පොහොර නැතිව ගොවියෝ වගාව අත්හරිති

97

පොහොර ප‍්‍රශ්නය මුල්කරගෙන මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද ගොවීන් එසේ වී වගාවෙන් ඉවත්වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

වගාවට අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුත් පොහොර නිසි කලට නොලැබීම නිසා වර්තමානයේ කෘෂිකර්මාන්තයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. පොලොන්නරුව නවනගරයේ පිහිටි පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.

‘‘අද ඇතිවී තිබෙන පොහොර ප‍්‍රශ්නය නිසා ගොවීන් වී වගාව අත්හැරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ පමණක් ගොවීන් එක් කන්නයකට රුපියල් කෝටි 280ක් වටිනා වී නිෂ්පාදනය කරනවා. ඔවුන් එක් කන්නයක් වගාවෙන් ඉවත් වෙනවා කියන්නේ ඒ අස්වැන්න රටට නොලැබී යනවා. එමෙන්ම එසේ වී ගොවියා තම වගාව අත්හැරීමෙන් ඉදිරියේදී රට ඉබේම සාගතයකට තල්ලූ වෙනවා. එහි වගකීම රජය බාර ගතයුතුයි. එම නිසා අපි රජයට කියනවා මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර වහාම ලබාදෙන්න කියලා.

ආණ්ඩුව කාබනික පොහොර කියලා රතු කුඩු වර්ගයක් ගෙන්නලා තියෙනවා. මේවා බණ්ඩි පොහොර වෙනුවට යොදන ඒවා කියලා අපිට ආරංචියි. මූලික පොහොර නැතිව ඒවා විතරක් වැඩක් නෑ. පොහොර නැතිව අපි වගා කරන්නේ කොහොමද? කියන එක තේරුම් ගන්න. අපිට දෙන පොහොර වර්ගය කියන්න. එය දෙන්නේ කවදාද කියන්න. අපිට අහිමිවන අස්වනු හානිය හානිය තක්සේරු කරලා වන්දි දෙනවා කියලා කියනවා. එය කරන්නේ කවුරුන්ද මොන ආකාරයටද කියන එක පැහැදිලි නෑ.’’

පොලොන්නරුව අලූත්වැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති පී. කේ. ඞී. විජේරත්න, ගැමුණුපුර බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති ලලිත් ප‍්‍රියදර්ශන යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment