පොහොට්ටුව නැති සන්ධානයක් හදන්න ජනතාව කියනවා – හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන

160

සහෝදර සමාගම තිබෙන බවක්වත් පේන්නේ නැහැ.

මේ අවස්ථාවේදී ආණ්ඩුව වැට්ටිමේ අදහසක් අපට නැහැ.

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය එක්වරක් හෝ රැස්වූයේ නැහැ.

පාස්කු දින පිපිරුවේ ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ. දැන් පුපුරන්නේ ආණ්ඩුව හදාගත් බෝම්බ.

තැටිය රත්වෙලා තිබෙන අවස්ථාවේදී රොටිය පුච්චා ගත යුතු බව ප‍්‍රකාශ කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ය. විපක්ෂය මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටින ආකාරයෙන් පෙනී යන්නේ මේ වනවිට තැටිය හොඳින් රත්වී ඇත ය යන ස්ථාවරයේ සිට ඔවුන් ද කටයුතු කරන බවකි. ඒ බව පෙනී යන්නේ ඔවුන් මේ වනවිට කරමින් සිටින ප‍්‍රකාශ අනුවය. එබැවින් අප ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නුදුරු අනාගතයේදී ගැනීමට සූදානම් වන දේශපාලන පියවරයන් පිළිබඳව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. කරන ප‍්‍රකාශයන් අනුව ලොකු වැඩකට සූදානම් වන බව පෙනෙන එම පක්ෂයේ නායකයා අප යොමු කළ ප‍්‍රශ්නවලට සන්සුන්ව ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය: ඔබත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයනුත් පසුගිය දිනවල කළ ප‍්‍රකාශ අනුව පෙනී යනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර තිබෙන දීගය වැඩිකල් නොපවතින බව. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඒ පිළිබඳව සඳහන් කරන්නට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් රටේ පවතින තත්ත්වය පිළිබඳ කතා කරනවා. අපේ ඇමැතිවරුන්, මන්ත‍්‍රීවරුන් විවෘතව මේ වන විට කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ අහිමිවී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතාව මුහුණදී සිටින ගැටලූ සහ දරිද්‍රතාවය පිළිබඳව කතා කරනවා. මමත් ඒ පිළිබඳව අදහස් දක්වනවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු මන්ත‍්‍රීවරුන්ගෙන් 90% ක් පමණ මේ පිළිබඳව කථා කරනවා. නමුත් ඒ ඇතුළේදී. මඟුල් ගෙවල්, මළ ගෙවල්වලදී හමු වූ විට ඔවුන් ඒ පිළිබඳව සඳහන් කරනවා. මෙතන තියෙන්නේ එක වෙනසයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ ප‍්‍රශ්න පිළිබඳව ඇතුළේදී මෙන්ම පිටතදීත් කථා කරනවා. නමුත් අනෙක් පිරිස ඇතුළේදී පමණක් කතා කරනවා.

දේශපාලන පක්ෂ අතර සංධාන පෙරමුණ ගොඩගැනීමේදී ගිවිසුම් අත්සන් කරනවා. එම ගිවිසුම් අත්සන් කරන්නේ එම ගිවිසුම්වල අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට තමයි. දේශපාලන පක්ෂයක අදහස් ප‍්‍රකාශ කිරීම එම ගිවිසුම්වලින් බැඳලා නැහැ. එම නිසා ජනතාවගේ පැත්තෙන් එම ප‍්‍රශ්න පිළිබඳව කථා කරනවා.

ප‍්‍රශ්නය: ගෑස්, සිමෙන්ති, ඉන්ධන, පොහොර යන ද්‍රව්‍යවල පවතින හිඟතාවය නිසා මේ වනවිට ජනතාව තුළ යම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එම කාරණා පදනම් කරගෙන විපක්ෂයේ දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන කටයුතු වේගවත් කර තිබෙනවා. ආණ්ඩුව වැට්ටීම් සඳහා මේ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකා විපක්ෂය කටයුතු කරන බව පෙනෙන්න තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ආකාරයට සිතනවාද?

පිළිතුර: මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය තුළ ආණ්ඩුව වට්ටනවා නම් ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින්. නමුත් ජනාධිපතිතුමා බලයෙන් පහකිරීමේ හැකියාවක් නැහැ. නමුත් පක්ෂයක් ලෙස අපි එවැනි කටයුත්තක් පිළිබඳව සිතලත්, සාකච්ඡා කරලත් නැහැ.

අපි සිතමු විපක්ෂය කුමන හෝ සැලසුමකින් මේ ආණ්ඩුව වට්ටනවා කියලා. එසේ වුවහොත් විපක්ෂය පිහිටුවන ආණ්ඩුවේ බලය ජනාධිපතිතුමාට නැති වෙනවා. එම තත්ත්වය තුළ ජනාධිපතිතුමා එක් පක්ෂයකුත් පාර්ලිමේන්තුවේ බලය වෙනත් පක්ෂ නියෝජනය කරන බලවේගයකටත් අයත් වෙනවා. මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය රටට කිසිසේත්ම යහපතක් වන්නේ නැහැ.

එම නිසා එම අවස්ථාවේදී ආණ්ඩුව වට්ටන්න අපගේ කිසිම චේතනාවක් නැහැ. මෙම අවස්ථාවේදී අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන. ඒ අතර අපි ජනතාවගේ ප‍්‍රශ්න සාකච්ඡා කරනවා.

ප‍්‍රශ්නය: ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවීමට පෙර මේ රටේ තිබුණ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. බොහෝ දුරට මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන සිටින්නේ අතීතයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ තැන.

එම පසුබිම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වට්ටා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අතීතයේදී හිමිවූ තිබූ තැන හිමිකර ගැනීමට මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන පසුබිම තුළ සිතෙන්න ඉඩ තිබෙනවා නේද?

පිළිතුර: මේ අවස්ථාවේදී අපි වට්ටන්නේ කවුද කියලා සිතන්නේ නැහැ. මේ අවස්ථාව වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපේ පක්ෂයේ මන්ත‍්‍රීවරු 14 දෙනෙකු පමණයි. නමුත් ඉදිරි මැතිවරණවලදී එම සංඛ්‍යාව 50 දක්වා වැඩිකර ගැනීමට අපි ඉලක්ක කරනවා. එම ඉලක්කය තුළ අපට ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. නමුත් කාට වැඩි ආසන සංඛ්‍යාවක් ගියත් රිමෝට් එක තීරක බලය අපට එනවා.

ඒ වගේම ඉදිරියේදී හැදෙන්න ඕන සංධාන ආණ්ඩුවක්. දැන් තිබෙන තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ වෙනත් පක්ෂයකට තනියෙන් ආණ්ඩුවක් හදන්න බැහැ. 1947 සිට මැතිවරණ ඉතිහාසය අරගෙන බැලූවොත් පේන්න තිබෙනවා. 1960 මැතිවරණෙයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ 1977 මැතිවරණයෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා හැර වෙන කිසිවකු තනියෙන් ආණ්ඩු පිහිටුවා නොමැති බව. ඒ හැර මේ රටේ පිහිටවපු සෑම ආණ්ඩුවක්ම සංධාන ආණ්ඩුවක්. ඒ ආකාරයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බලයට එන්නේ සංධාන ආණ්ඩුවක්.

එම නිසා මේ දිනවල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි විද්වත් කමිටු කිහිපයක් පත්කරලා රට මුහුණ පා සිටින ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. වෙනත් පක්ෂත් එවැනි ප‍්‍රතිපත්ති ඉදිරියේදී ඉදිරිපත් කිරීමට පුළුවන්. සංධාන ගොඩනැගීමේදී ඒ වනවිට රට මුහුණදී සිටින ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවයක් ඇතිකර

ගන්නවා. ඒ විදියට තමයි අපි ඉදිරියේදී ආණ්ඩුවක් හැදීමට අපේක්ෂා කරන්නේ. එසේ නොමැතිව කවුද වට්ටන්නේ කියන එක පිළිබඳව අපි කල්පනා කරන්නේ නැහැ. ඒ වෙනුවට රට පත්වී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අපේ විසඳුම් රටට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා.

ප‍්‍රශ්නය: ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එසේත් නොමැති නම් පොහොට්ටු පක්ෂය සමග එක්වී තරග කිරීමට අපේක්ෂා කරනවාද?

පිළිතුර – මම නම් හිතන්නේ ඉදිරියේදී අපට එම පක්ෂයත් සමග මැතිවරණවලට තරග කිරීම අසීරු වේවි කියන එක තමයි. මොකද? අපේ පාක්ෂිකයනුත් ජනතාවත් කියන දේ තමයි යළිත් පොහොට්ටුවෙන් නම් තරග කරන්න එපා කියන එක. ඒක අපේ මුහුණටම කියනවා. ඒක අපේ මතයත් නොවෙයි. ආයෙත් පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ කියන එක මේ වනවිට ජනමතයක් බවට පත්වී තිබෙනවා. කොහේ ගියත් අපේ පාක්ෂිකයන් සහ ජනතාව කියන්නේ පොහොට්ටුව නොමැති ආණ්ඩුවක් හදන්න කියන එක තමයි.

ප‍්‍රශ්නය: එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි ගොඩනැගීමට කටයුතු කරන බව මහින්ද අමරවීර ඇමැතිවරයා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මීට පෙර දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු පිරිස කටයුතු කළේ එම සංධානයත් සමග. නමුත් ඔවුන් මේ වනවිට කටයුතු කරන්නේ පොහොට්ටුව සමග.

ඉදිරියේදී එම පිරිස යළිත් එක්සත් ජනතා සංධානය සමග සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවාද?

පිළිතුර: මම දන්න විදියට ඒ අයත් සාකච්ඡා පවත්වමින් ඉදිරිය සඳහා වැඩපිළිවෙළ සකස් කරමින් සිටිනවා. මෙම අවස්ථාවේදී මොන මොන පක්ෂද කියන එක කියන්න බැහැ. නමුත් පොදු එකඟතාවයක් සඳහා පක්ෂ ගණනාවක් එකඟ කර ගැනීමේ හැකියාව තිබෙන බව පෙනෙනවා.

ඉදිරියේදී අපි පොදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා. රටට ජනතාවට ආදරය තිබෙන පක්‍ෂ ඔවුන්ගේ වැඩ පිළිවෙළවල් ඉදිරියේදී ඉදිරිපත් කරාවි. ඒ සියල්ල පිළිබඳව සාකච්ඡා කරලා රටේ තිබෙන ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසා ගැනීම තමයි වැදගත්.

ප‍්‍රශ්නය – ජනතාවගේ අමනාපය තිබෙන්නේ පොහොට්ටුවත් සමග ද ආණ්ඩුවත් සමගද?

පිළිතුර – රටේ ප‍්‍රශ්න මේ ආකාරයට අවුල්වීම පිළිබඳව ජනතාවගේ අමනාපය තිබෙන්නේ පොහොට්ටුවේ නායකයන් සමඟ තමයි.

ප‍්‍රශ්නය – ඉදිරියේ දී ඔබලා

ගොඩනැඟීමට අපේක්‍ෂා කරන සංධානය සමඟ අතීතයේදී එක්සත් ජාතික පක්‍ෂය සමඟ කටයුතු කළ අය එක්වීමේ ඉඩක් තිබෙනවාද? මොකද ඔබ යහපාලන ආණ්ඩුව තුළ ඔවුන් සමඟ කටයුතු කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

පිළිතුර – අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළට එකඟවන්නේ කවුද නැත්තේ කවුද කියන එක මේ අවස්ථාවේදී අපට කියන්න බැහැ. මම ඉහතින් සඳහන් කළ ආකාරයට ආණ්ඩුවේ සිටින පොහොට්ටුව හැර අනෙකුත් පක්‍ෂ මේ වන විට වැඩ පිළිවෙළවල් සකස් කරමින් සිටිනවා. ආණ්ඩුව ඇතුළේ පක්‍ෂ 13ක් තිබෙනවා. එම වැඩ පිළිවෙළවල් සමඟ ආණ්ඩුවේ කවුරු එක්වේවිද, විපක්‍ෂයේ කවුරු එක්වේවිද කියන එක මේ අවස්ථාවේදී කියන්න බැහැ.

විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වදේශ චින්තනයක් සහිත විශේෂයෙන්ම ජාතික දෘෂ්ටියක් සහිත වැඩපිළිවෙළ වටා අනාගතයේ දී අලූත් පෙරමුණක් ගොඩ නැගෙයි කියලා මම සිතනවා. එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාවය මේ වන විට රටේ ජනතාව, විද්වතුන් ඇතුළු පිරිස විසින් මතුකර තිබෙනවා.

ප‍්‍රශ්නය – මේ මොහොත වන විට ඔබ මේ රටේ සිටින පරිණතම, ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙක් බවට පත් වී තිබෙනවා. ඔබට පෙනෙන ආකාරයට මේ ආණ්ඩුවට, ජනාධිපතිතුමාට වැරදුනේ කොතනද?

පිළිතුර – 2019 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාට 69 ලක්‍ෂයක ජනතාවක් ඡන්දය දුන්නා. එම ජයග‍්‍රහණය සඳහා පක්‍ෂ 13කින් යුතු වූ සංධානයක් කටයුතු කළා.

එම පක්‍ෂ 13 සහ ජනතාව ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ එක අරමුණක් ඇතිව. එම අවස්ථාවේදී රටේ ජනතාව අපේක්‍ෂා කළේ මගේ යහපාලන ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක්, සරලවම, කෙටියෙන් කියනවා නම් මේ රටේ ජනතාව අපේක්‍ෂා කළේ යහපාලන ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක් නමුත් දැන් ජනතාව මොකද්ද කියන්නේ දැන් ජනතාව කියනවා මගේ කනට ඇහිලා තිබෙනවා යහපාලන ආණ්ඩුවේ අර්බුද තිබුණට රටේ ජනතාව හොඳට කාල ඇඳල හිටිය බව. ඒ වගේම ආණ්ඩුවේ අර්බුද ජනතාව අතරට ගමට රටට නොආ බවත් ජනතාව කියනවා. ඒ වගේම අද ඇති වී තිබෙන පොහොර අර්බුදය, තෙල් අර්බුදය, ආහාර අර්බුදය, ගෑස් අර්බුදය සමග එදා රටේ පැවැති තත්ත්වය අද ජනතාව සංසන්දනය කරලා බලනවා. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතාව කතා කරනවා. 2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයට පෙර පොහොට්ටුවේ නායකයන්ගෙන් තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඔවුන් සමඟ එක්වීමට යෝජනාව ආවේ. එම ආරාධනාවත් සමඟ තමයි මෙම සංධානය බිහි වූයේ. එම සංධානයේ නම තමයි, ශ‍්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය අපේ තිබුණ බලාපොරොත්තුව තමයි ආණ්ඩුවක් විධියට එකට වැඩ කිරීම. රාජපක්‍ෂ මහත්වරු සහ මම අතර තිබුණු සියලූ ප‍්‍රශ්න අමතක කරලා තමයි මේ ආණ්ඩුව හදන්න අපි එකතු වුණේ. මම විශ්වාස කරනවා ඔවුනුත් ඒ ආකාරයට කටයුතු කරන්න ඇති කියලා.

එම සංධානය ගොඩනඟලා මේ වන විට වසර දෙකකට වඩා කාලයක් ගත වී තිබෙනවා. නමුත් මේ දක්වා එම සංධානය විදියට එක් රැස්වීමක්වත් පවත්වා නැහැ. එම නිසා සංධානය තුළ මේ ආණ්ඩුව පිළිබඳව කිසිදු සංවාදයක් නොමැති වී තිබෙනවා. දැන් සංධානය තිබෙන්නේ යළිත් කරගහල ගොඩ ගන්න පුළුවන් තැනක නෙවෙයි. නමුත් සංධානය පිහිටුවීමෙන් පසුව මසකට වරක් හෝ රැස්වෙලා රටේ ප‍්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් සාමූහික ප‍්‍රයත්නයකට ගියා නම් අද මේ ඇති වී තිබෙන තත්ත්වය ඇති වන්නේ නැහැ. අද වන විට ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙක් අධිකරණය හමුවට ගිහිල්ලා ආණ්ඩුව ගත් තීන්දුවකට එරෙහිව නඩු දාලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ හෝ ආණ්ඩුව ගන්න තීන්දු සම්බන්ධයෙන් ඒකඟතාවයක් නොමැති වීම නිසා තමයි.

පොහොට්ටුව නැති සන්ධානයක් හදන්න ජනතාව කියනවා - හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන

පොහොර අර්බුදය පිළිබඳව කතා කිරීමේදී මට තරම් කාබනික පොහොර පිළිබඳව වෙන දේශපාලඥයෙකුට අත්දැකීමක් නොමැති බව සඳහන් කිරීමට සිදුවනවා. මම මහවැලි ඇමැතිවරයා ලෙස වසර 17ක් කඩින් කඩ කටයුතු කරලා තිබෙනවා. ඊළඟට කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වසර 6ක් කටයුතු කළා. එම කාලය තුළත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේදීත් මම දිගින් දිගටම කාබනික පොහොර සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙනවා.

ලංකාවේ පළමු වතාවට මම 2007 දී කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කාබනික පොහොර අධිකාරියක් හැදුවා. එහි මූලස්ථානය පිහිටුවූයේ මාකඳුර ගොවිපළේ. අදත් කාබනික පොහොර පිළිබඳ මූලස්ථානය ලෙස එම ස්ථානය ක‍්‍රියා කරනවා.

රසායනික පොහොර ආනයනය එකවර තහනම් කිරීමට තීරණය කිරීම ලෝක ගෝලය අනික් පැත්ත හරවනවා වගේ තීරණයක්. එම තීරණය ගත්ත හැටියේම අපි පක්‍ෂයක් ලෙසත්, මන්ත‍්‍රී කණ්ඩායම ලෙසත් පුද්ගලිකවත් කිව්වා මෙහෙම තීරණයක් ගන්න එපා ඒ තුළින් රට විශාල අවුලකට යන බව. එම අවස්ථාවේදී අපි පෙන්වාදුන්නා එම තීරණය නිසා වී ප‍්‍රශ්න ආහාර ප‍්‍රශ්න වගේම රට තුළ විශාල විරෝධයක් ගොනැගෙන බව. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විශාල වශයෙන් හේන්වල බඩඉරි`ගු වගා කරනවා. එම ගොවියන්ට එම ආදායම හැරෙන්න කිසිම ආදායමක් නැහැ. එම ප‍්‍රශ්න ආණ්ඩුව අවුල් කර ගත්තා. එබඳු තත්ත්වයක් ඇති වීමට හේතුව තමයි මැතිවරණයට පෙර තිබූ එකඟතාවයන් ආණ්ඩුව කඩ කිරීම. ඒ කියන්නේ සාමූහික වගකීමක් නැහැ. ඒ සඳහා සාමූහිකව වැඩ කිරීමක් නැහැ. බුදුන් වහන්සෙත් දේශනා කරලා තිබෙනවා. සතුටින් රැස්වෙන්න, සතුටින් සාකච්ඡා කරන්න. සතුටින් විසිර යන්න කියලා.

ඒ ආකාරයට කටයුතු සිද්ධ නොවීම නිසා ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ අතරේ අර්බුදයක් ඇති වී තිබෙනවා. එම නිසා තමයි සංධානය නියෝජනය කරන පක්‍ෂවල නායකයින් ආණ්ඩුව විවේචනය කරන තත්ත්වයක් ඇති වී තිබෙන්නේ.

මගේ ආණ්ඩු කාලයේ දී කිසිදු රජයේ නිලධාරියෙක් ඉල්ලා අස්වූයේ නැහැ. නමුත් පසුගිය කාලය තුළ ආචාර්යවරු, මහාචාර්යවරු, විද්වතුන් කී දෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවාද? ඒ වගේම සමහරුන් තනතුරුවලින් ඉවත් කළා. ඔවුන් ආණ්ඩුවේ තීරණවලට පටහැනිව කටයුතු කරන බවට චෝදනා කරමින් මහාචාර්ය මාරඹෙ වැනි කෘෂි විශේෂඥයන් එලෙස ඉවත් කළා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිපීඨය කියන්නේ එම විෂය පිළිබඳව විද්වතුන්ගෙන් පිරි ස්ථානයක් නමුත් අද එබඳු ආයතන සමඟ කිසිදු සංවාදයක් නැහැ. උපදෙස් ගැනීමක් නැහැ. එම ආයතනයේ උගතුන් බුද්ධිමතුන් අද කනගාටු වෙනවා රට පත්වී තිබෙන තත්ත්වය පිළිබඳව.

ඒ වගේම තමන්ට වැඩ කළ පාක්ෂිකයන් සමග හරි සාකච්ඡාවක් නැහැ. ආණ්ඩුව තනියම තීන්දු ගන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වය ඇති වූයේ.

ප‍්‍රශ්නය – කවුද ආණ්ඩුව වෙනුවෙන් එම තීරණ ගත්තේ?

පිළිතුර – කවුරුත් දන්නවනේ ඒක. රජයේ සිටින ප‍්‍රධාන අය එම තත්ත්වයට වගකිව යුතුයි.

ප‍්‍රශ්නය – අත්තනෝමතික පාලනයක් ගෙනයන බව ද ඔබ චෝදනා කරන්නේ. ඒ කියන්නේ දැන් කලින් තිබුණ සහෝදර සමාගමවත් නැද්ද?

පිළිතුර – අත්තනෝමතික කියන වචනය නම් මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් රට හරිම අවුල්සහගත තත්ත්වයකට නම් පත් වී තිබෙනවා. මට නම් ඒ සමාගම තිබෙන බවක්වත් පෙන්නේ නැහැ.

දැන් බලන්න ජාත්‍යන්තර සබඳතා වැටිලා තිබෙන තත්ත්වය. අපේ රටේ ජාත්‍යන්තර සබඳතා තිබුණ හොඳම යුගය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගය. ඉන් අනතුරුව ජාත්‍යන්තර සබඳතා ප‍්‍රබල ලෙස ශක්තිමත් වූයේ මගේ කාලයේදී. අපට උදව් කිරිමට ඕනෑ තරම් රටවල් සිටියා. එම සහයෝගය අපි ලබාගත්තා, තවදුරටත් ගන්න තිබුණා.

නමුත් ඒ සම්බන්ධයෙන් පවා දැන් ලොකු අවුලක් ඇතිවී තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ සිතන ආකාරයට එම තත්ත්වයට හේතු වී තිබෙන කාරණා මොනවාද?

පිළිතුර – එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම යුරෝපා සංගමයත් කැමැති නැහැ 19 වන සංශෝධනය අහෝසි කළ එකට, ඒ වගේම 20 වන සංශෝධනය ගෙන ආ එකට. එම සංවිධාන බලන්නේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික අයිතිිවාසිකම්, මාධ්‍ය නිදහස, අධිකරණයේ සහ පොලිසියේ අපක්ෂපාතීත්වය යන කාරණා පිළිබඳව අපි පිහිටුවපු ස්වාධීන කොමිසම් සභා අහෝසි කරලා තිබෙනවා.

19 වන සංශෝධනයේ වැරදි අඩුපාඩු රාශියක් තිබෙනවා. එම අඩුපාඩු නිවැරදි කිරීමට අනෙක් අය කැමැති වුණේ නැහැ. මට අගමැති කෙනකු සිටියේ නැහැ. මට ඇමැති මණ්ඩලයක් තිබුණේ නැහැ. මට පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි යන දෙකම මට තිබුණේ නැහැ. එම දෙපාර්ශ්වයම මට පහර දුන්නා. නමුත් වසර 5 ක කාලය සම්පූර්ණ වීමට මාස 2 ක් අඩුවෙන් මම රට පාලනය කළා. ඇත්තටම මට බණින එක නෙවෙයි කළ යුත්තේ. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් නැතිව රට පාලනය කිරීම ගැන මට සම්මානයක් දිය යුතුයි.

ඒ අතරේ මොන විවේචන ආවත් මගේ කාලයේදී විශාල වැඩ කොටසක් කළා. ජාත්‍යන්තරය උදව් කරන්නේ පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති දෙස බලලා. එසේ නොමැතිව පුද්ගලයා දෙස බලල නොවෙයි.

මගේ ආණ්ඩු කාලයේදී ආණ්ඩුවේ තුවක්කුවත් පත්තු වූයේ නැහැ කිසිම කෙනකුට. සිරගෙවල් වල බෝම්බ පත්තු වූයෙත් නැහැ. සිරගෙවල්වල සිටින අයට ඇදල අරන් වෙඩි තිබ්බෙත් නෑ.

මගේ කාලයේදී අපරාධකාරයකුට එරෙහිවත් එක උණ්ඩයක් පත්තු වූයේ නැහැ.

ප‍්‍රශ්නය – නමුත් පාස්කු බෝම්බ ප‍්‍රහාරය සිද්ධ වූණා නේද?

පිළිතුර – සමහරු උත්සාහ කරනවා මුස්ලිම් ත‍්‍රස්තවාදීන් බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ අපේ රටට පමණක් බව පෙන්වීමට. නමුත් එම ප‍්‍රහාරවලට

ගොදුරු වූයේ අපේ රට පමණක් නොවෙයි. යුරෝපයේ බොහෝ රටවල බෝම්බ පිපිරුණා. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් බෝම්බ ප‍්‍රහාර එල්ල වූවා. මම කියන්නේ පාස්කු ඉරිදා පුපුරා ගියේ ආණ්ඩුව හදපු බෝම්බ නෙවෙයි. නමුත් දැන් පුපුරන බෝම්බ ආණ්ඩුව හදාගත්ත ඒවානේ. පොහොර බෝම්බය, ගෑස් බෝම්බය යන බෝම්බ ආණ්ඩුව හදාගත්ත ඒවා කියන එකයි මම කියන්නේ. නමුත් පාස්කු ඉරිදා පුපුරා ගියේ ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ. ඒක තමයි මෙතන තිබෙන වෙනස.

ප‍්‍රශ්නය – කතෝලික පල්ලියේ නායකයන් කරන ප‍්‍රකාශවලින් පැහැදිලි වෙනවා පාස්කු ප‍්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් ඔබට අධිකරණය මගින් දඬුවම් ලබාදීමක් ඔවුන් අපේක්ෂා කරන බව. එම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ඔවුන් අපේක්ෂා කරන්නේ ඒ සඳහා පත්කළ කොමිෂන් සභා වාර්තාවේ ඒ සඳහා නිර්දේශ තිබෙන බව තමයි. මගේ එකම තර්කය මේකයි මම පත්කළ කොමිෂන් සභාවේ වර්තාව ප‍්‍රකාශයට පත්වූයේ මම බලයේ නොසිටියදීයි. මම ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔය වාර්තාව ප‍්‍රකාශයට පත් වූවා නම් එහි නිර්දේශ ඔය ආකාරයට සඳහන් කරාවිද?

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කිහිපයක්ම තිබෙනවා. මහාධිකරණයේත් නඩු තිබෙනවා. ඒ නිසා මම ඒ පිළිබඳව මාධ්‍යයත් සමග වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් මට කතා කළ යුතු දේ බොහෝ තිබෙනවා. නමුත් කතා නොකරන්නේ අධිකරණය හමුවේ නඩු තිබෙන නිසා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනපි‍්‍රය/
බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment