පොහොට්ටු මන්ත්‍රී මයික්‍රපෝනයෙන් ගසා හබරාදුව ජවිපෙ මන්ත්‍රී රෝහලේ

405

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ඊයේ (21දා) පැවැති මාසික රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමිල ප්‍රියංග මහතා සිය මේසය මත සවිකොට තිබූ මයික්‍රපෝනය ගලවාගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී තක්ෂිත රවිෂාන් ගමගේ මහතාට පහරදීම නිසා තුවාල ලැබූ ජවිපෙ මන්ත්‍රීවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. පහරදුන් බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමිල ප්‍රියංග මහතා ද අහංගම ගෙන්නගහහේන රෝහලට ඇතුළත්ව ඇත.

හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වැඩබලන සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වූ මතගැටුමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇත. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයාගේ හිසට හා කනට තුවාල වී ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවට ඇතුළත් කොට ඇත. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා රෝහලට රැගෙනවිත් ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉප්පලවත්ත මහතා වන අතර ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවේය.

“චමිල මන්ත්‍රී සහ හර්ෂ මන්ත්‍රීවරයා අතර සභාවේදී වාදයක් ඇති වුණා. චමිල මන්ත්‍රීවරයාට මේක ඉවසන්න බැරිව එහා පැත්තට පැනලා මයික් එකේ ගාඩ් එකෙන් පහර දුන්නා. හර්ෂ මන්ත්‍රිවරයාගේ කනෙන් ලේ ආවා. මගේ වාහනයෙන් හර්ෂ මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලට රැගෙන ආවා.”

මෙම පහරදීම දැඩි ලෙස හෙළා දකින බවත් පරාජයෙන් වියරු වැටී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මෙවැනි දේ සිදුකරන බවත් ජ.වි.පෙ හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමිල ප්‍රියංග මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු රෝහල්ගතව සිටින බව දුරකථනයට පිළිතුරු දුන් පුද්ගලයා සඳහන් කළේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි,
හබරාදුව – එල්.එල්. ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment