පොහොර ඉල්ලා බකමූණෙත් උපවාස අරඹයි

93

වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු පිරිසක් ඊයේ (24දා) බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ.

ගොවි සංවිධාන 43කට අයත් ගොවි නියෝජිතයෝ 15 දෙනෙක් උපවාසයේ මුල් අවස්ථාවට එක්ව සිටිති. ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමැතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙක් අපොහොසත් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාවගේ බලවත් අප‍්‍රසාදය පළකිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කළ බවත් ගොවි නායකයෝ කියා සිටියහ. ඉදිරියේදී තවත් ගොවීන් මෙම උපවාසයට එක්වීමට සූදානමින් සිටින බවද ඔවුහු පැවැසූහ.

ගොවි උපවාසයට සහාය පළකිරීම සඳහා ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයෙකි. මාස් කන්නයේ වී වගාව කිරීමට නම් රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක යෙදිය යුතුව ඇතැයිද ඒවා වහාම ලබාදෙන්නයි රජයට බලකර සිටින බව උපවාසයට එක්ව සිටින ගොවීහු කියා සිටිති.

එම යෙදවුම් නොමැතිව කරන වගාවේ අස්වනු පාළුවට වගකියන්නේ කවුරුන්දැයි ප‍්‍රශ්න කරන බවද පැවසූහ. පොහොර අනෙකුත් යෙදවුම් නොමැතිව වතුර එපා’යැයි එහිදී දැඩිව කියා සිටි ගොවි ජනතාව වී ගොවිතැන සඳහා සුදුසු ප‍්‍රමිතියෙන් යුත් රසායනික පොහොර සහ කෘෂි රසායන කලට වේලාවට ලබාගැනීමට නොහැකි වුවහොත් මෙවර මාස් කන්නයේ ගොවිතැනින් ඉවත් වන්නට සිදුවනු ඇති බවද කීහ.

තම ඉල්ලීම් ඉටුකරන තෙක් මෙම උපවාසය අත් අනොහරින බවත් එය අඛණ්ඩව කරගෙන යෑම තම බලාපොරොත්තුව බවද උපවාසකරුවෝ අවධාරණය කරති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment