පොහොට්ටුව පිපිරවූ තෙල් ගැටුම

921

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල අතර ගැටුම නැවත නැවතත් අවධාරණය කරන්නේ වර්තමාන දේශපාලන අස්ථාවරභාවයයි. එලෙසම රටේ ආර්ථිකය බරපතළ අනතුරක බවයි. කුමන පක්ෂය බලයේ සිටියත් වර්තමාන තත්ත්වයට පාර්ලිමේන්තුව වගකිව යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. කාරියවසම්, ගම්මන්පිල ගැටුම හුදෙකලා සිදුවීමක් නොවේ. එම ගැටුම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආණ්ඩු පක්ෂය) තුළ ඇතිවූ පළමුවන කලබගෑනිය නොවේ. එය කිසිසේත්ම එම පක්ෂය තුළ සිදුවූ අවසන් ගැටුමත් නොවනු ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ පිපිරීමක් අභියස බව පැහැදිලිය. පක්ෂ නායකත්වය එම තත්ත්වය නිසියාකාරව කළමනාකරණය කළ නොගතහොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵලය ජනතාවට අයහපත් වනු ඇත. භූමියේ සැබෑ තත්ත්වය එයයි.

පසුගිය ජුනි 11 දින මධ්‍යම රාත‍්‍රියේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල වහාම අස්විය යුතු බව කාරියවසම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ලෙස ජුනි 12 දින ප‍්‍රකාශයක් කළේය. ඊට පසුදින
ගම්මන්පිල ඇමැතිවරයා බලශක්ති අමාත්‍යාංශයේ දහවල් පැවති මාධ්‍ය හමුවේදී සිනහවෙමින් කළ ප‍්‍රකාශය අනුව තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යමෙකු ඉල්ලා අස්විය යුතුනම් පහත නම් සඳහන් සියලූ දෙනා වගකීම භාරගත යුතුය. තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය ජුනි 9 වන දින ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති (මුදල් ඇමැති ලෙස) මහින්ද රාජපක්ෂ, කෘෂිකර්මාන්ත ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම, බලශක්ති ඇමැති ගම්මන්පිල, ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් නිවාඞ් කබ්රාල් සහ ලසන්ත අලගියවන්නයි. මෙම තීරණයට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ නීතිමය අවසරය ලබා දෙන්නේ ජුනි 10 යි. මෙම තීරණය සම්බන්ධයෙන් කාරියවසම් දැනුවත් වී සිටියේ නැද්ද? ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව බරපතළ ප‍්‍රකාශයක් කිරීමට පෙර තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විමසීමක් නොකළේ ඇයි?

ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය රූපවාහිනී නාලිකා සජීවීව විකාශනය කළේය. මෙහිදී සාගර කාරියවසම් කවුරුදැයි යන ප‍්‍රශ්නය නීතිඥ ගම්මන්පිල මතු කළේය. අමාත්‍යවරයා කිවූ පරිදි ඔහුගේ විශ‍්‍රාමික විදුහල්පති මව පවා සාගර කාරියවසම්ව දන්නේ නැත. ඇය එම ප‍්‍රශ්නය ගම්මන්පිල ඇමැතිවරයා පවසන ආකාරයට මතු කළේ සාගර කාරියවසම් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ආණ්ඩු පක්ෂයෙන් සමාව ගත යුතු යැයි පැවසූ විටදීය. වීරවංශ ප‍්‍රහාරයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නිසි ස්ථානයක් දිය යුතු බවට කළ ප‍්‍රකාශයත් සමගය. අමාත්‍ය ගම්මන්පිල කියූ ආකාරයට සාගර කාරියවසම් කියා ප‍්‍රාණියෙක්ව ඔහුද වසර 5 කට පෙර අසාවත් නැත. කවුද මේ සාගර කාරියවසම්? වර්තමාන දේශපාලන ගැටලූ සහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ වගකීම සහ එම දෙපාර්ශ්වයේම වගවීම සම්බන්ධයෙන් කතා කිරීමට පෙර සාගර කාරියවසම්ව හඳුනාගනිමු.

සාගර කාරියවසම් ලංකා ජාතික පෙරමුණේ හිටපු මහා ලේකම්ය. ක‍්‍රිකට් පිත්ත ලාංජනය වූ එම පක්ෂය කිසිදා පාර්ලිමේන්තුව නියෝජනය කර නැත. එලෙසෙම පළාත් සභා සහ පළාත් පාලන ව්‍යුහය තුළද එම පක්ෂයට අවස්ථාවක් කිසිදා හිමිවී නැත. එම පක්ෂය විමල් ගීගනගේය. ලංකා ජාතික පෙරමුණ වෙත දේශපාලන සැලසුම්කරු බැසිල් රාජපක්ෂගේ අවධානය යොමු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 ජනවාරි මාසයේ පරාජය වීමෙන් පසුවය. බැසිල් රාජපක්ෂ එම පක්ෂය අත්පත් කර ගත්තේය. එම වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සති කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ලංකා ජාතික පෙරමුණ, අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ (ලාංජනය මල් පොහොට්ටුව) ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව / මැතිවරණ කොමිසම ලියාපදිංචි කළේය. විමල් ගීගනගේ පක්ෂයේ මහා ලේකම් වූ සාගර කාරියවසම් ලංකා ජාතික පෙරමුණේ සහ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණේද මහා ලේකම් විය.

පරාජිත මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ හරහා 2015 මහා මැතිවරණයට තරග කිරීමයි. නමුත් අවසන් මොහොතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ‍්‍රීලනිපය සමග ඇති කර ගත් ගිවිසුමක් යටතේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළේය.

මහමැතිවරණයට සතියකට පෙර ශ‍්‍රීලනිප නායකයා තමන් නායකත්වය දෙන සන්ධානය ජයග‍්‍රහණය කළත් මහින්ද රාජපක්ෂව අගමැති නොකරන බවට කළ ප‍්‍රකාශය නව පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ පිලට අවධාරණය කළේය.

එහි ප‍්‍රතිඵලය වූයේ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නැවත ලියාපදිංචි කිරීමයි. එය සිදුවූයේ 2016 නොවැම්බර් මාසයේදීය. එම පක්ෂයේද මහා ලේකම් වූයේ කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ සාගර කාරියවසම් ය. මෙම ලියුම්කරු සාගර කාරියවසම් සමඟ සම්බන්ධ වී ඇත. ඔහු සමස්ත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ව්‍යාපාරය තුළ සක‍්‍රියව සිටියේය. සාගර කාරියවසම්ගේ නැසීගිය පියා හපුතන්ත‍්‍රී ගමගේ ඇල්බට් කාරියවසම් දේශපාලනයට පිවිසෙන්නේ මහජන එක්සත් පෙරමුණ හරහාය. නමුත් 1960 මාර්තු 19 පැවති ශ‍්‍රී ලංකාවේ හතරවැනි මහමැතිවරණයට මහජන එක්සත් පෙරමුණෙන් බෙන්තර-ඇල්පිටිය ආසනයට තරග කළ ඇල්බට් කාරියවසම් පරාජය විය. ඒ සමගම, ඇල්බට් කාරියවසම් ශ‍්‍රීලනිපයට එකතු අතර බෙන්තර ඇල්පිටිය ආසනය ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තුවට එම වසරේදීම ඇතුළු විය. ශ‍්‍රීලනිපය අන්ත අසරණ වූ 1977 මහමැතිවරණයෙදී පරාජයත් සමඟ ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලනය අවසන් විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යටතේ ඇල්බට් කාරියවසම් වැවිලි නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

සාගර කාරියවසම් දේශපාලන නොදත් අයකු විය නොහැකිය.

පසුගිය මහාමැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු ආසන 17 ක් සමඟ මන්ත‍්‍රී ධුර 145 හිමි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 අගෝස්තු 5 වන දින පැවති මහජන්දයෙන් දිනකට පසුව මැතිවරණ කොමිසමට භාර දුන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 17 අතර සාගර කාරියවසම් අහම්බෙන් පාර්ලිමේන්තුවට පත්විය නොහැකිය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවූ දින සිටම සාගර කාරියවසම් එම පක්ෂයේ කටයුතු කර ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී වීරවංශ ඇමැතිවරයා ආණ්ඩු පක්ෂයෙන් සමාව ගත යුතු බවට සාගර කාරියවසම් ප‍්‍රකාශයක් කළේ පක්ෂ සභාපති මහාචාර්ය පීරිස් පසෙකින් තබාගෙනය. සාගර කාරියවසම්ගේ ගම්මන්පිල අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සාධාරණිය කළ හැකිද?

අමාත්‍ය ගම්මන්පිලද වැඬේ වරද්දා ගත් බව කිව යුතුමය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මන්ත‍්‍රී සාගර කාරියවසම්ගේ මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ඔහුට පැවසූ කරුණු කාරණා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුවේ ‘බල්ලාගේ වැඬේ බූරුවා කරන්න’ අවශ්‍ය නැති බවයි. එසේනම් තෙල් මිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ පූර්ණ වගකීම මුදල් අමාත්‍යාංශයට ව්‍යවස්ථානුකුලව පැවරී තිබෙන තත්ත්වයක් යටතේ ජුනි 11 ප‍්‍රකාශයට පත්කළ මිල වැඩිවීම කළ යුතුව තිබුණේ මුදල් ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ බව අවධාරණය කළ යුතුය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල අත්සනින් යුතුව ප‍්‍රකාශයක් නිකුත් කළානම් කිසිදු ප‍්‍රශ්නයක් නැත. ගම්මන්පිල ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගලවා ගැනීමට තමන් මාධ්‍ය ප‍්‍රකාශය කිරීමට ඉදිරිපත් වූ බවයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගලවා ගැනීමට අවශ්‍ය කාගෙන්ද යන ප‍්‍රශ්නය මෙහිදී අසා සිටිය නොහැක.

මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් පසෙකින් තබාගෙන ගම්මන්පිල ඇමැතිවරයා බලශක්ති අමාත්‍යංශයේ ජුනි 11 දින මාධ්‍ය ඇමතූ අවස්ථාවේ ජුනි 9 වන දින ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු රැස්වීමකදී තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය සහ අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස එම තීරණයට ලබා දුන් ව්‍යවස්ථානුකූල අවසර සම්බන්ධයෙන් සඳහන් කළානම් මෙම අනවශ්‍ය ගැටුම ඇති වන්නේ නැත.

මුදල් අමාත්‍යංශය නිකුත් කළ යුතු මිල වැඩිකිරීමේ නිවේදනය බලශක්ති අමාත්‍යාංශය කළේ ඇයි? කෙසේවෙතත් සාගර කාරියවසම්-ගම්මන්පිල ගැටුම හේතුවෙන් රටේ පවතින බරපතළ මූල්‍ය අස්ථාවර භාවය පිළිගැනීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය. සාගර කාරියවසම්ට ගම්මන්පිල අමාත්‍යවරයා පිළිතුරු සැපයූ මාධ්‍ය හමුවෙන් සුළු වෙලාවකට පසුව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය නැවතත් අවධාරණය කළේ ශ‍්‍රී ලංකා ආර්ථිකය බිංදුවට වැටී ඇති බවයි.

ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුවේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටෙන තරමට ප‍්‍රශ්නය බරපතළ බවයි. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් බිලියන 652 ණය වී ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 85 එම බැංකු දෙකටම ගෙවිය යුතු බවයි. රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පූර්ණ වගකීම ව්‍යවස්ථානුකූලව දරන වගවිය යුතු පාර්ලිමේන්තුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීම ජනතාවගේ බලාපොරොත්තුව යි.

තරු පහේ හෝටල්වල සියලූ නිරෝධායන නීති කඩ කරමින් උපන් දින සාද පැවැත්වූ කණ්ඩායම පස්සර නිරෝධායනයට රැගෙන ගිය බස් රථය තලංගම පොලිසියට ගෙනගොස් ඔවුන්ට අවශ්‍ය කරන ඇඳුම් ලබා දීමට තිබුණ උනන්දුවවත් රටේ මූල්‍ය විනය පවත්වාගෙන යෑමට නොතිබූ බව පැහැදිලිය. සියලූම දේශපාලන පක්ෂ මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුය. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දිනපතා මාධ්‍ය සාකච්ජා පවත්වමින්, සමාජ මාධ්‍ය යොදා ගනිමින් කියන කරන කතාවල තේරුමක් නැත. සත්‍ය අමිහිරිය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතන දෙක පමණක් රුපියල් බිලියන 737 ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ඇතිකර ඇති පීඩනය සුළු පටු නොවේ. රාජ්‍ය මූල්‍ය පමණක් නොව සමස්ත මූල්‍ය පද්ධතියම අස්ථාවරය. එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය අංශයේ සහ රාජ්‍ය අංශය – පෞද්ගලික අංශය සමග එක්ව ක‍්‍රියාත්මක දූෂණය, වංචාව, අක‍්‍රමිකතා සහ වගකීම් දිගින් දිගටම පැහැර හැරීම කොරෝනා ව්‍යසනයෙන් අසරණ වී සිටින රටට දරා ගත නොහැක.

එජාපය නායකත්වය දුන් ශ‍්‍රීලනිපය ඇමැතිකම් දැරූ යහපාලන රජය 2015 සහ 2016 ක‍්‍රියාත්මක කළ මහා බැංකු බැඳුම්කර වංචා සහ 2020 ඔක්තෝබර් මස 13 දින පැනවූ අංක 2197/12 දරන ගැසට් පත‍්‍රය මගින් ආනයනය කරන සීනි කිලෝග‍්‍රෑම් එකක් සඳහා එතෙක් රුපියල් 50 ක් ලෙස පැවති බදු මුදල ශත 25 ක් තෙක් අඩු කිරීම වැහි නැති හෙණ පතිත විය යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක රජයේ මුදල් පිළිබඳ කාරක සභාවද මෙම ගැසට් නිවේදනය හරහා රජය බදු අහිමිකර ගැනීමේ වාසිය කිසිසේත්ම පාරිභෝගිකයාට ලැබුණේ නැති බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළත් සිදු වූ දෙයක් නැත. එම කාරක සභාවේ සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා මන්ත‍්‍රීවරයා මුදල් අමාත්‍යංශයෙන් සීනි බදු සංශෝධනය පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් කැඳවිය. එම වාර්තාවටද වූ දෙයක් නැත.

ඉහත සඳහන් කළේ රට කරවන කණ්ඩායම් කළ ‘හපන්කම්‘ දෙකක් පමණි. වර්තමානයේ ක‍්‍රියාත්මක පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාවද සහ ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය හරහා නිකුත් කර ඇති වාර්තා වලින් හෙළිවන්නේ සමස්ත රාජ්‍ය මූල්‍ය පරිපාලනය බිඳ වැටී ඇති බවයි. ඇත්ත වශයෙන්ම දශක කිහිපයක් තිස්සේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව මෙම වාර්තා වලින් හෙළිවේ. එම වාර්තා නිසියාකාරව මහජනයා අතරට ගියහොත් කිසිදු සමාජ මාධ්‍ය ජාලයකට කළ නොහැකි බලපෑමක් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කරනු ඇත. පාර්ලිමේන්තු වාර්තා හෙළිදරව් කරන්නේ අහස පොලොව නුහුලන මූල්‍ය අපරාධය. එක්තරා ආකාරයකට ශ‍්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ හොරු රැලකගේ ග‍්‍රහණයට අසු වී ඇති දැයි සිතේ. ශ‍්‍රී ලංකාව බංකොලොත් කිරීමට කිසිදු විදේශ බලපෑමක් නොමැතිව පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ සිදුවෙමින් පවතියි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව 2021 මාර්තු 23 දින පැවති පූර්ණ වශයෙන් රජය සතු ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ්‘ ආයතනය ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 165 ක මිල ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලූම්කරුට ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 147 කට ඛනිජ වැලි ටොන් 85,000 විකිණීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිටගෙන් වාර්තාවක් මසක් ඇතුළත කැඳවිය. ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ්’ ආයතනය මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පවා නොමඟ යවා ඇති බව මෙම විමර්ශනයේදී හෙළි විය. මෙහිදී හෙළි වූ තවත් පුදුමාකාර කරුණක් වූයේ මිලදී ගත් ඛනිජ වැලි ටොන් 85,000 න් මුදල් ගෙවා ඇත්තේ ඛනිජ වැලි ටොන් 65,000 පමණක් බවයි. මෙවැනි තත්ත්වයක් කිසිදු ආකාරයකට පිළිගත නොහැක.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පිළිබඳව තත්ත්වය නරින්ට කුකුල්ලන්ට භාර දී ඇති ලෙසට වුවද පෙන්වා දිය හැක. පාර්ලිමේන්තුවේ නිකුත් කළ කිසිදු වාර්තාවකින් ජනතාවට සතුටට පත්විය නොහැක. මහජන මුදල් රුපියලක් ඉතිරි කිරීමට මහජන නියෝජිතයන් හෝ ඔවුන් විසින් පත්වීම් ලබන පුද්ගලයන් කටයුතු කර නැත.

ගල් අඟුරු ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදී වගකිවයුතු මහජන නියෝජිතයන් සහ ඉහළ නිලධාරීන් ඕනෑකමින් පවත්වාගෙන යන දුර්වලතා හේතුවෙන් ශ‍්‍රී ලංකාව විනාශකාරී මුදල් අලාභයක් දිගින් දිගටම ලබන බව පාර්ලිමේන්තුව පවසයි (2020 මාර්තු 10 පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනය අනුව). නමුත් සමස්ත ආර්ථිකයම කොවිඞ් ව්‍යසනය හමුවේ බරපතළ තර්ජනයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේදීවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ ආර්ථිකය ගොඩගැනීමට පැහැදිලි ක‍්‍රියාමාර්ගයක් ගත යුතුය. ඞීසල්, පැට්‍රෝල්, භූමිතෙල් ඇතුළු තෙල් මිල වැඩි කිරීම තුළින් පමණක් ආර්ථිකය ගොඩ ගත නොහැකිය.කවුරු බලයේ සිටියත් ක‍්‍රියාත්මක මූල්‍ය ප‍්‍රතිපත්තිය ජනතාවට අතිශයින්ම අහිතකර බව පැහැදිලිය. නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද පරිශ‍්‍රයේ ඉදිකිරීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ලෙස ලබා ගැනීමට ණය බරින් මිරිකී සිටින රජයට හෝ සංස්ථාවට නොහැකි බව බලශක්ති ඇමැති ගම්මන්පිල පැවසීය. ණය බරින් මිරිකී සිටින රටේ මැති ඇමැති වරුන්ට ටොයෝටා ලෑන්ඞ් කෲසර් 228 ගෙන ඒමට කැබිනට් පත‍්‍රිකාවක් පසුගිය මාසයේ දැමීම ජනතාවට අවධාරණය කරන්නේ මෙම තීන්දු තීරණ ගන්නා වුන්ට හිතක් පපුවක් නැති බවයි. පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත‍්‍රී ගණන 225 කි. එසේනම්, ඉතිරි ටොයෝටා ලෑන්ඞ් කෲසර් තුන කාගේ වුවමනාවටද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද රටේ සහ මහජන මුදලින් යැපෙන පුද්ගලයන්ගේ අවශ්‍යතා පටලවගෙන ඇත. සියලූම ආදායම් මාර්ග කොවිඞ් ව්‍යසනය හේතුවන් ඇහිරී ඇති මෙම අවස්ථාවේ සමස්ත මූල්‍ය පද්ධතිය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුය. තෙල් මිල වැඩිකිරීම සාධාරණිය කිරීමට පමණක් තෙල් සහ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 737 ණය ලෙස ගෙවීමට ඇති බව ප‍්‍රකාශ කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ.

ණයවර ලිපි නිකුත් කර තිබුණත් එම වාහන ඇනවුම සැපයුම්කරු සමඟ සාකච්ජා කර ටොයෝටා ලෑන්ඞ් කෲසර් ගෙන්වීම දැනට නතර කළ බව රජය ප‍්‍රකාශ කිරීම වෙනමම කතාවකි. නමුත් ප‍්‍රශ්නය ගම්මන්පිල ඇමැතිවරයාම පවසන පරිදිම ණය බරින් මිරිකී සිටින රටේ, කහ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය නවතා ඇති තත්ත්වයක් තුළ සැප වාහන ආනයනය කිරීමට සිතීම පවා බලවත් වරදකි. කිසිදු දේශපාලන පක්ෂයක් තුළ ජනතාව අනවශ්‍ය බලාපොරොත්තු තබා ගැනීම අනුවණ ක‍්‍රියාවකි. අවසන් වශයෙන් මතක්කර දීමට ඇත්තේ කොළඹ අගරදගුරු හිමිපාණන් මැල්කම් කාදිනල් රංජිත් පසුගියදා කළ ප‍්‍රශ්න කිරීමය. පාර්ලිමේන්තු ක‍්‍රමය පවත්වාගෙන යන්නේ ඇයි ? උන්වහන්සේ ප‍්‍රශ්න කළේ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය කිසිදු සහනයක් දීමට හෝ ප‍්‍රශ්න විසඳීමට කටයුතු නොකරන තත්ත්වයක් තුළය.

advertistmentadvertistment
advertistmentadvertistment