පොළේ නොයා කඩේ යන අයට උත්තර මැතිවරණයකදී ජනතාව දෙයි… පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත

414

ආණ්ඩුව මුල ඉඳලම තෝර ගත්තේ හරි පිරිසක් නෙවෙයි

බුද්ධි අංශ තමන්ගේ තොරතුරු තිස්සකුට්ටිආරච්චි වගේ කෙනකුට දුන්නේ ඇයි කියන එක ප‍්‍රශ්නයක්

දේශපාලනයෙන් සමුගන්න අය දේශපාලනය කරන නිසයි මේ ප‍්‍රශ්න ඇතිවෙන්නේ

ගෙවීගිය සතිය දේශපාලනික වශයෙන් උණුසුම් වූයේ දෙල්කඳ පොළේ ගිය රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා නිසාය. ඒ ඔහු මාධ්‍යයට කළ ප‍්‍රකාශයත් සමගය. එම ප‍්‍රකාශය කෙතරම් දුරදිග ගියේ ද යත් ඔහුගේ රාජ්‍ය ඇමැතිධුරය අහිමිකිරීමට එය සමත්විය. දැන් සුසිල් පේ‍්‍රමජයන්ත මන්ත‍්‍රීතුමා පවසනුයේ රාජ්‍ය අමාත්‍යධුරය අහිමි වීම තමන්ට එතරම් දෙයක් නොවන බවත්, තමන් ආණ්ඩුව විවේචනය කළේ ආණ්ඩුව නිවැරැදි මගට ගැනීමට බවත්ය. මේ ඔහු ඒ ගැන ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කියූ දේය.

ප‍්‍රශ්නය – මන්ත‍්‍රීතුමා, දෙල්කඳ පොළට ගිහින් ඔබතුමා හැමදේම නැතිකර ගත්ත නේද?

පිළිතුර – අනේ නෑ…. මම දෙල්කඳපොළේ යන්න පටන් අරන් දැන් අවුරුදු හතළිහකට වැඩියි. ඉස්සර පොළ තිබුණෙ මේ විදිහට නෙමෙයි. 2014දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි දැන් මේ විදිහට නවීකරණය වෙලා තියෙන දෙල්කඳපොළ විවෘත කළේ. නාගරික සංවර්ධන අධිකාරියට කතා කරල අවශ්‍ය ඉඩම අරන් දීල ඒකට අවශ්‍ය පහසුකම් සැපයුවෙ අපි. මම ඉන්නෙ දෙල්කඳපොළ ආසන්නයෙ. ගෙදර ඉන්නව නම් ඉරිද දවස්වලට පොළට යන එක මගේ සිරිතක්. එදා පොළට ගිය දවසෙ බඩු මිල වැඩියි. ඒ ආපු සෙනඟ බඩු මිල ගැන හිටියෙ පශ්චාත්තාපයෙන්. අහම්බෙන් මාධ්‍යවේදියෙක් ඇවිත් මගෙන් අහනව මිරිස් මිල 1200යි, ඇමැතිතුමා මොකක්ද ඒ ගැන කියන්නෙ කියල. මම ඒකට හේතුවුණු කාරණා කිව්ව. එදා විතරක් නෙමෙයි ජනතාව පෙළන ප‍්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවෙදිත් මගේ අදහස් විවෘතව ප‍්‍රකාශ කළා. හැබැයි බොහෝ විවාදවලදී අපේ කතාවලට පාර්ලිමේන්තුවෙ ඉඩ නෑ. අයවැය විවාදයෙදි අවසානයේ ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ පිරිස සිටිද්දි හැන්සාඞ් එකක් කියවපු නැති, ආර්ථිකය කියන්නෙ මොකක්ද කියල මෙලෝ හසරක් දන්නෙ නැති පිරිස්වලට තමයි කතා දෙන්නෙ.

ප‍්‍රශ්නය – සමහරුන් නම් කියන්නෙ ඔබතුමා පොළේ නොගිහින් කඬේ ගියානම් හරි කියලා.

පිළිතුර – ඔව් ඒක හරි. මම පොළේ යන්නෙ නැතිව කඬේ ගියා නම් ඔය තත්ත්වය මතුවෙන්නෙ නෑ. හැබැයි කඬේ යන අයට උත්තර හම්බවෙයි එළඹෙන මැතිවරණවලදී.

ප‍්‍රශ්නය – රාජ්‍ය ඇමැතිධූරය අහිමිව ඔබ ඉන් පිටව ගියේ ත‍්‍රීවිල් එකෙන්. නමුත් අලූත්කඬේ කාර්යාලයට ගියේ ප‍්‍රාඩෝ එකෙන් කියලා තමයි කියන්නේ. කොහොමද එහෙම වුණේ. මන්ත‍්‍රීතුමා පොඩි නාට්‍යයක් රඟපෑවා නේද?

පිළිතුර – නෑ… මම උදේ මගේ කාර්යාලයට යන්න ලෑස්ති වුණේ කිසි දෙයක් දන්නෙ නැතිව. එතනදී මාධ්‍යයෙන් තමයි මටත් දැනගන්න ලැබුණෙ වෙලා තියෙන දේ ගැන. මට කියල වාහනයක් තිබුණෙ නෑ. ඒ නිසා ත‍්‍රීවිල් එකකින් නිවසින් පිටත්වුණා. එතකොට මගේ පුතාගෙ යාලූවෙක් වාහනයක් එවල තිබුණ. ඒක නවීන කිව්වට, නවීන වාහන නම් ඔටෝ ජියර් වෙන්න ඕනනෙ. මේක ඔටෝ මෝඞ් ගියර්. අවුරුදු විස්සක් විතර පරණ වාහනයක්. ඒක එයා පාවිච්චි කරන්නෙ නැති නිසා මම වාහනයක් හොයාගන්නකම් ඒ වාහනය පාවිච්චි කරන්න කියල එවල තිබුණෙ. ඒ වාහනය තමයි මගේ අලූත්කඬේ කාර්යාලයට ඇවිත් එතනින් බැස්සෙ. ඕනම මාධ්‍යවේදියෙක්ට ඒ වාහනයෙ නම්බර් එක චෙක් කරල දැනගන්න පුළුවන් ඒක කාගෙ නමටද කියල තියෙන්නෙ.

ප‍්‍රශ්නය – ඇත්තටම මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ…

පිළිතුර – මේ ආණ්ඩුව මුල ඉඳලම තෝරගත්තෙ හරි පිරිසක් නෙමෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැන් ඉන්නෙ පස්වැනි ලේකම්වරය. අවුරුදු එකහමාරක් ඇතුළතදි මේ විදිහට ලේකම්වරු හතර දෙනෙක් ඉවත්වෙනව නම් ඇයි එහෙම වුණෙ කියල හොයන්න ඕන. ඒ වගේම යම් ප‍්‍රතිපත්ති තීන්දුවක් ගත්ත නම් ඒක සාර්ථක කරන්න ඕන වැඩපිළිවෙළක් ඕන. කාබනික කෘෂිකර්මාන්තය ඉතාම හොඳයි. පරිසර හිතකාමියි. නමුත් ඒක කරන්න ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් තිබුණ නම් මේ තත්ත්වයට පත්වෙන්නෙ නෑනෙ. ඉතින් ඒ ගැන කීම වැරදිද? දැන් මට විනය පරීක්ෂණ තියන්න ඕනෙලූ, අනේ කවුද අපිට විනය පරීක්ෂණ තියන්න එන්නෙ. මම සන්ධාන ලේකම්.. මැතිවරණ දොළහක නාම යෝජනා හදල තියෙනවා. එක දශමයක්වත් වරද්දල නෑ. මේ කෑගහන අයට කරන්න තිබුණෙ පොහොට්ටුවෙ පරමාදර්ශී නායකයා වෙන මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම්බවෙලා මම ගැන අහන්න. එතුමා දන්නව මගේ විනය ගැන දේශපාලන වශයෙන්.

එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු මන්ත‍්‍රීවරු 54 දෙනාම පත්වුණෙ බුලත්කොළය යටතේ. මේ සියලූ දෙනා ස්වාධීන වෙලා පොහොට්ටුව හදල ඒකෙ සාමාජිකත්වය ගත්ත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිවම තියෙනව එක පක්ෂයකින් ඇවිත් එක පක්‍ෂයක මන්ත‍්‍රීධුර දරන ගමන් වෙනත් පක්ෂයක මන්ත‍්‍රීධුර ගත්තොත් ඒ සම්බන්ධයෙන් විනය පියවර අරගෙන මන්ත‍්‍රීධුරයෙන් අයින් කරන්න පුළුවන් කියල. අපි එහෙම කළේ නෑ. අද කෑගහන ළදරු මන්ත‍්‍රීවරු මේ නීතිමය තත්ත්වයවත් දන්නෙ නෑ. ඒ නිසා මම පක්ෂයෙ විනය කඩන්න යන කෙනෙක් නෙමෙයි. අපි නඩුවලට පෙනී ඉන්නව මිසක් නඩුවලට ගිහින් විත්ති කූඩුවල නඟින්නෙ නෑ. හැබැයි ඔය ඇමැති මණ්ඩලයෙත් ඉන්නව තාම විත්ති කූඩුවෙ නඟින අය. සමහරුන්ගෙ නඩු ඉල්ලා අස්කර ගත්ත.

ප‍්‍රශ්නය – ඔබට හරි අමාත්‍යාංශයක් නොලැබුණ නිසාද මේ හැම විවේචනයක්ම?

පිළිතුර – මම විවේචනය කරන්නේ හරි දේ වෙනුවෙන්. ඇත්ත දැක දැක ඇස් කන් පියාගෙන ඉන්න බැහැ. ඇත්ත කතා කිරීම පිටුපස තිබෙන්නේ හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීම මිසක් වෙන කිසිවක් නොවෙයි. ඇත්තවශයෙන්ම මේ රාජ්‍ය අමාත්‍යාංශ ධුරයත් මට අහම්බෙන් දුන්න එකක්. විජේදාස රාජපක්ෂ මහත්තයට දුන්න රාජ්‍ය ඇමැතිකම එතුමා ප‍්‍රතික්ෂේප කළේ එතුමට කැබනට් ඇමැතිධුරයක් ලැබුණෙ නෑ කියලා. විජේදාස රාජපක්ෂ මහත්තයත් පාර්ලිමේන්තුවට ආවෙ ජාතික ලැයිස්තුවෙන් චන්ද්‍රිකා මැතිණියගෙ කාලයේ. එතකොට එතුමාට වඩා මම ජ්‍යෙෂ්ටයි. ඒ නිසා මට රාජ්‍ය ඇමැතිකම නොගෙන ඉන්න තිබුණ. හැබැයි මම රාජ්‍ය ඇමැතිකම ගත්තෙ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නිසා. ඒක මම දන්න විෂයක්. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් පත්කළා ඉදිරියට වැඩටික ගෙනියන්න. මේ කොවිඞ් 19 එක්ක පාසල් වහල තිබුණු පරිසරයක වුණත් මේ සැලසුම් සකස් කළා. මට නම් කැබිනට් ඇමැතිකමක් කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි. අවුරුදු 22කින් 15ක්ම මම ඉඳල තියෙන්නෙ ආණ්ඩු පක්ෂයෙ. සන්ධානයෙ ලේකම් කියන්නෙ පක්ෂ මට්ටමින් දෙවැනි තනතුර. ඒක මම අවුරුදු 11ක් දැරුව.

ප‍්‍රශ්නය – ආණ්ඩුවෙ ඉන්න කැබිනට් ඇමැතිවරු ඔබතුමාට වඩා දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරනව. හැබැයි ඔවුන්ගෙ ඇමැති ධුරවලට ඒක ප‍්‍රශ්නයක් වෙලා නැහැ. ඇයි මේ සුසිල් පේ‍්‍රමජයන්තට වෙනම හැන්දකින් බෙදලා තියෙන්නේ.

පිළිතුර – ඒකට හේතුව මම කියන්න දන්න නෑ. පසුගිය ජනාධිපතිවරණයෙදිත්, මහ මැතිවරණයෙදිත් අපි ජයග‍්‍රාාහී ප‍්‍රතිඵල ලබාගත්තෙ එක පාරට උඩින් පාත්වෙච්ච බලවේගයක් නිසා නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි පරමාදර්ශී නායකය. එතුමා විපක්ෂ නායකයා වෙලා සිටිද්දි දැන් ඔය කෑ ගහන එක්කෙනෙක්වත් හිටියෙ නෑ. අපි පාර්ලිමේන්තුවෙ හිටියෙ. එතුමා මුලින්ම අගමැති වෙද්දි මම සන්ධානයෙ ලේකම්. ඒ වෙලාවෙ කරපු කාර්යභාරය ඔය එක්කෙනෙක්වත් දන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ඔබ ආණ්ඩු පක්ෂයෙ සාමාජිකයෙක් වෙලා හිටියෙ සතුටකින් නෙමෙයිද?

පිළිතුර – නෑ… පසුගිය මාස තුන හතරේ තමයි මේ තත්ත්වයන් වර්ධනය වුණේ. අපි දැක්ක ගෑස් පුපුරනව, කිරිපිටි හිඟය, ගොවියන්ගෙ ප‍්‍රශ්න, බඩු ගන්න පෝලිම්. මේ අවස්ථාවලදී ආණ්ඩුව නිවැරැදි කරන්න අපි කතාකරන්නෙ නැත්නම් මොකක්ද ඇති වැඬේ. සමහරු කියනව කණ්ඩායම් රැස්වීම්වලදී කතාකරන්න තිබුණ කියල. කොහෙද එහෙම තිබ්බෙ…? එහෙම තිබුණ නම් කතා කරනව තමයි.

ප‍්‍රශ්නය – රාජ්‍ය ඇමැතිධුරය අහිමිකරන්න ආණ්ඩුව ගත්ත තීරණයට ඇතැම් බුද්ධි අංශ තොරතුරු පවා හේතුවුණු බව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු සඳහන් කර තිබෙනවා. ඇත්තටම ඔබ ආණ්ඩුවට එරෙහි සැලසුමක් ක‍්‍රියාත්මක කරමින් සිටිය ද?

පිළිතුර – ආණ්ඩුවට එරෙහි මොන සැලසුම් ද. ඇත්ත කතා කිරීම ආණ්ඩුවට එරෙහි සැලසුම් කියන්නේ මොළේ කළඳක් තියෙන අය නෙවෙයි.

මට තියෙන පුදුමය තමයි රටක බුද්ධි අංශය වගේ වැදගත් තැනක තොරතුරු ඊයෙ පෙරේදා පාර්ලිමේන්තු ආපු තිස්ස කුට්ටිආරච්චි වගේ මන්ත‍්‍රීවරයෙක්ට දුන්න එක. ඒක රටේ ජනතාවට ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉහළ පෙළේ රජයේ වගකිව යුතු අයට තමයි බුද්ධි අංශ තොරතුරු දෙන්න ඕන. අනේ අපි ගැන බුද්ධි තොරතුරු අහන්න ඕන නෑ. අපි හැංගි හැංගි දේශපාලනය කරලත් නෑ, කුමන්ත‍්‍රණ කරලත් නෑ. මම මගේ අදහස් කෙලින්ම කියනව. ඒ වගේම අපේ ප‍්‍රතිපත්ති මත ඉන්න බැරිනම් සියලූ තනතුරුවලින් ඉවත්වෙලා දේශපාලනය කරන්න පුළුවන්. ඉතිහාසයේ අපි එහෙම කරල තියෙනව.

ප‍්‍රශ්නය – දැන් රටේ තත්ත්වය බොහොම අවුල්සහගතයි. විශේෂයෙන්ම ආර්ථික ගැටලූ හමුවේ මුළු රටම අසරණවෙලා ඉන්න මොහොතක්. ඒ හින්දා ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය ශීඝ‍්‍රයෙන් පහළ ගිහින්. ආණ්ඩු විරෝධී ජනතා මතයට බයේ පසුබැසීමක්ද ඔබ මේ සිදුකරන්නේ…?

පිළිතුර – ආණ්ඩුවක් නිවැරැදි කරන්න නම් වැරැදෙන තැන් පෙන්වන්න ඕන. එහෙම අයිතියක් යුතුකමක් අපට තියෙනව. අපි දීර්ඝකාලීන දේශපාලනයෙ නියැලූණු අය. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක දේශපාලනයෙ ඉන්නකොට ඇමැති මණ්ඩලයෙදී අපි අපේ අදහස් කියල තියෙනව. ඒවායින් හොඳ තීන්දු ගත්ත. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතෙ රනිල්ට විශ්වාසභංග යෝජනාවට තීන්දුව ගන්න කලින් එතුමා හමුවෙලා සාකච්ඡා කළා. අපි හොරෙන් කළේ නෑ. ඒ නිසා මෙතනදී අපිට හොරෙන් කරන්න දෙයක් නෑ.

ප‍්‍රශ්නය – ඔබව ඇමැති ධුරයෙන් නෙරපීම ගැන ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ඔබ සතුටින් නේද ඉන්නේ..?

පිළිතුර – අපි වගකීම් දරනව ඒව හරියට දරන්න ඕන. මම දෙල්කඳපොළේදි කිව්ව දෙයක් තමයි තීරණ ගන්න තැන අපි නෑ. හැබැයි අපි වගකියන්න ඕන. ඒ නිසානෙ මාධ්‍යවේදියෝ අපෙන් අහන්නෙ. හැබැයි මන්ත‍්‍රීවරයෙක්ට තියෙන බලයවත් අපට නෑ. මට මේ තනතුර නැති වුණා කියල පශ්චාත්තාපයක් නෑ. මට මගේ වෘත්තීය තියෙනව. පෞද්ගලික ආයතනවල මගේ විෂය සම්බන්ධයෙන් දේශන තියෙනව. දැන් මම බොහොම නිදහස්.

කවුද මේ තීරණ ගන්නෙ…

ව්‍යවස්ථාව අනුව කැබිනට් තීන්දු ගන්නෙ කැබිනට් එක. කැබිනට් එකේ සාමූහික වගකීම තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මන්ත‍්‍රීවරු. මන්ත‍්‍රීවරු පත්කරන්නෙ ජනතාව. කැබිනට් එක පාර්ලිමේන්තුවට වගකියනව කියන්නෙ රටට වගකියනව කියන එක.

ප‍්‍රශ්නය – කොහොම කිව්වත් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කිරීම කනගාටුදායක සහ හිතට දැනෙන සිදුවීමක්. මේ සිදුවීමත් සමග දේශපාලනයෙන් සමුගන්නවද?

පිළිතුර – අපෝ නෑ… දේශපාලනයෙන් සමුගන්න ඕන අය දේශපාලනය කරන හින්ද තමයි මේ ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව සහන පැකේජයක් දීල තියෙනව. ඒ ගැන මොකද හිතෙන්නේ…

පිළිතුර – සහන දෙන එක හොඳයි. ප‍්‍රශ්නය තියෙන්නෙ ආර්ථික විද්‍යාත්මකව මේ විග‍්‍රහ කරගත්තොත් මේ දෙන විදිහෙ ගැටලූවක් තියෙනව. අපි ආදායම් ලබාගෙන වියදම් කරනව නම් ප‍්‍රශ්නයක් නෑ. හැබැයි ආදායම් අහිමිකරගෙන වියදම් කරන්න ගියොත් වෙන්නෙ නැවත ණයවීමක් සමග මුදල් මුද්‍රණයක්. මේක රටේ උද්ධමනය වැඩිවෙන්න හේතුවෙනව. ගිය මාසෙ 12.1%ක්. ජනවාරි ඉවරවෙද්දි මේක තව කොච්චර ඉහළ යයිද?

ප‍්‍රශ්නය – දශක තුනකට ආසන්න දේශපාලන අත්දැකීම් ඇසුරින් මේ මොහොතේ ජනතාවට දෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද?

පිළිතුර – අද තියෙන ප‍්‍රශ්නවල වැඩි කොටසක් කොවිඞ් 19 වසංගතය තමයි බලපෑම් කරල තියෙන්නෙ. ඒක මුළු ලෝකයටම පොදුයි. හැබැයි බංග්ලාදේශය වගේ රටක් ගත්තොත් ඒ අය මේ වසගංතය අස්සෙත් තමන්ගෙ විදෙස් සංචිත වැඩිකරගෙන තියෙනව. ආදායම් වැඩිකරගෙන තියෙනව. එහෙම කරල තියෙන්නෙ නිසි ආර්ථික කළමනාකරණයෙන්. ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි අපේ සැලැස්මක් නැතිවීම. මේකට දේශපාලකයන්ට විතරක් ඇඟිල්ල දික්කරන්න බෑ. මහ බැංකුවෙ නිලධාරීන්, තීරණගත යුතු තැන්වල සිටි නිලධාරීන් වගකියන්න ඕන. ගෑස් ප‍්‍රශ්නය ගත්තොත් මාස හතරක් තිස්සෙ විසඳගන්න බැරිනම් මොකක්ද අපිට තියෙන සැලසුම. භාණ්ඩ හිඟය, මිල ඉහළ යෑම් ගැන ආර්ථික විද්‍යාව ගැන දැනුම තියෙන අය දන්නෙ නැද්ද? ඇයි ඒ ගැන උපදෙස් නොගන්නෙ. නොදෙන්නේ. මේව කොහෙන් කෙළවර වෙයිද?

මහජනතාවට කියන්න ඕන ප‍්‍රධානම දේ තමයි මේ අවස්ථාව අපි දේශපාලන කලබැගෑනියක් කරගන්න ඕන අවස්ථාවක් නෙමෙයි. ඒකෙන් වෙන්නෙ රට තවත් අස්ථාවර වෙන එක. හෙට මේ තියෙන ආණ්ඩුව පෙරළල තව කණ්ඩායමක් ආණ්ඩුවක් පිහිටවෙව්වත් මේ ප‍්‍රශ්න ටික එහෙම්ම තියෙනව. ඒ නිසා ප‍්‍රශ්න විසඳුම් ක‍්‍රියාවලියකට රජය යනව නම් ඒ ක‍්‍රියාවලියට සහය දෙන්න. එහෙම නැත්නම් ඉදිරි අවස්ථාවලදී පුළුවන් රටේ ජනතාවට මේ තියෙන දුෂ්කරතාවලට වඩා හොඳ පිරිසකට අවස්ථාව ලබාදෙන්න.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment