පොහොට්ටුව තුළ කැරැල්ල රාජපක්ෂ පවුලට පමණක් එරෙහිවද?

663

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදය සමස්ත ජන සමාජයම පීඩාවට පත්කර ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන රජය සහ විපක්ෂය තවදුරටත් පැරණි, පුරුදු දේශපාලන මෙහෙයුම්වල නිරත වී ඇත. වර්තමාන අර්බුදය විසඳීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද? මාර්තු 31 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැඟිරිවත්ත, මිරිහානේ නිවාසය ඉදිරියේ පුපුරා ගිය ජනතා විරෝධය රට කරවන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නිසියාකාරව තේරුම් ගෙන ඇතිද?

වර්ධනය වෙමින් පවතින තත්ත්වය අතිශය භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ රට මුහුණ දෙන තීරණාත්මක අභියෝගය හමුවේ ක්‍රියාකරන ආකාරය පුදුමාකාරය. නමුත් ආණ්ඩු පක්ෂය කටයුතු කරන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැක. තව දුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය ඉදිරියේ සීසීකඩවී ඇති ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය ස්ථාපිත කර ගැනීමේ දේශපාලනික වශයෙන් මාරාන්තික සටනක යෙදී සිටී.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සරල බහුතරය වන ආසන/ ඡන්ද 113 නැත. මීට සති පහකට පෙර ආණ්ඩු පක්ෂයට ආසන 145 තිබිණි. එම කණ්ඩායම දෙකඩ වී ඇත. හිටපු ඇමැතිවරු පහක් සමඟ මන්ත්‍රීවරු හතළිහක් අර්බුදය විසඳීමට මූලික පියවරක් ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් විය යුතු බවට අවධාරණය කිරීම ආණ්ඩු පක්ෂය අවබෝධ කර ගත යුතුය. එම කණ්ඩායම පවසන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මැදමුලන රාජපක්ෂවරයකු යෝජිත අන්තර්වාරණ / ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඇතුළු කරගත යුතු නැති බවයි. කැරලිකාර කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත තම ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ බලකිරීම පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි විධායකධුර කාලය ක්‍රියාත්මක කිරීමට සමස්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බව එම කණ්ඩායමේ ස්ථාවරයයි.

කැරලිකාර කණ්ඩායමේ ප්‍රකාශකයකු වන පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පසුගියදා අවධාරණය කළේ නව අගමැතිවරයකු පත් කිරීම ඇතුළු තම කණ්ඩායමේ ඉල්ලීම් ලිඛිතව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අප්‍රේල් 08 වැනිදා භාර දුන් බවයි. එම ස්ථාවරය ස්ථිර බව ආණ්ඩු පක්ෂය අවබෝධ කර ගත යුතුය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර ඇතුළු නොයෙකුත් වරප්‍රසාද පිරිනමා පාර්ලිමේන්තුවේ සරල බහුතරය රැකගැනීමට නොහැකිය.

දෙවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පැවසීම වර්තමාන දේශපාලන අර්බුදය අවධාරණය කරයි. මෙතුවක් කල් පොහොට්ටු පක්ෂය සමග සිටි සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනකු තමන් තව දුරටත් ආණ්ඩුව සමඟ එකට කටයුතු නොකරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම නැවත නැවතත් ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා ලෙස දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග අභියෝග කිරීමක් නොවන්නේද? ආණ්ඩු පක්ෂයට පිළිතුරු නැත. හිටපු ඇමැති නාමල් රාජපක්ෂගේ මෙන්ම පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව තුළ කැරලිකාර කණ්ඩායම අභියෝගයට ලක්කර ඇත. ඔඩු දුවමින් පවතින මූල්‍ය අර්බුදය තරමටම ආණ්ඩු පක්ෂයේ දේශපාලන ගැටුම උග්‍රය. විසඳුමක් නැත. වර්තමාන අගමැතිවරයා එම තනතුරේ තබාගෙන රට මුහුණ දෙන අභියෝගය ජයගත නොහැකි බව ආණ්ඩු පක්ෂයේ කොටසක් ප්‍රකාශ කිරීම පොහොට්ටුවේ දේශපාලනය අවදානමට ලක් කර ඇත.

පොහොට්ටු පක්ෂයේ කැරලිකාර කණ්ඩායම ගෙන ඇති ස්ථාවරය නැතහොත් විසඳුම විමසා බැලිය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද ඉවත් විය යුතු බවට ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමද අවධානයට ලක් කිරීමෙනි. වර්තමාන දේශපාලන යථාර්ථය නොසලකා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නොහැකිය. මිරිහානේ පිපිරීමට පසුව කැබිනට් අමාත්‍යධුර ලබාගත් සියලුම නීති සම්පාදකයන් භූමියේ තත්ත්වය අවබෝධ කර ගත යුතුමය. ආණ්ඩු පක්ෂයේ 40 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම තුළ විපක්ෂය හෝ රට පුරා රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක යෙදෙන ජනතාව එම විසඳුම කිසිසේත් පිළිනොගන්නා බව අමුතුවෙන් කිවයුතු නැත. සමස්ත පාර්ලිමේන්තුවම නියෝජනය වන ලෙස අන්තර්වාර පාලනයක් පිහිටුවීම හැර වෙන කිසිදු ක්‍රියාමාර්ගයකට පාර්ලිමේන්තුව තුළ ඉඩ නොමැති බව තේරුම් ගැනීමට පොහොට්ටුවේ ඉතිරි වී ඇති කණ්ඩායමට නොහැකි වීම කනගාටුදායකය.

පොහොට්ටුවේ අනාගතය අවිනිශ්චිතය. වර්ධනය වෙමින් පවතින අර්බුදය හමුවේ රජය ගෙන ඇති ඔලමොට්ටල ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ අනාගතය අවිනිශ්චිතය, අතිශය අර්බුදකාරීය. වර්තමාන අර්බුදය පුපුරා ගිය මොහොතේ එවකට බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල කළ ප්‍රකාශය අදවන විට මුළු රටටම අවබෝධ වී ඇත. ගම්මන්පිල අවධාරණය කළේ ආණ්ඩුවට රුපියල් නැති බවත්, රටට ඩොලර් නැති බවත්ය. ආණ්ඩුව, විපක්ෂය සහ රජයට එරෙහිව මහා පාරට පැමිණි ඇති ජනතාව වර්තමාන ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදයේ දිග පළල තේරුම් ගත යුතුය. සමස්ත අර්බුදයට පාදක වූ හේතු කාරණා එකිනෙකට බැඳී ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නැවතත් 19 වැනි සංශෝධනය යම් වෙනස්කම් සහිතව 21 වැනි සංශෝධනය ලෙස ගෙන ඒමෙන් ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදය නිරාකරණය කළ නොහැක. තිත්ත ඇත්ත එයයි.

ඒකාධිපති ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන්ද වර්තමාන අර්බුදය විසඳිය නොහැක. 19 සංශෝධනය කෝකටත් තෛලය නම් 2015 පිහිටුවූ යහපාලන රජය අසාර්ථක වන්නේ නැත. යහපාලන නායකත්වය යටතේ සිදුවූ මහා බැංකු බැඳුම්කර මංකොල්ලය (2015 පෙබරවාරි සහ මාර්තු 2016), 2015 ඔක්තෝබර් ජිනීවාහිදී කළ මහා පාවාදීම සහ 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරය යහපාලනය දුර්වල කළේය. කෙසේ වෙතත් ආර්ථිකය යාන්තමින් ගැට ගසා ගැනීමට යහපාලනයට හැකිවිය. එදා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (2016 ජුනි – 2019 දෙසැම්බර්) ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ බව රහසක් නොවේ. එතුමාගේ දුරදර්ශී ක්‍රියාකලාපය සහ එවකට මුදල් ඇමැති නැසීගිය මංගල සමරවීර රජයේ අදායම් මාර්ග වැඩිකර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවිය. නමුත් වර්තමාන රජය ආර්ථිකය උඩු යටිකුරු කළේ රුපියල් බිලියන 550 ක් පමණ අහිමි වූ බදු කප්පාදුවකිනි.

පොහොට්ටු කැබිනට් මණ්ඩලය ගත් එම තීරණ සමස්ත ආර්ථිකයටම බලපෑවේය. ජනතාවට එම බදු සහනයෙන් කිසිදු ප්‍රයෝජනයක් ලැබුණේ නැත. සමගි ජන බලවේගය, ජවිපෙ මෙන්ම එජාපයද පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත චෝදනා කළේ පොහොට්ටු නායකත්වය එම බදු කප්පාදුව කළේ ආණ්ඩුවේ හිතවතුන්ට නැතහොත් පාලකයන්ගේ ගජ මිතුරන්ට මුදල් ඉපයීමට බවයි. පොහොට්ටුව මුරණ්ඩු විය. යහපාලනය එපාවී පොහොට්ටු පක්ෂයට තුනෙන් දෙකකට ඉතාමත් ආසන්න පාර්ලිමේන්තු බලයක් 2020 අගෝස්තු මහා මැතිවරණයේදී දුන් ජනතාව නොසලකා ආණ්ඩුව කටයුතු කළේය. රුපියල් බිලියන 550 ක් රජය අහිමි කර ගත්තේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට බව විපක්ෂය කළ චෝදනා ඉවත දැම්මේය. පොහොට්ටු කැබිනට් මණ්ඩලය ගත් පළමුවන තීරණය වැරදිනි. ආණ්ඩුවම වරද්දා ගත් බව පැවසුවත් වරදක් නැත.

වසර දෙකක කාලය තුළ පොහොට්ටු ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කළ බව රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ආණ්ඩු පක්ෂය අවියක් ලෙස පාවිච්චි කළේය. පොහොට්ටු ආණ්ඩුව ගත් යම් ක්‍රියාමාර්ග එවකට ඇමැතිවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේවගේ නොසතුටට හේතු විය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඔවුන් කළ අරගලය පුපුරා ගියේ ගිය වසරේ සැප්තැම්බර් මාසයේ යුගදනවි ගිවිසුම ඉතාමත් ආන්දෝලනාත්මක ලෙස අත්සන් කිරීමත් සමඟය. ආණ්ඩු කණ්ඩායම තුළ පොහොට්ටු මෙහෙයුම්වලට එරෙහිව නැඟෙන විරෝධය නොසලකා හැරිය බව රහසක් නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අන්තර්වාර කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු නැති බවට පොහොට්ටුවේ කැරලිකාර කණ්ඩායම ගෙන ඇති ස්ථාවරය පිළිබිඹු කරන්නේ එම පක්ෂය තුළ ක්‍රියාත්මකවූ ඒකාධිපති ක්‍රමයට තිබූ විරෝධයයි.

පොහොට්ටුවට ගොඩ යෑමේ ක්‍රමයක් නැත. මාධ්‍ය මෙහෙයුම් අසාර්ථකය. සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම් බිඳ වැටී ඇත. තෙල් මිල හැල්මේ දුවන තත්ත්වයක් තුළ සමස්ත ආර්ථිකයම මුහුණ දෙන තර්ජනය ජනතාව අන්ත අසරණකර ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ භූමියේ තත්ත්වය තේරුම් ගෙන නැත. තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් ද නැත.

පොහොට්ටුව තුළ කැරැල්ල රාජපක්ෂ පවුලට පමණක් එරෙහිවද?

● ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment