පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලපෑම මත කථානායක කෝපා සහ කෝප්  පොරොන්දුව කඩලා

92

– විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා සහ කෝප්) සභාපතිත්වය විපක්ෂයට ලබාදීමට කථානායකවරයා පොරොන්දු වුවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත තවමත් කතානායක එම තීරණය ක්‍රියාත්මක නොකළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා දෙකක් තමයි පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව. මේ වසරේ ජුනි මාසේ 7 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අපි කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා මේ කාරක සභා දෙකේ සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්න කියලා. එදා එතුමා කැමති වුණා විතරක් නෙවෙයි නිලධාරින්ට කිව්වා ස්ථාවර නියෝගවලට අවශ්‍ය නීතිමය වෙනස්කම් කරන්න කියලා. නමුත් ඒක සිදු වුණේ නැති නිසා අගෝස්තු 12 වැනිදා මම නැවත කථානායකවරයාගෙන්

ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමා ජුනි 7 වැනිදා පොරොන්දු වූ පරිදි පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව විපක්ෂයට ලබා දෙනවාද කියලා. කථානායකතුමා එදා පැහදිලිවම කිව්වා ඒ තීරණය ක්‍රියාත්මක කරනවා කියලා.

නමුත් අද වෙනකම් මේ තීරණය ක්‍රියාත්මක කරලා නෑ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ බලපෑම නිසා අද වනතුරු මේක කළේ නෑ. ඉතාමත් පැහැදිලියි රජය කරන්නේ දේශපාලනය. අරගලය කාලේ අපි කිව්වා අපේ සහයෝගය පාර්ලිමේන්තුවේ කමිටු හරහා රජයට ලබා දෙනවා කියලා. නමුත් අද රජය කරන්නේ දේශපාලනය. අපේ සහයෝගය ගන්නවා විනා රජය දේශපාලන ගමනක නිරත වෙනවා. ඇත්ත වශයෙන්ම දැන් කථානායකවරයාගේ වචනය පිළිබඳවත්, විශ්වාසය පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment