පොහොට්ටු ආණ්ඩුවේ නොහැකියාව නිසා  අපේ රට මන්දපෝෂණයෙන්  ලෝකයේ හය වැනි තැනට ඇවිත්

76

දෙපැත්තේ තුන්පැත්තේ ඉන්න අය හරි පැත්ත තෝරා නොගත්තොත්
නාම යෝජනා ගන්න සිරිකොතට නොව කපුටා ළඟට යන්න වෙයි

– විපක්ෂ නායක සජිත් අත්තනගල්ලේදී කියයි

දෙපැත්තෙ තුන් පැත්තෙ හතර පැත්තෙ කකුල් තියාගෙන ඉන්න ඇත්තන්ට දැම්මම හරි පැත්ත තෝරගන්න කියල. එහෙම නැතුව ආපහු කාඩ් එක ගන්න නම් ඒ පැත්තෙ ඉඳල මේ පැත්තට එන්න හදන්න එපා. දැන්ම පැත්ත තෝරගන්න. අප දැනටමත් තීන්දු කර තිබෙන්නේ හතර පැත්තේ කකුල් තියාගෙන ඉන්න අයගේ කොට්ඨාසවලට විකල්ප සංවිධායකවරු පත් කරන්න යැයි සමගි ජනබල වේගයේ අත්තනගල්ල බලමණ්ඩල  රැස්වීම (18 දා) අමතමින් සමගි ජනබල වේගයේ නායක නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මේ රටේ වර්තමාන පොහොට්ටු ආණ්ඩුව නිසා රටේ ජනතාව අසීමිත පීඩනයකට, දුගීභාවයට පත්වෙලා තිබෙනවා. රට සෞභාග්‍යය කරා ගෙන යනව කියල ඡන්දෙන් ආපු අය මන්දපෝෂණ දර්ශනවලින් අපේ රට ලෝකයේ 6 වෙනි තැනට ගෙනත් තිබෙනවා. නමුත් ආණ්ඩුව කියනවා මේ රටේ මන්දපෝෂණ තත්ත්වයක් නෑ කියලා. මහ පොළොවට බැහැලා බැලුවොත් මව්වරුන්ගේ සහ දූ දරුවන්ගේ මන්දපෝෂණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේ ආණ්ඩුව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන් පාසල් දිවා ආහාරය කප්පාදු කරල තිබෙනවා. අපි හිතන්න ඕනෙ අප ගැන නෙමේ රට භාරගන්න ඉන්න අනාගත දරු පරපුර ගැනයි. මම වගකීමෙන් තමුන්නාන්සේලාට ප්‍රකාශ කර සිටිනවා අපේ ආණ්ඩුවක් තුළ මන්දපෝෂණය දුරු කරන්නට ගර්භණී මව්වරුන් කිරි දෙන මව්වරුන් සහ පාසල් දූදරුවන් මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට ජාතික ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනව කියලා.

රටේ අම්මල, දුවා දරුවන් ආහාර නොමැතිව මූලික අවශ්‍යතාවන් වත් සපුරා ගැනීමට නොහැකිව මන්දපෝෂණය කරා යද්දී මේ ආණ්ඩුව අධි පෝෂණයෙන් පෙළෙනවා. පාසල් දුවා දරුවන්ට ගර්භනී මාතාවන්ට පෝෂණ මල්ලවත් දෙන්න මේ ආණ්ඩුවට බෑ. නමුත් වරදාන වරප්‍රසාද  ලබාගන්න ඇමැතිවරු පත් කරන්න මේ අයට පුළුවන්.

වත්මන් ආණ්ඩුව කිසිම සීමාවක් නැතිව ඇමැතිවරු පත් කරනවා. දැනට කැබිනට් එකේ විස්සක් විතර ඉන්නවා. තව රාජ්‍ය ඇමැතිවරු 38 දෙනෙක් පත් කළා. තවත් දහයක දොළහක ලැයිස්තුවක් තිබෙනවා. මම කියනව මේ දුර්දාන්ත ආණ්ඩුවේ කැබිනට් එකට යන්න සමගි ජනබලවේගයේ එකම පුද්ගලයෙක්වත් නෑ කියලා.

මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වය එල්ල වෙද්දී වර්තමාන ජනාධිපතිවරයා කිව්වා එයා තැනකට ආවොත් යුතුකම් ඉටු කරනව කියලා. නමුත් අපි දැක්කා විපතට පත් වුණ අයට යුතුකම් ඉෂ්ට කරපු හැටි. චොකා මල්ලිට ඇමැතිකමක් දුන්නා. ඒ නිසා මම කියනව තවදුරටත් ඉතුරුවෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ටත්, නොමඟ ගිය පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත් වෙන්නේ මේ ඉරණම පමණයි.

දැන් එක්සත් ජාතික පාක්ෂිකයන් සහ විවිධ කණ්ඩායම් යනවලු මහින්ද රාජපක්ෂ ලඟට. ගිහින් කියනවලු අපව රැක බලාගන්න ජනාධිපතිතුමාට කියන්න කියලා. පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ටත් සිද්ධවෙන්නේ නාම යෝජනාව ගන්න සිරිකොතට යන්නේ නැතුව නෙළුම් මාවතේ කපුටා ලඟට යන්නයි.

දැන්මම හරි පැත්ත තෝර ගන්නෙ නැති අය මතක තියාගන්න පොහොට්ටුවටත් යූඇන්පී එකටත් අනිත් පක්ෂ වලටත් අත්පත් වෙන්නෙ 2020 මහමැතිවරණයේ දී යූඑන්පී එකට අත් වුණ ඉරණමමයි. මොකද අද තිබෙන්නෙ අලි කපුටු ආණ්ඩුවක්. අද වර්තමාන ජනාධිපතිවරයාට සිද්ධවෙලා තිබෙනව රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න. ඔය රාජපක්ෂ පවුල තමා මේ රට විනාශ කළේ. රට බංකොළොත් කරපු ඒ රාජපක්ෂ පරපුර රැක ගන්නෙ වර්තමාන ජනාධිපතිතුමා. ඒ නිසා මම කියනව මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා හරහා සාධාරණත්වයක් ඉෂ්ඨ වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂගේ අවතාර 134 තමා මේ ජනාධිපතිවරයා පත් කරගත්තේ. මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තමා රාජපක්ෂවරුන් ආරක්ෂා කර ගැනීම. රාජපක්ෂවරුන් කහින්න කියද්දී කුලියට කැහීමයි මේ අයගේ න්‍යාය පත්‍රය. අරගලයෙන් අපේ තරුණ පරපුර බලාපොරොත්තු වුනේ මේ වගේ ඉරණමක් නෙමේ.

මුළු රටම නැගිට්ට නිසා කපුටාට අගමැතිවරයාට ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා. නමුත් රටේ කිසිම වෙනසක් සිදුවෙලා නෑ 134 දෙනාගේ හොර කල්ලිය, මැර කල්ලිය එකට එකතු වෙලා එක මන්ත්‍රීකමක් ගත්ත රනිල් වික්‍රමසිංහව රටේ ජනාධිපතිවරයා බවට පත් කළා.

අද රජ පැටව් කියනවලු ඒ අයට නිදහස ඕනෙ කියල. මේ රජ පැටවුන්ගේ නිදහස තහවුරු කරන්නෙ වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව. නමුත් වසන්ත මුදලිගේට නිදහසක් නෑ. ස්වාමීන් වහන්සේ නමකට නිදහසක් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරල මර්දනය ක්‍රියාත්මක කරනව. මම කියනව මේ මර්දනයට තව වැඩි කාලයක් නෑ කියල. සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ආණ්ඩු බලය මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් අතට ගන්නවා. අපි ආණ්ඩු බලය ගත් පසුව නිදහස් නිවහල් මාතෘ භූමියක්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මාතෘභූමියක්, ජනතා නිදහස ජයග්‍රහණය කරන මාතෘ භූමියක් ඇති කරන්න අප කැපවෙනව.

පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය කියනව පිටරටින් ගේන සහල්වල පිලිකාකාරක තිබෙනව ලු. මේ විෂ සහල් ගැන්වීම තුළ අපේ රටේ ජනතාවට ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවලු.

දැන් ලෝකයේ අනිත් රටවල් කියනව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර කර ආධාර ගැන හිතන්නවත් එපා කියල. ඒ අස්සෙ පහුගිය දිනක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතින් ඇමති පදවි ගත්ත අය ප්‍රියසම්භාෂණ උත්සව පවත්වල එතැනදි උඩට වෙඩි තියල සිවිලිමක් කඩාවැටිල මහාචාර්යවරයකුත් රෝගී වුණා.

දැන් පොදු ජනතාව කුසගින්නෙ මව් පරපුර බඩගින්නෙ. නමුත් අපිට දකින්න තියෙන්නෙ ඇමැතිවරුන්ගේ ගිනිකෙළි ගිනි අවි සටන්.

මෙම බලමණ්ඩල රැස්වීමේදී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අදහස් දක්වමින් මෙසේ පැවසීය

මේ වෙද්දී ලෝකයේ වැඩියෙන්ම හිඟාකන රට තමා අපේ රට. අපේ නායකයො බලනව කොහෙන්ද ඩොලර් හිඟා කන්නෙ කියල. මේක තමා යථාර්ථය. ඉන්දියාවේ හිඟන්නෙක් කීයක් හරි දුන්නත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඒක  පිලිගන්නව.

මගේ ගෙදරට කලින් එක කෑම වේලකට තෝර මාළු ගෙනාවා. නමුත් දැන් මම කියල තියෙන්නෙ ලින්නා කියන මාළු ගේන්න කියල. මොකද දැන් අපට තෝර මාළු කන්න බෑ. තමුන්නාන්සේලාගේ ගෙවල් වලත් තුන්වේල කන අය දැන් අඩුයි.

වේයන්ගොඩ ඉන්දික තුෂාර

 

advertistmentadvertistment
advertistmentadvertistment