පෝය දවසෙ මහ රෑට ශබ්ද පූජා කරගෙන නොපෙනෙන පෙරහැරක් එන මංගල මහා සෑය

1906

අනුහස් සපිරි මංගල මහා සෑයේ නොදත් කතාව-02

සේරුවිල සෑයෙට කේෂ ධාතු වැඩම්ම වූයේ නාග ලෝකයෙන්….

සෑය හදන්න අවුරුදු 6යි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග මළුව හදන්න අවුරුදු 50යි….

යුද්දෙ කාලෙදීවත් සේරුවිල ගමේ කිසිම කෙනෙක්ට අනතුරක් වෙලා නෑ…

භූමි කොල්ලකරුවන් ප්‍රසිද්ධියේ සේරුවිල ගොඩ කරනවා…

‘ලලාට ධාතූන් වහන්සේ නොදැක එක තත්ත්පරයක්වත් ජීවත් වෙලා ඵලක් නෑ. මෙතැනම මැරිලා ගියා වේ… මම මෙතැනින් නැඟිටින්නෙ නෑ…’ කාවන්තිස්ස රජුගේ හද මඬල තුළ ජීවිතය අතහරින සිතුවිලි උපදිනවිට සේරුවිල ප්‍රදේශයේ පොළොව කම්පා වී මහා සාගරයේ දිය කඳ රළු විය. සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුන රත් වී තුන් ලොවම කම්පාවට පත්ව වූහ. මහරහතුන් වහන්සේ විසින් කරුණු කාරණා අවබෝධ කර දුන්න ද රජු හිටි පියවර වෙනස් නො කළහ. විහාරමහාදේවිය පැමිණ කතා කළ ද රජුගේ සිත වෙනස් නොවූහ. අවසානයේ මහරහතන් වහන්සේ ඍධි බලයෙන් රජු ඔසවාගෙන පැමිණ මළුවේ තැබූහ. අනතුරුව මහරහරතන් වහන්සේ ධාතු ගර්භය තුළ මල් පූජා කර පහන් දැල්වමින් ‘මේ මල් පර නොවේවාෟ දැල් වූ පහන් නොනිමේවාෟ සුවඳ නොවිසිරේවා…ෟ මේ ගල් පතුරු සයම එකට පූට්ටු වේවා!’ කියා අධිෂ්ඨාන කළහ.

එම අධිෂ්ඨානය වා තලයට මුසු වෙනවාත් සමග පසෙක තිබූ ගල් පියන අහසට පැන නැඟ ධාතු ගර්භයේ ගල් බිත්ති හතර මත තැන්පත් වී එකිනෙකට පූට්ටු විය. ධාතු පරිනිර්වාණය වන තෙක් කිසිදු ලෙසකින් නැවත සේරුවිල මංගල මහා සෑයේ ධාතු මන්දිරය නො ඇරේ. ධාතු පරිනිර්වණයවන දින මංගල මහා සෑයේ ධාතු ගර්භය විවෘත වී එහි තැන්පත් ලලාට ධාතූන් වහන්සේ අහසට පැන නැඟ අනුරාධපුර රුවන්මැලි මහා සෑයට වැඩම කර, ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සමග නාගදීපයට වැඩම කරන්නාහ. ලක් දෙරණේ වැඩ සිටින සියලුම ධාතූන් වහන්සේ නාගදීප චෛත්‍යය වහන්සේ අසලට වැඩම කර, එම පින්බිමෙන් ඉන්දියාවේ බුද්ධ ගයාවට වැඩම කොට වජිරාසනයේ ජීවමානව බුද්ධ ශරීරය මැවී, අහසට පැන නැඟ ප්‍රාතිහාර පාමින් ධාතූන් වහන්සේ අළුදූවිලි බවට පත් වෙන්නාහ.

පෝය දවසෙ මහ රෑට ශබ්ද පූජා කරගෙන නොපෙනෙන පෙරහැරක් එන මංගල මහා සෑය
දඹගස්ආරේ සුමේධංකර මහ නායක හිමි

සේරුවිල මංගල මහා සෑයේ සුවිශේෂී සිද්ධි අතර මේ සිදුවීම ද අති විශේෂය. එනම් ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේනමක් මල් පූජා කළ එකම පින්බිම සේරුවිල පමණි. ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් වන වරට මෙරටට වැඩම කොට සොළොස්මස්ථානවලට වැඩම කළ අවස්ථාවේ අටවෙනි ස්ථානය ලෙස සේරුවිල පුදබිමට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වැඩම කළ සොළොස්මස්ථාන ගැන කියැවෙන ගාථාවේ අටවෙනි ස්ථානය ලෙස ‘තිස්සමහා විහාරංච’ නමින් හඳුන්වනුයේ සේරුවිල මංගල මහා සෑය බව සේරුවිල සෙල් ලිපියේ ‘තිස්මහා විහාරය’ නමින් සඳහන් වී ඇත. කාවන්තිස්ස රජු නිර්මාණය කළ සියලු විහාර හඳුන්වා ඇත්තේ ‘තිස්මහා විහාර’ නමින් බව ද ඉතිහාසයේ සඳහන්ය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ සේරුවිල පින්බිමට වැඩම කළ අවස්ථාවේ එම පින්බිමේ ආරක්‍ෂාව සමිද්ධි සුමන නාග රජුට භාර දුන්නාහ. ඒ මොහොත වන තෙක් නා රජු සිටියේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය ඉදිරිපිට මහා රුක්ෂයක ය. බුදුන්වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරන අවස්ථාවේ දී පන්සිය නමක් මහරහතන් වහන්සේ සමග සමිද්ධි සුමන නා රජුව ද කැඳවාගෙන පැමිණියහ. සේරුවිල පින්බිමේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ‘අනාගතයේ දී මගේ ලලාඨ ධාතූන් වහන්සේ තැන්පත් කොට මේ ස්ථානයේ සෑයක් නිර්මාණය වේ. එම සෑය ආරක්‍ෂා කළ යුත්තේ ඔබයි…’ බුදුන්වහන්සේ සමිද්ධි සුමන නා රජුට දේශනා කළහ.

‘භාග්‍යවතුන් වහන්ස, ඒක නම් මට කරන්න බෑ. මම මෙතැන නතර වුණාම ඔබවහන්සේව දකින්නත් නෑ. මහරහතන් වහන්සේ දකින්නත් නෑ. ඒ නිසා මට නතර වෙන්න බෑ…’ බුදුවහන්සේගේ ඉල්ලීම සමිද්ධි සුමන රජු එකහෙළා ප්‍රතික්ෂේප කළහ.

‘මේ ස්ථානයේ ඉඳි වූ කකුසඳ බුදුන්වහන්සේගේ ධාතු චෛත්‍ය ආරක්‍ෂා කළෙත් ඔබයි. කෝණාගම බුදුන් වහන්සේගේ ධාතු චෛත්‍ය බලා ගත්තෙත් ඔබයි. කාශ්‍යප බුදුන්වහන්සේගේ ධාතු චෛත්‍ය ආරක්‍ෂා කළෙත් ඔබයි. මගේ ධාතු චෛත්‍යයෙත් ආරක්‍ෂකයා ඔබයි. අනාගතයේ මේ ස්ථානයේ ඉදිවන මෛත්‍රී බුදුන්වහන්සේගේ ධාතු චෛත්‍ය රැකබලාගත යුත්තෙත් ඔබයි…’ බුදුන්වහන්සේගේ එම දේශනාව අසා ප්‍රීති ප්‍රමෝදයට පත් නා රජු ‘මේ මල් ටික පූජා කරන්න’ කියා අත රැඳි සපු ගහෙන් මල් මිටවල් අටක් නෙළා බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ මල් මළුව පුරා අතුරමින් නිරෝධ සමාප්‍රප්තියට සමවැදී සිටි බුදුරජාණන් වහන්සේ ‘මාගේ ලලාට ධාතූන් වහන්සේ පිහිටන්නෙ මෙන්න මෙතැනයි’ කියා අධිෂ්ඨානයක් කළහ. බුදුරජාණන් වහන්සේගේ එම අධිෂ්ඨාන ශක්තියෙන් ලලාට ධාතූන් වහන්සේ පිහිටි මංගල මහා සෑය ඉදි වී ඇත්තේ සේරුවිල බුදුන් මල් පිදූ පින්බිමේය.

එමෙන්ම මංගල මහා සෑයේ ධාතු ගර්භය තුළ රත්තරනින් නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසේ පිහිටි කේෂ ධාතූන් වහන්සේ වැඩම වූ ආකාරය ද ආශ්චර්යකි. ධාතු ගර්භයේ ධාතු තැන්පත් කිරීමට සූදානම් වන අවස්ථාවේ ‘මේ සෑයේ කේෂ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට ලැබුණොත් මහත් භාග්‍යයක්’ කියා කාවන්තිස්ස රජුට සිතිණි. එසැණින් ක්‍රියාත්මක වූ රජු එම සිතුවිල්ල මහරහතන් වහන්සේට දැනුම් දුන්නහ. දිවැසින් බැලූ මහරහතන්වහන්සේ නා ලොව වැඩ සිටින කේෂ ධාතූන් වහන්සේ දුටූහ. එම කේෂ ධාතූන් වහන්සේ දෙනම වැඩමවා ගෙන ඒමට ඍධි බලසම්පන්න මහරහතන් වහන්සේනමක් නා ලොවට වැඩම කළහ. රාජාසනයේ අසුන්ගෙන සිටි ජයසේන නා රජු මහරහතන් වහන්සේ දකිනවිට ‘මේ නම් එන්නෙ හොඳකට නෙමෙයි. ධාතූන් වහන්සේ රැගෙන යන්න තමයි ඔය එන්නෙ…’ කියා සිතමින් කේෂ ධාතූන් වහන්සේ තැන්පත් කර තැබූ කුඩා කරඬුව ගිල්හ.

‘කාලෙකට පස්සෙ ඔබවහන්සේ නා ලොවට වැඩම කරලා…’ නා රජු මහත් භක්තියෙන් මහරහතන් වහන්සේ පිළිගත්හ.

‘අද අපේ කාවන්තිස්ස රජු සේරුවිල සෑයේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරනවා. මම ආවෙ කේෂ ධාතූන්වහන්සේ දෙනම වඩම්මවා ගෙන යන්න…’ මහරහතන් වහන්සේ නා රජුට පැවසූහ.

‘ස්වාමීන් වහන්සේ කේෂ ධාතූන්වහන්සේ මෙහෙ නම් නෑ. තියෙන තැනක් දන්නවා නම් අරගෙන යන්න…’ නා රජු එසේ කීහ. එපමණක් නොව, ‘තියෙන තැනකින් අරගෙන යන්න’ කියන වචන කිහිපය නා රජුගේ මුවින් තුන් වතාවක් පිට වූහ. ධාතූන් වහන්සේ වැඩ සිටින තැන ඍධියෙන් දුටු මහරහතන් වහන්සේ සියුම් අතක් මවා නා රජුගේ මුව තුළින් කුසට දමා කරඬුව ගෙන සිවුරුපට තුළ සඟවාගෙන නා ලොවෙන් සමුගෙන සේරුවිලට පිටත් වූහ.

‘මහරහතන් වහන්සේ මුලා කළ ජයග්‍රාහී ලීලාවෙන් කුස අත ගා බැලූ නා රජුට කරඬුව නැති බව දැනුණහ. ධාතූන් වහන්සේ දෙනම රැගෙන ගොස් ඇති බව දැනගත් මොහොතේම පිටත් වී මහරහතන් වහන්සේ පොළොවෙන් මතු වන මොහොතේම ජයසේන නා රජු ද මතු වූහ. කාවන්තිස්ස රජු ඉදිරියට ගිය ජයසේන නා රජු ‘මේ ශ්‍රමණයන් වහන්සේ මා රවටා කේෂ ධාතූන් වහන්සේ දෙනම රැගෙන ඇවිත්…’ කියමින් මහරහතන් වහන්සේට දොස් පැවරූහ.

‘මේ පවසන්නේ ඇත්තක් ද ස්වාමීන් වහන්ස…’ කාවන්තිස්ස රජු මහරහරතන් වහන්සේගෙන් විමසූහ.

‘නෑ… රජතුමනි, ජයසේන නා රජු පැවසූ ආකාරයට තියෙන තැනින් මම අරගෙන ආවා…’ මහරහතන් වහන්සේ පිළිතුරු දුන්හ.

‘ඔබ වහන්සේ කියන දේ සනාථ කරන්න සාක්‍ෂි තිබේද…’ කාවන්තිස්ස රජු එසේ විමසනවිට නා ලොව සිට පැමිණී සමනුප්ඵල නා රජු පොළොවෙන් මතු වී මළුවට පැමිණ ‘රජතුමනි, මේ ශ්‍රමණයන් වහන්සේ ජයසේන නා රජුව රැවට්ටුවේ නෑ. රජතුමා තියෙන තැනකින් අරගෙන යන්න කිව්වම රැගෙන ආවා…’ සමනුප්ඵල නා රජුගේ සාක්‍ෂිය හමුවේ ජයසේන නා රජු නිරුත්තර වූහ. නඩු අසා අවසාන වූ කාවන්තිස්ස රජු ‘එහෙම නම් මේ කේෂ ධාතු සෑයේ තැන්පත් කරනවා… ඔබ පහළ මළුව ආරක්‍ෂා කරන්න’ කියා ජයසේන නා රජුට භාර කළහ. සමිද්ධි සුමන නා රජු සමග උඩ මාළුවේ ආරක්‍ෂාව සමනුප්ඵල නා රජුට භාර කළහ. තුන් ලොවටම එකම ලලාට ධාතූන් වහන්සේ පිහිටි මංගල මහා සෑය අදටත් ආරක්‍ෂා කරනුයේ එම නා රජවරුය.

තුන් ලොවටම එකම චෛත්‍ය වහන්සේ වූ සේරුවිල මංගල මහා සෑයේ ඉතිහාසය එසේ පෙළගැසෙනවිට මෙරට බොහෝ කාලයක් විවිධ විදේශීය ආක්‍රමණවලට නතු වී තිබූ පසුබිමක වෙහෙර, විහාර කඩා බිඳ දමා බෞද්ධ උරුමයට මහා විනාශයක් සිදු කළ බව සැබෑය. එහෙත් එකී විජාතික ආක්‍රමණිකයන්ට සේරුවිල මංගල මහා සෑයට හානියක් කිරීමට නොහැකි විය. එහෙත් වසර ගණනාවක් මහා කැලයෙන් වැසී ගොස් තිබූ මංගල මහා සෑය කැඩී, බිඳී ජරාජීර්ණ වී තිබෙනවිට 1922 වර්ෂයේ දී, ධාතු වංශය පරිශීලනය කළ දඹගස්ආරේ සුමේධංකර හාමුදුරුවෝ සේරුවිල චෛත්‍ය සොයාගෙන නැඟෙනහිර ත්‍රිකුණාමලයට වැඩම කළහ. ඒ වනවිට උන්වහන්සේට වයස අවුරුදු විසිනවයකි. උන්වහන්සේ සේරුවිල මංගල මහා සෑය සොයා පැමිණෙනුයේ ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනාගත වාක්‍යය පාදක කොටගෙනය. ගාල්ල, දඹගස්ආරේ සිට මහ මුහුද හරහා බෝට්ටුවකින් පැමිණි සුමේධංකර හාමුදුරුවෝ ඇතුළු පිරිස ත්‍රිකුණාමල වරායෙන් ගොඩ බැස සේරු ‘විල’ සොයාගත්හ. දෙවනුව උන්වහන්සේ වරහසොණ්ඩි ගල සොයාගැනීමට උනන්දු වූහ. අතුරු මං මාවත්වල ඇවිදගෙන යනවිට උන්වහන්සේට මුස්ලිම් ජාතිකයෙක් මුණගැසුනාහ.

මේ කිට්ටුව චෛත්‍යයක් තියෙනවා දැකලා තියෙනව ද? උන්වහන්සේ මුස්ලිම් ජාතිකයාගෙන් විමසූහ.

‘චෛත්‍යයක් නම් දන්නෙ නෑ. අපි හරක් බඳින තැන වළක් නම් තියෙනවා. එතැනට නම් එක්කරගෙන යන්න පුළුවන්…’ මුස්ලිම් ජාතිකයා පෙරටු කරගත් සුමේධංකර හාමුදුරුවො ගිහි පිරිස සමග එම ස්ථානයට වැඩම කළහ. වළ අසලට පැමිණ අවට විපරම් කෙරූ උන්වහන්සේට මහ පස් ගොඩැල්ලක් ඇස ගැටුණහ. වෑයම සාර්ථකය. සේරුවිල මංගල මහා සෑය හමු විය. උන්වහන්සේ සතුටින් ඉපිළී ගියහ. ඒ වෙනකොට දවස කළුවර වෙමින් තිබිණි. ගෙයක්, දොරක් නැති හද්ද මූකලානේ පිරිස තනි වූහ. සෑය ඉදිරිපිට කෝන් ගස උඩ මැස්සක් බැඳ ඒ මත සුමේධංකර හාමුදුරුවො සැතපුණහ. ගිහි පිරිස එම ගස මුල රෑ පහන් කළහ. දවස තිස්සෙ ඇවිඳ ගිය තෙහෙට්ටුවට සුමේධංකර හාමුදුරුවො සැතපුණ හැටියේ නිදි දෙව්දුව තුරුළට ගියහ. එහෙත් මහා සෑය ගොඩනඟන සුන්දර සිහිනයක් දුටු උන්වහන්සේගේ නින්ද කෙටි වූහ. හිමිදිරි පාන්දර අවදි වූ උන්වහන්සේ ගිහි පින්වතුන් සමග එක්ව කිරිපිඬු දානය පිළියෙළ කර මළුව අසලට වැඩම කර චෛත්‍ය වහන්සේට පූජා කර පැමිණි පිරිස අටසිල් සමාදම් කොට ‘මේ චෛත්‍ය වහන්සේ නැවත ගොඩනඟනවාමයි…’ කියා අධිෂ්ඨාන කළහ. සේරුවිල පින්බිමේ මහ ගල්ලෙනක වැඩ සිටි උන්වහන්සේ සෑයේ අලුත්වැඩියා කටයුතු සැලසුම් කළහ. ප්‍රථමයෙන් සෑයේ අලුත්වැඩියා කටයුතු සඳහා එවකට පැවැති ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ලබාගැනීමට සූදානම් වූහ. තනි පුද්ගලයකුට අවසර ලබාදීමට නොහැකි බව පවසමින් ඉංග්‍රීසි අණ්ඩුකාරවරයා විසින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව සුමේධංකර හාමුදුරුවෝ සමිතියක් පිහිටුවීමට පිරිස එකතු කළහ. අවශ්‍ය ම පුද්ගලයා හමු විය. ඒ එවකට මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවයාගේ ප්‍රධාන භාෂා පරිවර්ථක ඩී. ඩී. වීරසිංහ මුදලිතුමා ය. සුමේධංකර හාමුදුරුවෝ විසින් වීරසිංහ මුදලිතුමා සභාපති කොට ‘චෛත්‍ය වර්ධන සමිතිය’ ආරම්භ කළහ. එහි අනුශාසක සුමේධංකර හාමුදුරුවෝ වූහ. ඒ සමග ඉංග්‍රීසි ආණ්ඩුව විසින් චෛත්‍ය වහන්සේ ඉදිකිරීමට අවසර ලබා දුන්නේය.

පෝය දවසෙ මහ රෑට ශබ්ද පූජා කරගෙන නොපෙනෙන පෙරහැරක් එන මංගල මහා සෑය
වරහසොණ්ඩි ගල් තලාව

සුමේධංකර හාමුදුරුවන්ගේ අනුශාසකත්වය යටතේ චෛත්‍ය වර්ධන සමිතිය මගින් 1924 වර්ෂයේ දී සෑය ගොඩනැඟීමේ වැඩ ආරම්භ කළේය. සුද්ධ පවිත්‍ර කරගෙන යනවිට සෑය මුදුනෙ විශාල ඇහැටුවක් තිබෙන අයුරු පෙනිණි. එම ස්ථානයට වැඩම කළ සුමේධංකර හාමුදුරුවෝ දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කොට ‘මේ ගසේ දෙවිවරු වැඩ සිටී නම් වෙන විමානයක් පහළ කරගන්න’ කියමින් ගස කපා ඉවත් කිරීමට උපදෙස් ලබාදුන්හ. දින තුනකට පසු සෑය ඉදිරිපිට කෝන් ගස අසලින් ඇහැටු පැළයක් මතු වී තිබිණි. සෑයේ අලුත්වැඩියා කටයුතු සමග ඇහැටුව ද වැඩිණි. එමෙන්ම සුමේධංකර හාමුදුරුවෝ විසින් සෑයේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියලේ ආධාර පත්‍ර ලක්‍ෂයක් මුද්‍රණය කළහ. සෑයේ වැඩ කටයුතු සඳහා සිමෙන්ති ආනයනය කර ඇත්තේ ඉන්දියා වෙනි. සිමෙන්ති කොට්ටයක් රුපියල් දෙකකි. එහෙත් ත්‍රිකුණාමල වරායේ සිට සේරුවිලට රැගෙන ඒමට එක සිමෙන්ති කොට්ටයකට කරත්ත කුලිය රුපියල් දෙකයි සත පනහක් වී ඇත. 1930 වර්ෂයේ මංගල මහා සෑයේ අලුත්වැඩියා කටයුතු අවසාන වනවිට සම්පූර්ණ වියදම හැටියට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් වියදම් වී තිබිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව ආරම්භ කළ මළුවේ වැඩ අවසාන කිරීමට වසර පනහක් ගතවීම ද මංගල මහා සෑයේ ඉතිහාස කතාවේ විශේෂ සිද්ධියකි. එමෙන්ම 1931 වර්ෂයේ විහාර දේවාලගම් පනත සම්මත කිරීමට මෙරට භික්‍ෂූන්වහන්සේ ලියාපදිංචි කරන අවස්ථාවේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටම වැඩ සිටි එකම භික්‍ෂූන් වහන්සේ සේරුවිල නායක හාමුදුරුවෝ පමණී. නැඟෙනහිර පළාතේ සිංහල ජනාවාස ඇති කිරීමේ නියමුවා ද අපේ සේරුවිල නායක හාමුදුරුවෝ ය. සේරුවිල මිනිසුන්ගේ සුදු හාමුදුරුවෝය. සිංහල පාසල් ආරම්භ කර, රෝහල්, පොලිසි ආරම්භ කළ මැතිවරණ කලාපයක් පිහිටුවමින් නැඟෙනහිර පළාතේ සිංහ නාද දුන් දඹගස්ආරේ සුමේධංකර මහානායක හාමුදුරුවෝ වසර අනූදෙකක් ආයු වළඳා 1984 වර්ෂයේ අගෝස්තු 13 වැනිදා මෙලොවින් සමුගෙන ගියහ.

මහානායක හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමග සේරුවිල විහාරයේ විහාරාධිපති ධුරයේ වැඩ භාරගත්තේ සේරුවිල සරණකිත්ති හාමුදුරුවෝය. උතුරු, නැඟෙනහිර කොටි ත්‍රස්තවාදය ආරම්භ වූයේ ද එම කලයේ ය. ගමත්, පන්සලත් දෙකම ආරක්‍ෂා කරගෙන ජීවිතය සුරක්‍ෂිත කරගැනීමට මහා කැපකිරීමක් සිදු කළ සේරුවිල සරණකිත්ති නායක හාමුදුරුවෝ 2016 වර්ෂයේ දී අපවත් වූහ. අනතුරුව සේරුවිල විහාරාධිපති ධූරයට පත් වූයේ මුංහේනේ මෙත්තාරාම නායක හාමුදුරුවෝය. වසර පහක් වැඩ සිටි උන්වහන්සේ 2021 වර්ෂයේ දී මෙලොවින් සමුගෙන ගියහ. මේ වෙනකොට සේරුවිල විහාරයේ විහාරාධිපති ධූරයේ වැඩ සිටිනුයේ අලුදෙණියේ සුබෝධි නායක හාමුදුරුවෝය. සේරුවිලට උන්වහන්සේ කරන සේවය වෙනත් කතාවකි. අදටත් නා රජවරු ආරක්‍ෂා කරන සේරුවිල මංගල මහා සෑයේ ආශ්චර්ය ගැන ප්‍රදේශවාසීන් කියන කතාවලට අපි මොහොතක් අවධායන යොමු කළෙමු.

මංගල මහා සෑයට පහර දීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන් අවස්ථා තුනක දී ආයුධ අතහැර හිස් ලූ ලූ අත දිව ගොස් ඇත්තේ විශාල නාගයින් චෛත්‍ය වහන්සේ වට කරගෙන සිටින අයුරු දැක බියෙන් තැතිගෙන බව ප්‍රදේශවාසීන්ට පසුව ආරංචි වී ඇත. එමෙන්ම යුද සමයේ ඇඳිරි වැටෙනකොට මුළු ගමේ ම සිංහල, මුස්ලිම් මිනිස්සු සේරුවිල පන්සලට එකතු වූ බව ද ගම්මු අපට කීහ. අවට සියලුම සිංහල ගම්වලට කොටි ත්‍රස්තවාදීන් කඩා වැදී පවුල් පිටින් මරා දමා ගිය ද සේරුවිල ගමේ කිසිම කෙනෙක් ට හානියක් කිරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීන් පවසා සිටියේ මංගල මහා සෑය දෙසට නමස්කාර කරමිනි. දෙවිවරු පැමිණ සෑය වන්දනා කරන අයුරු බොහෝ දිනවල දැක ඇති බව දඹගස්ආරේ සුමේධංකර මහානායක හිමි විසින් රචිත ‘සේරුවිල මංගල චෙත්‍යය’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. එමෙන්ම සෑම පෝය දිනකම රාත්‍රී 12 ට පමණ බෙර, දවුල්, තම්මැට්ටම, හොරණෑ ආදී තූර්ය ඝෝෂ පවත්වමින් සාධුකාර දෙමින්, මුළු පෙදෙසම එක සුවඳ පිඬක් මෙන් සුවඳවත් කරමින් පෙරහැර පවත්වනු ඇසෙන බවද ‘සේරුවිල මංගල චෛත්‍යය’ ග්‍රන්ථයේ සඳහන් වී තිබේ. සේරුවිල හාස්කම් ගැන කතා කර අවසාන කළ නොහැකි තරම්ය. එහෙත් එම සියලු කතා පැවැසීමට අපට ඉඩක් නැත.

මංගල මහා සෑය ඉදිරිපිට ඇහැටු ගස මුල හිඳගෙන දැන් බොහෝ වෙලාය. සලපතල මළුව හිරු රැසින් නැහැවී තිබේ. සෑය වටා එක පෙළට තැන්පත් කර තිබූ මල් පෝච්චිවල නෙළුම්, මානෙල්, විවිධ මල් පොකුරුවල කාන්තිය හිරු රැසින් බැබළිණි. මල් සුවඳින් මෙන්ම දැල් වූ හඳුන්කූරුවල සුගන්ධයෙන් හාත්පස සුවඳවත් කෙරිණි. තරුණ භික්‍ෂූන්වහන්සේ චෛත්‍ය වන්දනා කරන මිහිරි සජ්ඣායානාව දෙසවනේ රැඳෙනවිට ඒ මහා පින්බිමෙන් පිටත් වීමට සිත් නොදේ. එහෙත් මංගල සෑය වටා දැකගැනීමට ඓතිහාසික බෞද්ධ පුරාවස්තු බොහෝය. කාවන්තිස්ස රජු වැඩම කරවාගෙන පැමිණි ලලාට ධාතූන් වහන්සේ තාවකාලිකව වැඩ සිටි වහරසොණ්ඩි ගල් තලාව, චෛත්‍ය වහන්සේ ඉදිකරන තෙක් සුමේධංකර මහානායක හිමි වැඩසිටි ගල්ලෙන ඇතුළු ඉමක්, කොණක් නොපෙනෙන ඒ මහා පුණ්‍ය භූමිය තුළ තැන, තැන විසිරි තිබෙන බෞද්ධ නටබුන් බොහෝය. ඇස ගැටෙන සෑම තැනම පුරාවස්තුය. දැක බලාගෙන අවසාන කළ නොහැකි තරම්ය. එම බෞද්ධ උරුමය දැක බුද්ධාලම්භන ප්‍රීතියෙන් විකසිතව තිබූ සිත සේරු ‘විල’ ගොඩ වී ඇති අයුරු දකිනවිට නම් හඬා වැළපුණි.

කාවන්තිස්ස රජු ලලාට ධාතූන් වහන්සේ සේරුවිලට වඩම්මවා ගෙන පැමිණෙනවිට සේරු ‘විල’ අක්කර දොළොස්දාහක වපසරියකින් යුක්ත විශාල විලක් බව ඉතිහාසයේ සඳහන්ය. විවිධ විජාතික ආක්‍රමණවලින් පසුව දඹගස්ආරේ සුමේධංකර මහානායක හාමුදුරුවෝ සේරුවිල චෛත්‍ය වහන්සේ සොයාගෙන වඩිනවිට සේරු ‘විල’ අක්කර හාරදාහසකට අඩු වී ඇති බව ද වාර්තා වේ. දැන් සේරු ‘විල’ අක්කර දහකටත් අඩු භූමි භාගයකට සීමා කර ඇත්තේ ප්‍රදේශයේ භූමි කොල්ලකරුවන් විසිනි. මේ වනවිටත් අන්‍ය ආගමික භූමි කොල්ලකරුවෝ සේරු ‘විල’ ගොඩ කරමින් භූමිය කොල්ලකමින් සිටිති.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ පිහිටි මංගල මහා සෑයේ ඉතිහාසය ගොඩනැඟී ඇත්තේ සේරු ‘විල’ සමගය. සේරු ‘විල’ නොමැති ඉතිහාස කතාවක් සේරුවිල ගමට නැත. එහෙයින් සේරු ‘විල’ සංරක්‍ෂණය කරගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මෙරට සියලු බෞද්ධයන්ගේ ඒකායන වගකීමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment