත්සවයෙදිත් මුල් තැන දෙන්නේ.”

“අපි මහාචාර්යතුමා, ඩලස් මැතිතුමා, මම, අපි කවුරුත් මේ උත්සවයේ දී දෙවෙනි පෙළින් වාඩිවෙලා ඉදිරි පෙළ අපේ තරුණයන්ට දෙනවා.

මේ කතාව කරළියට ආවේ ඩිලාන්, ඩලස් හා ජී එල් ඉවත් වෙනවා කියාය. කෙසේවෙතත් මෙම අදහස ගැන නිදහස කණ්ඩායමේ තරුණ මන්ත්‍රීවරුන් තුළ නම් කැමැත්තක් තිබුණේ නැත. ඔවුන්ගේ මතය වූයේ විශේෂයෙන් ඩලස්ගේ හා ඩිලාන්ගේ අදහස් අදටත් තරුණයන්ටත් වඩා තරුණ බවයි.

“මේක වගකීම් බෙදාගෙන වැඩ කරන්න ඔබලාට ලැබෙන අභ්‍යාසයක්. අපිටත් මේක අලුතෙන් තවදුරටත් හිතන්න අවස්ථාවක් වේවි.

“මේ විදිහට වැඩ කරන එක අපි මෙතනින් පටන් ගමු. අඩුපාඩු තිබුණොත් නිවැරදි කරගෙන ගමනක් යමු.” ඩලස් කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment