පොහොර ගැටලුවෙන් තේ නිෂ්පාදනය සියයට 15% කින් අඩුවෙලා – වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

76

තේ පොහොර ගැටලු නිසා තේ නිෂ්පාදනය සියයට 15 කින් පමණ අඩුවූ බැව් වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පෙරේදා (06 දා) ගාල්ල වලහන්දූව වත්තේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියකට අයත් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.

‘තේ කර්මාන්තය 2022 පසුකරන්නේ ඉතා අපහසු වසරක් විදියට. තේ පොහොර පිළිබඳ ගැටලුව නිසා තේ නිෂ්පාදනය සියයට 15කින් පමණ අඩුවෙලා. ඒක ලොකු අඩුවක්. ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳ මා එළියේ කතා නොකළාට අභ්‍යන්තරයේ දී දිගටම සටන් කළා මේක කළයුතු කටයුත්තක් කියා. ඒ නිසා අපිට ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණා. මේ නිසා තේ කර්මාන්තයට පහරක් වැදුණා. ඒ කටයුතු යථාවත් වෙමින් තියෙනවා. ටිකක් මිල වැඩිවුණත් යූරියා පොහොර තියෙනවා. ඇමෝනියා පොහොර තියෙනවා. පොහොර මිල ටිකක් වැඩියි. අපි බලයට එනවිට 2019 දී තේ දළු කිලෝවකට ලැබුණේ රුපියල් 85 යි. අද වනවිට තේ දළු කිලෝවකට සෑම තැනකම රුපියල් 250 ඉක්මවලා තියෙනවා.

රජය සතු කළුබෝවිටියන තේ සමාගම ඉතිහාසයේ පළමුවරට තේ දළු කිලෝවක් සදහා රු. 420ක වාර්තාගත මිලක් ගෙවලා තිබුණා. තේ දළු මිල සියයට හතර පස් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ යූරියා සැපයුම අඩුවෙලා මිල වැඩිවෙලා තියෙනවා. රු. 40000 ක් වන යූරියා කොට්ටයක් තමයි 20000 ක මිලකට ලබා දෙන්නේ.

රු. 25000 ක් සහනාධාරයක් සහිතව තමයි යූරියා තේ වගාකරුවන්ට ලබා දෙන්නේ. රජයක් හැටියට දැරිය යුතු සීමාවක් තියෙනවා. රුපියලේ අව ප්‍රමාණයත් සමග ඉතිහාසයේ අපනයනකරුවන්ට ලැබුණු ඉතාම ඉහළ මිල තේ රබර් පොල්වලට ලැබෙමින් තියෙනවා. 2021 තේ රබර් පොල් කුරුඳු වලින් රුපියල් බිලියන 3.8 ක අපනයන ආදායමක් ලබා ගැනීමට හැකිවුණා යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment