පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද ගොවියෝද?

622

ටික කාලයක් යනකම් රසායනික සහ කාබනික පනහට, පනහ දුන්නා නම් මේ ගැටලූව ඉවරයි…

එළවළු වගාවට රසායනික ඕන සීයට තිහයි ඉතිරිය කාබනික පොහොර…

රාජාංගණය ගොවි ජනපදයේ මියයන බහුතරයකගේ මරණයට හේතුව වකුගඩු අක‍්‍රීය වීම…

අධික මිලට නැෙඟනහිර පළාතේ සමහර කඩවල ඇති වෙන්න රසායනික පොහොර,තෙල් බෙහෙත් තියෙනවා…

රට පුරා ගොවි ජනතාව ගැටලූ වැලක පැටලී සිටින බව සැබෑය. එහෙත් එම ගැටලූවලට විසඳුම උද්ඝෝෂණ, උපවාස නොවන බව බොහෝ ගොවීන්ගේ අදහසය. එමෙන්ම ගොවි ගැටලූ සම්බන්ධයෙන් අප සමඟ අදහස් ප‍්‍රකාශ කළ විවිධ ප‍්‍රදේශවල ගොවීන් කියන ආකාරයට රසායනික තහනම් කිරීම යහපත්ය. එහෙත් එම තහනම ක‍්‍රියාත්මක කළ ආකාරය ගැටලූ සහගත ය.

  • පොලොන්නරුවේ වී ගොවියෝ කියන කතාව…
පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද ගොවියෝද?

‘‘දැන් අපේ රටේ ඉන්න ගොවි පරම්පරාව සම්පූර්ණයෙන්ම හුරු වෙලා ඉන්නෙ රසායනික ගොවිතැනට. මේ රටේ පැවැති ආණ්ඩු තමයි ගොවීන්ව රසායනික වගාවට හුරු කළේ. බීජ පර්යේෂණ ආයතන හඳුන්වා දීලා තියෙන සියලූ දෙමුහුන් බීජ රසායනික නැතිව වගා කරන්න බෑ. අපේ රටේ සීයට අනූවක් විතර වගාකරන අස්වැන්න වැඩි කීරි සම්බා, නාඩු 351, 366, 409 වී ප‍්‍රභේද රසායනික පොහොර නැතිව වගා කරන්න බෑ. එවැනි වී ප‍්‍රභේද සහිත කාලාන්තර වගාවක් එක පාරට වෙනස් කරන්නත් බෑ. රසායනික භාවිතයට හුරු වෙලා තියෙන පොළොව ක‍්‍රමානුකූලව කාබනික ගොවිතැනට හුරු කරන්න තිබුණා. ඒත් ඒක වුණේ නෑ. දැනටත් ටික කාලයක් යනකම් රසායනික සහ කාබනික පනහට, පනහ ගොවිතැන කරගෙන ගියා නම් ගොවීන්ට තියෙන ගැටලූවලින් භාගයකට විසඳුම් ලැබෙනවා. එහෙම නැති වුණොත් ඉදිරියේදී විශාල ආහාර හිඟයක් රට තුළ ඇති වෙනවා…’’

‘‘මේ වෙනකොටත් අසාමාන්‍ය විදිහට වී මිල ඉහළ ගිහින් තියෙනවා. කීරි සම්බා වී කිලෝව රුපියල් 125 යි. සම්බා වී කිලෝව 93 ත් 102 ත් අතර මිලකට අලෙවි වෙනවා. නාඩු වී කිලෝව 85 යි. ඒ වගේම දැන් ගොවීන් සන්තකයේ වී තියෙන්නේ සීමිත ප‍්‍රමාණයක්. වැඩි වී ප‍්‍රමාණයක් තියෙන්නේ ප‍්‍රධාන පෙළේ වී මෝල්වල. වී මෝල් හිමියන් ඒ වී මිලට ගත්තේ කිලෝව 46 ත් 54 ත් අතර මිලකට. ඒත් දැන් වී මෝල් හිමියන් හාල් විකුණන්නේ අද පවතින වී මිලට. අන්තිමේ පොහොර ගැටලූවෙන් අසාමාන්‍ය ලාභයක් ලබන්නේ වී මෝල් හිමියන්. ඒ වගේම වී ගොවිතැනට භාවිත කරන රසායනික වල් නාශකවල මිල එකට, එකක් ඉහළ ගිහින්. 2200ට තිබුණු බෙහෙත් වර්ග දැන් රුපියල් 4500 යි. නැෙඟනහිර මුස්ලිම් ව්‍යාපාරිකයන් අධික මිලට රසායනික පොහොර තොග ගණන් දෙනවා. ඒ මිලට පොහොර අරගෙන වගා කරලා අන්තිමේ ණය ගෙවා ගන්න බැරිව අපිට වෙන්නේ වස බොන්න. ඒ නිසා මේ කන්නය වගා කරන්න ගොවීන්ගේ කිසිම සූදානමක් නෑ. ඇළ වේලීවල වතුර අපතේ යනවා. අපේ රටේ වී නිෂ්පාදනයේ 30%ට වැඩි දායකත්වයක් ලබාදෙන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයම පාළුවට ගිය ස්වභාවයක් තමයි පේන්න තියෙන්නෙ. මේ වෙනකොට කුඹුරු අස්වද්දලා පැළ ගොයම තිබුණා නම් යම් හෝ අස්වැසිල්ලක් තියෙනවා. ඒත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කුඹුරුවලින් බාගෙට, බාගයක්වත් තවම වපුරලා නෑ…’’ අතුල සූරියබණ්ඩාර ඇතුළු පොලොන්නරුවේ අදහස් දැක්වූ ගොවීන්ගේ සහ කෘෂි උපදේශකරුවන්ගේ පොදු මතය එසේ පෙළගැසෙන විට රාජාංගණය ගොවි ජනපදයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප සභාපති ටෙරන්ස් ගාමිණී මහතා ඊට හාත්පසින්ම වෙනස් කතාවක් අපට කීවේය. රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික ශිල්පියෙක් හැටියට අවුරුදු තිස්පහක් සේවයකර ඇති ඔහු ගොවිතැන් කිරීමට කුඹුරට බැස ඇත්තේ වයස අවුරුදු දහයේදීය. මේ වෙනකොට වයස පනස් හතක්වන ගාමිණී මහතා කියන කතාවට මුළු රටේ ම ගොවීන්, කෘෂිකර්ම නිලධාරීන් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතුය.

  • රාජාංගණයේ ගොවියෝ සොයාගත් අලූත් පොහොර…
පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද ගොවියෝද?

‘‘රසායනික ගොවිතැනයි, කාබනික ගොවිතැනයි දෙකම එක වගෙයි. අපේ රටට පුළුවන් තරම් හුරු කරන්න ඕන සොබාදහමේ ගොවිතැන. ආණ්ඩුව රසායනික තහනම් කරන්න ඉස්සර ඉඳලා රාජාංගණය ගොවි ජනපදයේ විශාල කුඹුරු ප‍්‍රමාණයක් අස්වැද්දුවේ අපි හදාගන්නා පොහොර භාවිතයෙන්. ඒ කොම්පෝස්ට් පොහොර නෙමෙයි. ජීව අමුර්තය කියන ක්‍ෂුද්‍ර ජීවී ද්‍රාවණයක්. මේ ක‍්‍රමයට වගා කරලා සමීක්‍ෂණ මට්ටමින් අක්කරයකට වී බුසල් අසූවයි දශම දෙකක සාර්ථක අස්වැන්නක් ලබාගෙන තියෙනවා. රසායනික වගාවෙන් ලබන අස්වැන්නට වඩා දශම එකයි අඩු වුණේ. මහා පරිමාණ වී ගොවිතැනේදී මේ වගා ක‍්‍රමය තුළින් අති සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම වියදම බාගෙට බාගයක් අඩුයි. අපි මේ ගොවිතැන හඳුන්වා දීලා තියෙන්නෙම ‘වියදම රහිත ගොවිතැන’ කියලා…’’

‘‘මේ ගොවිතැනේදී අපි කරන්නේ ශාකයක වර්ධනයට අවශ්‍ය නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ප‍්‍රධාන මූලද්‍රව්‍ය තුන සහ අංශු මාත‍්‍ර වශයෙන් අවශ්‍ය අනෙකුත් මූලද්‍රව්‍ය ජලයේ දියකර අයන බවට පත් කරන කටයුත්තකර දෙන ක්‍ෂුද්‍ර ජීවීන් වගාකර මහපොළොවට මුදාහැරීම. රසායනික භාවිතය නිසා මේ ක්‍ෂුද්‍ර ජීවීන් මහ පොළොවේ අඩුයි. ඒත් අලූත් ගොමවල බහුලව ඉන්නවා. ඒ නිසා ගොමවල ඉන්න ක්‍ෂුද්‍ර ජීවීන් කල්ච කරලා අපි මහ පොළොවට මුදාහරිනවා. කල්ච කරන්න යන්නෙ දවස් දෙකයි. තුන්වැනි දවසේදී වගාවට යොදන්න පුළුවන්. මේක පහසුවෙන් හදාගන්න පුළුවන් අති සාර්ථක ක‍්‍රමයක්. අවුරුදු පහළොවකට, විස්සකට උඩ ඉන්දියාවේ සුභාෂ් පලේකාර් විද්‍යාඥයා තමයි මේ ක‍්‍රමය සොයාගෙන තිබුණේ. ඉන්දියාවේ මේ ක්‍ෂුද්‍ර ජීවී ද්‍රවණය හඳුන්වන්නේ ‘ජීව අමුර්තම්’ කියලා. දැනට ඉන්දියාවේ ගොවීන් ලක්‍ෂ පනහකට වඩා පිරිසක් මේ ක‍්‍රමයට වගා කරගෙන යනවා…’’

‘‘මේ ක්‍ෂුද්‍ර ජීවී ද්‍රාවණය අක්කරයකට හදාගන්න යන්නෙ අමු ගොම කිලෝ 10 යි. ගව මුත‍්‍රා ලීටර් 10 යි. සක්කර හකුරු කිලෝ 1 යි. මුං ඇට, කවුපි වැනි රනිල භෝගයක පිටි කිලෝ 1 යි. ලීටර් 200ක බැරල් එකකට අමු ගොම, ගව මුත‍්‍රා එකතුකර, සක්කර දිය කරලා එකතු කරනවා. පිටිත්, මහ පොළොවේ සරු තැනකින් පස් ටිකකුත් එකතුකර බැරලය පිරෙන්න වතුර දාලා දවසකට දෙවතාවක් හොඳට මිශ‍්‍ර කරනවා. පැය හතළිස්අට ඇතුළතදී එම මිශ‍්‍රණය තුළ දශලක්‍ෂයකින් බැක්ටීරියා වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ ද්‍රව්‍ය අරගෙන සති දෙකෙන්, දෙකට වගාවට යොදනවා. වී ගොවිතැනේදී ගොයම හැදෙන්න පටන්ගෙන සති දෙකකින් අඟල් බාගයක් විතර වතුර බැඳලා මේ ද්‍රවණය කෝප්පයකින් විසි කරගෙන යනවා. ඊට පස්සේ සති දෙකෙන්, දෙක දානවා. වී වගාවට විතරක් නෙමෙයි, ඕනෑම වගාවට මේක සුදුසුයි. පොළොවටත් හානියක් නෑ. කෘමි හානියත් අඩුයි. දේශීය වී වගාවේදී වල් මර්දනයට රසායනික බෙහෙත් අවශ්‍ය නෑ.

ගොවියාගේ ශරීරයටත් හානියක් නෑ. රසායනික භාවිතයේදී වැඩිම හානිය තියෙන්නෙ භාවිත කරන ගොවියට. වල් නාශක පාවිච්චි කරනකොට ඇහේ ගෑවුණොත් අන්ධ වෙනවා කියලා අපිට උපදෙස් දෙනවා. විෂ නාශකයේ බරපතළකම ගැන ඒ, ඒ තෙල් බෝතල්වල සටහන්කර තියෙනවා. ඒත් කෘෂිකර්ම නිලධාරීන් කතා කරන්නේ වී ඇටයට, එළවළු, අල ගෙඩියට එන වස, විස ගැන විතරයි. ගොවීන්ගේ ඇඟට යන වස ගැන කතා කරන්නෙ නෑ. ගොවීන්ට ඒ ගැන තේරුමකුත් නෑ. මේ රාජාංගණය ගොවි ජනපදයේ මිය යන බහුතරයකගේ මරණ පරීක්‍ෂණ වාර්තාවල සඳහන් වෙන්නේ මරණයට හේතුව වකුගඩු අක‍්‍රීයවීම කියලා. ගොවීන්ට වගේම වස කන අයටත් මේ බලපෑම තියෙනවා. පිළිකා, දියාවැඩියා, හෘද රෝග, රුධිර පීඩන ආදී විවිධ රෝග වැඩිවීමට වස පරිභෝජනයේ ලොකු බලපෑමක් තියෙනවා. මම මේවා කියන්නේ රටේ අනාගතය ගැන හිතලා…’’ වී ගොවිතැනට මෙන්ම එළවළු, පලතුරු වගාවට පහසුවෙන් භාවිත කළ හැකි ක්‍ෂුද්‍රජීවී මිශ‍්‍රණයක් ගැන රාජාංගණයේ ගාමිණී ගොවි මහතා හඳුන්වාදෙන අතර, නුවරඑළියේ කෘෂිකර්ම උපදේශකවරයෙක්වන මංජුල සහ මහා පරිමාන එළවළු වගාකරුවෙක් වූ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි යන මහත්වරු අප සමඟ පැවසුවේ එළවළු වගාවට නපුරු කාලයක් උදා වී ඇති බවය.

  • නුවරඑළියේ ගොවි හඬ…
පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද ගොවියෝද?

‘‘එළවළු වගාවට රසායනික අවශ්‍ය සීයට තිහයි. ඉතිරිය කාබනික පොහොර. ඒක අපේ ගොවියෝ හදාගන්නවා. අත්‍යවශ්‍යම රසායනික පොහොර, බෙහෙත්, විටමින් ටික අපිට දෙනවා නම් කිසිම ගැටලූවක් නෑ. ඒ වගේම අවුරුද්දට ම නුවරඑළියට පායන්නේ දවස් අනූවක් වගේ පොඩි කාලයක්. ඒ නිසා කොළ හැදෙන භෝගවලට කාබනික පොහොර හොඳයි. අර්තාපල්, කැරට්, බීට් වගාවට අනිවාර්යයෙන්ම රසායනික යොදන්න වෙනවා. පර්චස් දහයක ඉඩමක අල වගා කරන්න රුපියල් 60,000ක් විතර වියදම් යනවා. එකට දහයක අස්වැන්න තිබුණොත් අල කිලෝ හයසීයක් ලැබෙනවා. අල කිලෝවක් රුපියල් 100ට මිල වුණොත් ගොවියට ලැබෙන්නේ රුපියල් 60,000 යි. කාබනික පමණක් භාවිත කරලා අල වගා කළොත් ලැබෙන අස්වැන්න කිලෝ 250ට හෝ 300ට බහිනවා. එතකොට ගොවියට මොකද වෙන්නේ. දැන් වගා කරන දෙමුහුන් බීජවලට රසායනික පොහොර, කෘමි නාශක අත්‍යවශ්‍යයි. ඒ වගේම කාලයක ඉඳලා පවතින අසාමාන්‍ය දේශගුණික විපර්යාසයත් එක්ක රසායනික පොහොර, කෘමි නාශක භාවිත කරලා විශාල අරගලයක් කරලා තමයි අපේ ගොවියෝ එළවළු වගා කරගෙන ගියේ. කොරේ පිටට මරේ වගේ රසායනිකත් නැති වුණාම නුවරඑළියේ ගොවියෝ කබලෙන් ලිපිට ම වැටුණා. ඒ වගේම මළජරාව එකතු කරලා හදන කාබනික පොහොර මිටියකුත් රුපියල් 5200 ට 5500 ට මිල වැඩි වෙලා. රසායනික වල් නාශක, කෘමි නාශක එකට, එකක් මිල වැඩි කරලා. රසායනික ගෙන්වන්නෙ නෑ කිව්වට වැඩි මිලට රසායනික ගන්න ඕන තරම් තියෙනවා. දැන් මේ පොහොර ගැටලූව තනිකර මාෆියාවක් වෙලා. මේකෙන් පිරිසක් ගොඩ යනවා. රටේ අසරණ ගොවීන්, පාරිභෝගිකයින් නන්නත්තාර වෙනවා. අදට වඩා හෙටට මේ අර්බුදය වැඩි වෙනවා…’’ නුවරඑළියෙන් ඇසෙන පොහොර මාෆියාවේ කතාව හම්බන්තොට සූරියවැව ගොවීන් අතරින් ද ඇසිණි. සූරියවැව පොදු ගොවි හඬ අතරින් වසර තිහකටත් වැඩි කාලයක සිට වගා කටයුතු කරගෙන යන නිමල් රංජිත්ගේ හඬ අපි මෙසේ වෙන් කොට ගත්තෙමු.

  • හම්බන්තොට සූරියවැව ගොවීන් කියන කතාව…
පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද ගොවියෝද?

‘‘රසායනික පොහොර, තෙල් බෙහෙත් තියෙනවා. අධික මිලයි. ඒ මිලට රසායනික යොදලා වගා කරලා අස්වැන්න දෙන්න අපිට මිලක් නෑ. ඒ වගේම කෝලිකුට්ටු කෙසෙල්වලට අනිවාර්යයෙන්ම රසායනික ඕනෑ. අඩු මිලට රසායනික පොහොර නැති නිසා කෙසෙල් වගාව ටිකක් අතහැරලා තක්කාලි දැම්මා. කාබනික පොහොර දැම්මට ගස් හැදුණේ නෑ. රසායනික පොහොර අරගෙන දැම්මට පස්සෙ ගස් ටික පණ ගහලා ආවා. ඒත් රසායනික පොහොර හොණ්ඩර හයක් රුපියල් හයදාහක් වුණා. ඒ මිලට පොහොර දාලා තක්කාලි කිලෝව කීයට දෙන්නද? ඒ වගේම වෙළෙඳපොළේ තියෙන කාබනික පොහොරවල ප‍්‍රමිතිය එකිනෙකට වෙනස්. සමහර පොහොර මළජරාව. ඒවා දැම්ම ම වගාව හැදෙනවා නෙමෙයි, විනාශ වෙනවා. ඒ නිසා ප‍්‍රමිතියකට අනුව කාබනික පොහොර හදලා දෙනවා නම් යම් විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ප‍්‍රමිතිගත කාබනික පොහොර ලැබෙනකොට වගා කරන්න ගොවියෝ හිටී ද කියලා නම් ප‍්‍රශ්නයක් තියෙනවා…’’

ඕනෑම දෙයක් සාර්ථකකර ගැනීමට යම් කැපකිරීමක්, කාලයක් ඇවැසි බව සැබෑය. එමෙන්ම සම්පූර්ණ රසායනික වගාවට බහුතරයක් වූ ගොවීන් අකමැති බව ද සැබෑය. රටේ පාරිභෝගික ජනතාව වස, විස කෑමට සම්පූර්ණයෙන්ම අකැමැතිය. රසායනික ගොවිතැනට කැමැති රටේ ජනතාවගේ මිනී කඳු මතින් හෝ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට වලිකන කාලකණ්ණි දේශපාලනඥයන් පමණි. එහෙයින් සීතල කාමරවලින් බැස, ගොවීන් සමඟ සාකච්ඡාකර ගැටලූ හඳුනාගෙන, කඩිනමින් විසඳුම් ලබාදීම රජයේ පැවැත්මට හොඳය. ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් කාබනික පොහොර කියා වීදුරුකටු, යකඩ කැබලි සහ වෙනත් අපද්‍රව්‍ය බෙදාහැරීම වෙනුවට ප‍්‍රමිතියකින් යුක්ත කාබනික පොහොර නොදෙන්න ආණ්ඩුවට වෙන්නේ අකුලාගෙන ගෙදර යෑමටය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment