පෝදා සිතුවිලි – ප්‍රථම ධර්මදූත සේවාව ඇරඹි ඉල් පොහොය

150

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබෙන දිනයකි ඉල්පුර පසළොස්වක පොහොය දිනය. ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැටනව ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහිදී නියත…. විවරණ ලැබීම, අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම, භික්‍ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අවසන් දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකළ හැකි අවසාන දිනය වීම යන කරුණු ඒ අතර ප්‍රධානය.

පෝදා සිතුවිලි - ප්‍රථම ධර්මදූත සේවාව ඇරඹි ඉල් පොහොය

බුදු සසුන තුළ භික්‍ෂු සමාජය ආරම්භ වූයේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජී යන පස්වග භික්‍ෂූන් වහන්සේලාගෙනි. ඊට පසුව පැවිද්ද ලබාගත් යස කුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක මෙම රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.

චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං, මා ඒකෙනද්වෙ අගමිත්ථ, දේසෙථ භික්ඛවෙ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ

මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිසද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මගින් නොයන්න. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිත වූ ව්‍යාඥ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසිදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න.

එකල උරුවෙල් දනව්වෙහි විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප ප්‍රමුඛ දහසක්වූ තුන් බෑ ජටිල පිරිස බුදුරදුන්ගේ ප්‍රාතිහාර්ය දැක පැහැදී ඒහිභික්‍ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත් භාවයට පත්වූහ.

බුදුරජාණන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ, මෛත්‍රය බෝධිසත්වයන් වහන්සේය. ඉල් පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මෛත්‍රය බෝධිසත්ත්ව භික්‍ෂූන් වහන්සේ අමතා, “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රය නමින් සම්‍යයක් සම්බුද්ධ වන්නෙහි යැයි, නියත විවරණ දුන් සේක.

 ඌරුගමුවේ අස්සජී හිමි

advertistmentadvertistment
advertistmentadvertistment