පෝට් සිටි පදික මංතීරුව සහ සැහැල්ලු යාත‍්‍රා අංගනය විවෘතවේ – අද සිට ජනතාවට ඇරේ

421

* ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති  පිවිසුමෙන් පාගමනින් ඇතුළුවීමට අවස්ථාව

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත‍්‍රා අංගනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09දා) විවෘත කෙරිණි.

පෝට් සිටි පදික මංතීරුව සහ සැහැල්ලු යාත‍්‍රා අංගනය විවෘතවේ - අද සිට ජනතාවට ඇරේ

ඊයේ විවෘත කළ පදික මංතීරුව අද (10) උදෑසන 9 සිට පස්වරු 6 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.

ශ‍්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා – චීන මිත‍්‍රත්ව යාත‍්‍රා කුසලානය කොළඹ වරාය නගර පරිශ‍්‍රයේ මරීනා ජල වේදිකාවේ පැවැත්වුණු අතර එයට චීන විදේශ ඇමැතිවරයා, ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු දෙරටේ ඉහළ නියෝජිතයෝ සහභාගි වූහ.

එසේම වරාය නගර පරිශ‍්‍රයේ පැවතී ශ‍්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීමේ වැඩසටහනේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන විදේශ ඇමැතිවරයා දෙරටේ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවල ඉතිහාසය පිළිබඳව අදහස් දැක්වූහ. විදේශ ඇමැති වැන්ග් යී මහතා ද්විපාර්ශ්වික මිත‍්‍රත්වය සහ සහයෝගිතාව පිළිබඳව ඉතා ඉහළින් අගය කළේය.

තරුණ කලාකරුවන් කොළඹ වරාය නගරයේ මරීනා ජල වේදිකාවේ අපූරු රංගනයක් ඉදිරිපත් කළ අයුරුද දැකගත හැකිවිය. දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේ පෙරේදා (08දා* රාත‍්‍රි 8.22ට පමණ වන අතර ඊයේ පස්වරුවේ හෙතෙම ලංකාවෙන් පිටව ගියේය.

ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා චීන විදේශ ඇමැතිවරයා පිළිගැනීමට මෙන්ම ඔහුට සමුදීමටද පැමිණ සිටිනු දක්නට ලැබිණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment