පොහොර තහනම් කිරීමෙන් තේ අස්වැන්න සියයට පනහකින් අඩුවෙලා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

110

* අත්තනෝමතික තීන්දු නිසා සිලෝන් ටී නාමයත් අපට අහිමි වේවි

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් අත්තනෝමතික තීන්දුව නිසා සිලෝන් ටී කීර්තිනාමය අපේ රටට අහිමි වෙමින් පවතින බවත් අද වන විට තේ අස්වැන්න 50% කින් පහළ බැස ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

පොහොර තහනම් කිරීමෙන්  තේ අස්වැන්න සියයට පනහකින් අඩුවෙලා - විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

මේ හේතුවෙන් තේ කර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවත් තේ ගොවියාගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බවත්, කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය තේ දලූ ප‍්‍රමාණයවත් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ, මාබොටුවන ප‍්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලූ පිළිබඳව විමසන ‘ගොවි හදගැස්ම’ වැඩසටහනට ඊයේ (13) විපක්ෂ නායකවරයා සහභාගි විය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු මන්ත‍්‍රී වන විජේපාල හෙට්ටිආරච්චි, හිටපු මන්ත‍්‍රී සහ සමගි ජන බලවේගයේ බද්දේගම ප‍්‍රධාන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ම එක්ව සිටියහ.

රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව කරන්නට බැරි බව කුඩා දරුවකු පවා දන්නා කාරණයක් බවත් එහෙත් එය ආණ්ඩුව නොදන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ පොහොර තහනම ලංකාවේ සිලෝන් ටී කියන කීර්තිමත් නාමය ලෝකයෙන් අහෝසි කරන්න ගත්ත කුමන්ත‍්‍රණයක් යැයි ද පැවසීය.

සාමාන්‍යයෙන් තේ තවාන් සඳහා ටී – 65 පොහොර අත්‍යවශ්‍ය අතර තේ තවානට නිසි පෝෂණය නොලබන විට තේ පැළය සහ, එයින් හැදෙන තේ ගස බාල වෙන බවද, ගුණාත්මක පැළ ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද හෙතෙම පැවසීය.

තේ දලූ කඩන විට ශාකයේ පෝෂණ කොටසක් ගසට අහිමිවන අතර ගස වර්ධනයට නම් නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ගසට යෙදිය යුතු බවත් ආණ්ඩුවේ තීන්දුව නිසා තේ ගසට යොදන්නට පොහොර ගොවියාට අහිමි වී ඇති බවත් පැවසීය. මේ හේතුවෙන් කෙටිකාලීන පැළ මිස දිගුකාලීන තේ පඳුරක් ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවද පැවසීය.

අකිත පෙරේරා, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment