පොහොට්ටුව මේ රටේ අනාගත දරුවන්ගේ පක්ෂයයි

52

ශ්‍රීලපොපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මංගල ආසන සමුළුවේදී කියයි
තියෙන ඕනෑම ඡන්දයක් අපි දිනනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අනාගත දරුවන්ගේ පක්ෂයයි. ඒ හේතුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීරණයක් මේ රටේ ජනතාව ගනීවි. විවිධ අය විවිධ කතා කියාවි තව අවුරුදු පහකට දහයකට ඡන්ද තියන්න ඕනේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ. ඉදිරියේදී අනිවාර්යෙන් මැතිවරණ තියෙනවා.ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තම පක්ෂය ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ පෙරේදා (26) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුවේදී නාමල් රාජපක්ෂ මහතා මේබව පැවසීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ කිසිදා බොරු පොරොන්දු දීලා නෑ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ ඉතිහාසයේ ඒකයි. අපි පිහිටවන ඊළඟ ආණ්ඩුව කෘෂිකාර්මික ආණ්ඩුවක් වෙනවා. එය නව තාක්ෂණය හා බද්ධ වූ එකක්. මැයි මාසය කිව්වාම බෞද්ධයන් වන අපටත් රටටත් වැදගත්. ඒ වෙසක් පෝය බෞද්ධයන්ගේ සම්බුදු තෙමගුල සිහි කිරීම හේතුවෙන්. අනිත් කාරණය තමයි මේ රටේ තිබූ වසර තිහක කුරිරු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ විසින් අවසන් කර රට එක්සේසත් කිරීම. අපි හදපු ආණ්ඩුවට එරෙහිව එළියෙත් ඇතුලෙත් පිටත් කුමන්ත්‍රණය කළා. මේ කුමන්ත්‍රණය ඇතුලේ ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන පවා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ භාරගත්තේ වැටිච්චි රටක්. 2015 දී ආසියාවේ වේගවත්ම සංවර්ධිත රාජ්‍ය වූ ශ්‍රී ලංකාව යහපාලන ආණ්ඩුව නැවත ඇද දැමුවා. ඒත් අපිට මේ වැටිච්චි රට සමග අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. එදා මහින්ද රාජපක්ෂ පටන් ගත්ත උමා ඔය සාම්පූර් විදුලි බලාගාර මේ අය ආරම්භ කරලා තිබුණා නම් ලයිට් කපන්න වෙන්නේ නෑ. එවැනි පසුබිමකයි අරගලය ආවේ. ඒක වෙනමම ව්‍යාපෘතියක්.

පොහොට්ටුව කියන්නේ ජනතාවගේ පක්ෂයක්. නූතන දරුවන්ගේ තරුණ පිරිසගේ පක්ෂය පොහොට්ටුව බවට පත් කරනවා. මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ සහ අප සමඟයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා

අරගලයෙන් මගේ ගෙදරත් ගිනි තිබ්බා. ඒත් පොල් ගහක් යට එදා ඉඳලා මහජන දිනය පැවැත්වූවා. ඔවුන් ගිනි තියලා, මිනිස්සු මරලා, බේරෙ වැවට දාලා ජනතාව බය කරන්න හැදුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාටවත් අනුරාධපුරයෙන් වට්ටන්න බෑ. කලාවැව ආසනය කියන්නේ කොහොම කලත් පොහොට්ටුවේ බලකොටුවක් තමයි. ඒක සජබෙටවත් අනුර කුමාරටවත් වෙනස් කරන්න බෑ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා

මේ පක්ෂයට කරන්න පුළුවන් හැම නින්දා අපහාසයක්ම කළා. ඒත් එක දශමයකින් හෝ පොහොට්ටුව වැටිලා නෑ කියලා අද කලාවැව බල මණ්ඩලයේ දැවැන්ත සම්මේලනයේදී පේනවා. මේ ජන ගඟ අපි පිට ප්‍රදේශවලින් බස් දාලා ඇදපු අය නෙමෙයි. තනිකරම කලාවැව මැතිවරණ කොට්ඨාසයේ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පමණයි. තවම ගම තියෙන්නේ අපි සමඟයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ඩබ්ලිව්.ඩී. වීරසේන, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, චන්ද්‍රසිරි මුතුකුමාරණ, වීරසේන ගමගේ, කලාවැව ප්‍රධාන සංවිධායක එස්.එම්. රංජිත් සමරකෝන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහත්වරුද අදහස් දැක්වූ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, තේනුක විධානපතිරණ, ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමිත් උඩුකුඹුර, ජගත් සමරවික්‍රම සහ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරුද එක්ව සිටියහ.
එරික් ගාමිණි ජිනප්‍රිය සහ මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment