පොහොර නැතිව අසරණ වූ අම්පාරේ බඩඉරිඟු ගොවියා…

349

චණ්ඩ හිරු කිරණින් වියළි පරඬැල් මෙන් තිබුණ දිගාමඩුලූ මිටියාවතේ ගස්කොළන්වලට ජීවයක් ලබා දෙමින් ඉඳහිට වැසි ඇද වැටෙමින් තිබේ. ඒ ඊශානදිග මෝසම් වැසි සමයේ පෙර මග ලකුණු කියාපාමිනි. වෙනදා මෙසමය වන විට දහසක් බලාපොරොත්තු සිත්වල පොදි බැඳගෙන හේන් වගාවෙන් දිවි සරිකර ගන්නා බඩඉරිඟු ගොවියා මහ පොළොවත් සමඟ හරි හරියට ඔට්ටු වෙමින් බඩඉරිඟු සිටුවීමට ලකලැහැස්ති වෙති. නමුත් මේ වනවිට රසායනික පොහොර භාවිතය නවතා දැමීමත් සමඟම බඩඉරි`ගු ගොවියාගේ අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයක් උද්ගතව තිබේ.

යල මහ දෙකන්නයට වගාකිරීමට නිසි ජල පහසුකම් සහිත වගාබිම් නොමැති දිගාමඩුල්ල මිටියාවතේ සිය දහස් ගණන් ගොවීන්ගේ ප‍්‍රධානම ආදායම් මාර්ගය වී ඇත්තේ බඩඉරිඟු වගාවයි. වසරේ එක් කාලයක් පමණක් අහස් දියෙන් බඩඉරිඟු වගාකර ලැබෙන ආදායමෙන් වසරක් තිස්සේ සිය දරු පවුල නඩත්තු කරගෙන ජීවත් වීමට ඔවුන්ට සිදුවෙති. වසර ගණනාවක් තිස්සේ කාබනික වගාවට නොව රසායනික වගාවත් සමඟ එකට අත්වැල් බැඳගෙන ගමන්ගත් මේ බඩඉරිඟු ගොවියා අද දිනයේ දී රසායනික පොහොර භාවිතය නවතා දැමීමත් සමගම ඉරි`ගු වගාව සිදු කරන්නේ කෙසේද යන පැනය සමඟ මතුවී ඇති ගැටලූ පිළිබඳ මෙලෙස අදහස් දක්වන්නට වූහ.

දමන ඒකාබද්ධ බඩඉරි`ගු ගොවි සංවිධානයේ කැඳවුම්කරු රත්නභූමි ගොවි සංවිධානයේ සභාපති කේ.එම්. ආරියරත්න මහතා මෙලෙස අදහස් දැක්වූවේය.

මම අක්කර තිහක් ගිය කන්නේ බඩඉරිගු වගා කරා. දමන කොට්ඨාසය තුළ හෙක්ටයාර් පන්දාහක් බඩඉරිඟු වගා කරනු ලබනවා. ඒ ගොවීන් මේ වෙද්දි අන්ත අසරණ වෙලයි ඉන්නේ. රසායනික පොහොර භාවිතා කරලා තමයි බඩඉරිගු වගා කරන්නේ හැබැයි මෙවර රසායනික පොහොර නැතුව අපි කොහොමද බඩඉරිඟු කරන්නේ.‘

කාබනික පොහොර භාවිතා කරලා බඩඉරිගු වගා කරා එතකොට කවර අසූවක අස්වැන්නක් ගන්න ඉඩමින් කවර විස්සක් පමණ තමයි කාබනික වගාවෙන් ලබාගන්න හැකි වුණේ. ඒ නිසා කාබනික පොහොර වලින් බඩඉරිඟු වගාකරන්න අපහසුයි. මේ තත්ත්වය මත ඉදිරියේදී ගොවීන් මහ පාරට බැහැලා මරාගෙන මැරෙන්න වුණත් අරගල කරන දිනය ළඟදිම උදාවෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමා එකතුවෙලා අන්ත අසරණ වෙලා ඉන්න බඩඉරිඟු ගොවියා බේරා ගැනීමට කටයුතු කරන්න. පවුල් දහස් ගණනක් ජීවත්වෙන්න විදියක් නැතිව කන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙනවා යැයි ආරියරත්න මහතා ඉරිදා දිවයිනට අදහස් දක්වමින් පවසා සිටියේය. පසුගිය වසර කිහිපය තුළ බඩඉරිගු ගොවියා සේනා දළඹුවන් මෙන්ම නිය`ගය නිසා ද අන්ත අසරණ වන්නට වූහ. නමුත් ගිය කන්නයේ ඔවුන්ට කෙලෙස හෝ ආදායමක් ලබා ගන්නට හැකිවුණා.

වඩිනාගල කේ.එම්. චන්දික ප‍්‍රසන්න මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

පොහොර නැතිව අසරණ වූ අම්පාරේ බඩඉරිඟු ගොවියා…

මම අක්කර දහයක පමණ පසුගිය වසරේ බඩඉරිගු වගා කරා. 2014 වර්ෂයේ සිට බැංකුවලින් ණය අරන් තමයි අපි බඩඉරිඟු වගාකරන්නේ. නමුත් පසුගිය සමයේ නියගය හා සේනා දළඹුවන් නිසාම අපේ බඩඉරිගු වගාව විනාශ වුණා. අපි බඩඉරිගු වගාව රක්ෂණය කරලා තිබ්බත් අපිට රක්ෂණ වන්දි ලැබුනෙත් නෑ. විවිධ දිලීර රෝග ලෙඩ හැදිලා වගාව විනාශ වුනත් අපිට සහනයක් ලැබුණේ නෑ. ඒ නිසා දැන් අපිට බැංකු ණය ලබාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් කරන්නේ කඬේ මුදලාලිගෙන් ණයට බඩු අරගෙන වගා කරලා අස්වැන්න විකුණලා ගෙවන එක. මේ වෙද්දි බඩඉරිඟු බීජ, බේත් වගේ දේවල් ගෙනත් තියෙන්නේ. ඒත් පොහොර නෑ. ඒ නිසා මුදලාලිලා කියනවා පොහොර නැතුව අපි කට්ටියට බීජ දුන්නහම අස්වැන්න තිබුණේ නැත්නම් අය කරගන්නේ කොහොමද කියලා. අපි ණයට ගත්තොත් ඉඩම් විකුණලාහරි ණය ගෙවන්නම් කියලා තමයි අපිට ණයට බඩු ගන්න වෙන්නේ. මේ වෙද්දි අපි බිම් සකස් කරල තිබ්බත් ලොකු බයෙන් ඉන්නේ පොහොර නැතුව කොහොමද වගා කරන්නේ කියලා. මේ වෙද්දි ගොවියන් හෙට දිනේ සිදු කරන්නේ කුමක් ද කියා හිතාගන්න බැරිව ඉන්නේ. වැස්ස ආරම්භ වෙන්න කලින් අපි මූලික කටයුතු කරන්න ඕනි. වගාකළේ නැත්තං අපිට ජීවත්වෙන්න විදිහක් නෑ . අවුරුද්දක් ජීවත් වෙන්නේ මේ වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා පින් සිද්දවෙයි අපි ගැන හිතලා අපේ ගොවිතැන් ගැන හිතලා සහනයක් ලබා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යයි ප‍්‍රසන්න මහතා පවසා සිටියේය.

උතුර නැගෙනහිර අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියෝ මේ පිළිබඳ අදහස් දක්වන්නට වූහ.

මේ වෙද්දි දිගාමඩුල්ල මිටියාවතේ ඉන්න ගොවි මහතුන් අපේ දායක දායිකාවන් ඇවිල්ලා මැසිවිලි නගනවා බඩඉරි`ගු වගාවට පොහොර නැහැ කියලා. කාබනික වගාවට රජය යොමු වීම ඉතා හොඳ දෙයක්. ඉස්සර මුතුන්මිත්තෝ වස විස වගාවට එකතු කරේ නැහැ. නමුත් අද වගාවට වස විස යොදන නිසා පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් සිටිනවා. ඒ නිසා රජය පහුවෙලා හරි කාබනික පොහොර භාවිතා කිරීමට කටයුතු කිරීම හොඳ දෙයක්. නමුත් එකවරම මේ ක‍්‍රියාත්මක කිරීම තුළ බොහෝ ගොවීන් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. යල මහ දෙකන්නයේ කුඹුරු වගා කරන්න බැරි ඉඩම් නැති ගොවීන් වසරට එක් කාලයක් පමණක් හේන් වගා කරලා බොහොම අසීරුවෙන් අලි පන්නල, දුක් විඳලා තමයි තමන්ගේ දරු පවුල ජීවත් කරවන්නේ. එවන් තත්ත්වයක් තුළ එක්වරම රසායනික පොහොර නොමැතිව ඔවුන්ට වගාවන් සිදු කිරීමට වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් අසරණ වෙලයි සිටින්නේ. එනිසා ඔවුන්ව මානසිකව කාබනික වගාවට හුරු කරන්න ඕන. වසර ගණන් රසායනික පොහොර භාවිතා කළ නිසා එම මානසික මට්ටමෙන් ඈත්වෙන්න ඕනේ. ගොවීන් මානසිකව ඒ සඳහා සූදානම් වන තෙක් අදියරෙන් අදියරට රසායනික පොහොර කොටසක් ලබා දුන්නොත් එය ගොවීන්ට විශාල අස්වැසිල්ලක් වෙනවා. ඉදිරියෙදි මුළුමනින්ම කාබනික වගාවට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී රසායනික පොහොර නවතා ගැනීම තුළ ගොවීන් හෙට දිනයේ පොහොර නැතිව වගා කරන්නේ කුමක්ද? වගා කොට ජීවත් වෙන්නේ කොහොමද? ගෙදර වියදම් දරා ගන්නේ කොහොමද කියන පැනයට විසඳුම් නැතුව හූල්ල හූල්ල බලාගෙන සිටිනවා. එනිසාම කාබනික වගාවන් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, වත්මනෙහි උද්ගතව ඇති ගැටලූවලට විසඳුම් සේ අදියරෙන් අදියරට ගොස් කාබනික වගාව සඳහා ගොවියා මානසිකව හුරු කළ යුතුයි. එහෙම වුනොත් ගොවීන් බේරාගෙන අපිට ඉදිරියේදී කාබනික වගාවෙන් පිරුණු ලංකාවක් ගොඩනගා ගැනීමට පුළුවන් යැයි සෝමරතන නාහිමියෝ ඉරිදා දිවයිනට අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

අම්පාර දිස්ත‍්‍රික්කය පුරා විවිධ ප‍්‍රදේශවලින් ගොවීන්ගේ මැසිවිලි නැගෙද්දී මහඔය පදිංචි කසුන් මහේෂ් ධනංජය මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

ඉරිඟු ඇට කිලෝ පහේ පැකට් එකක් රුපියල් හත්දාහත් අට දාහත් අතර මිල ඉහළ ගිහිල්ලා. සාමාන්‍යයෙන් අක්කර එකක වගාවකට රුපියල් 78000ක් වගේ වැයවෙනවා. අපේ මහන්සිය අනුව වියදම් වෙනස් වෙනවා. එනිසා විශාල මුදලක් වැය කරලා තමයි ගොවීන් වගා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ? පුරා නිදි මරමින් අලින්ගෙන් වගාව බේරගන්න ඕන. වන සතුන්ගෙන් වගාව බේරගන්න පුදුම කැපවීමක්, පුදුම දුක් කන්දරාවක් ගොවියා විඳිනවා. බඩඉරිඟු වගා කරන්න බැරි වුනොත් ඔවුන්ට අවුරුද්දෙම බඩගින්නෙ ජීවත් වෙන්න වෙන්නේ. එහම කරපු වගාවේ පොහොර භාවිතය නතර කිරීමත් සමගම කරගන්න බැරි වෙලා අද ගොවීන් අන්ත අසරණ වෙලා තිබෙනවා. සමහරු බිම් සකස් කරනවා සමහරු බිම් සකස් කරන්නැතුව බලන් ඉන්නවා. පොහොර භාවිතා කරන්නැති වගාවට තියෙන්නෙ මඤ්ඤොක්කා පමණයි. නමුත් මඤ්ඤොක්කා කිලෝව රුපියල් 4ට දෙන්න බැරිව ඉන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ මොකක්ද කරන්නේ කියලා අතරමංවෙලා අද බඩඉරි`ගු වගාකරුවන් සිටින්නේ. ඒ නිසා රජය මැදිහත්වෙලා අඩුම තරමේ මෙවර වගා කරන්නට පොහොර කොටසක් හෝ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා යැයි කසුන් පවසා සිටින්නට විය.

නාමල්තලාව ප‍්‍රද්ශයේ ගොවියෙකු වන සාම විනිසුරු කේ. ඒ. මුතුබණ්ඩා මහතා මෙලස ගොවීන්ගේ තත්ත්වය පිළිබඳ පවසා සිටින්නට විය.

මේ වනවිට නාමල්ඔය නාමල්තලාව ප‍්‍රදේශයේ ගොවීන් බඩඉරිගු වගා කරන්නට නොහැකිව ළතවෙමින් අන්ත අසණ වෙලා ඉන්නෙ. පවතින තත්වය හමුවේ කාබනික පොහොර භාවිතා කරලා බඩඉරිගු වගා කරන්නට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා රජය මගින් ඉතා කඩිනමින් ගොවියා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරලා මේ කන්නයටවත් රසායන පොහොර භාවිතයට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ සඳහා පොහොර ලබා දිය යුතුයි. එසේ නොවුණහොත් මේ නාමල්ඔය නාමල්තලාව විතරක් නෙමේ මුළු දිගාමඬුල්ලේ මිටියාවතේ ඉන්න බඩඉරිඟු ගොවියා අන්ත අසරණ වෙනවා. අවුරුද්දක්ම දරු පවුල නඩත්තු කරන්නේ බොහෝ දෙනෙක් මේ බඩඉරිඟු වගාවෙන්. එනිසා මේ බඩඉරිඟු ගොවියාගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. කාබනික පොහොර භාවිතා කරන්නට කාලසීමාවක් යනවා. ඒ සඳහා ගොවීන් ටිකෙන් ටික එතැනට ගෙනියන්න වැඩකටයුතු සලස්වන්න. එක පාරටම සීයට සීයක් රසායනික පොහොර නවතා දැමීම තුළ ගොවීන් අසරණ වෙනවා. එනිසා ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරලා ගොවියා කාබනික වගාවට ටිකෙන් ටික හුරු කරන්න යනුවෙන් පවසා සිටින්නට විය.

දිගාමඩුල්ල පුරා බඩඉරි`ගු ගොවියන්ගෙන් නැගෙන්නේ මෙවැනි අදෝනාවකි. වෙනදා හෙක්ටයාර 12,500කට ආසන්න ඉරිඟු ප‍්‍රමාණයක් වගාකරන අම්පාරේ මෙවර හෙක්ටයාර දහසක් වත් වගා කිරීමට හැකි වේදැයි විශ්වාසයක් තැබීමට නොහැකිව ඇත. එසේ වගාකර අස්වැන්න ලබාගත හාකිදැයි සැක සංකාව මත ගොවීහු ඊශාන මෝසම සක‍්‍රිය වීමට වැසි ආරම්භ වන මේ සමයේ අහස දෙස බලමින් හූල්ලමින් සිටිති. ඒ සියලූ දෙනාගේම මුවින් නැගෙන්නේ පින් අයිතිවෙයි අඩුම තරමේ මේ පාරටවත් රසායනික පොහොර ලබාදෙන්න නැත්තං අපේ දරුවන් බඩගින්නෙ. යන දුක් අඳෝනාවයි..

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment