පොහොට්ටුව බලය ලබාගත් සටන් පාඨය වූ ජාතික ආරක්‍ෂාව අද බිංදුවට වැටිලා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

123

ජාතික ආරක්‍ෂාව මූලික කරගෙන එදා පොහොට්ටු නායකයන් බලයට පැමිණියත් අද රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටී ඇති බව හටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

වසර තුනකට ආසන්න කාලයක් තුළ රටේ ජාතික ආරක්‍ෂාවට කුමක් සිදුවී ඇත්ද යන්න රටේ ජනතාව මේ වනවිට තේරුම්ගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා ඊයේ (01දා) පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

වර්තමාන රජය බලයට පත්වීමට පෙර ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ මොකද්ද කියල රටේ ජනතාවට හොඳට මතක ඇති. එදා ජනතාවට කෑම බීමවත්, තෙල් ප්‍රශ්නයක්වත් ගෑස් ප්‍රශ්නයක්වත් හාල් පිළිබඳ ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ. ඩොලර් පිළිබඳව හා විදේශ සංචිතවල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රශ්නයත් රටේ ඉන්න ජනාධිපති ආරක්‍ෂක ඇමැති ජාතික ආරක්‍ෂාව විනාශ කෙරුවා කියන එක. ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කරන කියන එක තමයි පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කරුණක් වුණේ. නමුත් අදවන විට දැන් අවුරුදු තුනකට ආසන්න කාලයක් තුළ ජාතික ආරක්‍ෂාවට කුමක්ද වෙලා තියෙන්නෙ කියල. රටේ ජනපතිගේ නිවසට ප්‍රහාර එල්ල වුණා. ජනාධිපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් වටකරමින් උද්ඝෝෂණය කරමින් අද ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තියෙනවා.

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිටි පිරිස් හා මැති ඇමැතිවරුන් මෙහෙයවන ලද ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා ඉතා සාමකාමීව පවත්වාගෙන ගිය අරගලකරුවන්ගේ

ගැටුම බොහෝ දුරදිග ගියා. ඒ ස්ථානය මෙන්ම රටේ ගෙවල් 150 – 200 විතර කවුරුන් හෝ ගිනි තිබ්බා. ගිනිගත්තා.

ඒ නිසා මැතිවරණයෙ කියපු සටන් පාඨය වන ජාතික ආරක්‍ෂාව අද බිංදුවට වැටිල තියෙන්නෙ. මාව ප්‍රධාන චූදිතයෙක් කරල මේ රටේ ජාතික ආරක්‍ෂාවක් නැහැ කියල චෝදනා කරේ. ඒ නිසා මම අහනව රජයෙන් එදා 2019 මැතිවරණ ව්‍යාපාරයේ නායකයන් කියපු රටේ ජාතික ආරක්‍ෂාවට අද කුමක්ද වෙලා තියෙන්නෙ අද රටේ ජාතික ආරක්‍ෂාවක් තියෙනවද කියන එක.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment