පෝලිම්වල සිටින ජනතාවට අස්වැසිල්ලක් දීම සඳහා රටට වැඩදායක යෝජනා 10ක් ජනපතිට අගමැතිට ඉදිරිපත් කරනවා – උදය ගම්මන්පිල

144

පෝලිම් වල සිටින ජනතාවට අස්වැසිල්ලක් වීම සඳහා පසුගිය ජනවාරි මාසයේ දී ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළත් ක්‍රියාත්මක නොකළ කෙටිකාලීන යෝජනා 10 ක් ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (15දා) පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

නව අගමැති පත් වී දැන් මාසයකට වැඩියි. නමුත් තවමත් ආණ්ඩුවට ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මේ අර්බුදයේ හිර වූයේ දරාගත නොහැකි තරමට ණය ගැනීම නිසා නම් ණය ගැනීම තවදුරටත් අර්බුදය තීව්‍ර කිරීමක් මිස අර්බුදයට විසදුමක් නොවේ. කෙටි කාලීනව අර්බුදයෙන් ගොඩ යාමට ණය ගැනීමට සිදු වුවත් දිගුකාලීනව මෙම අර්බුදයෙන් ගොඩ යන්නේ කොහොමද කියලා රටට කීම මෙම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව පමණක් නොවේ, ස්වාධීන පක්ෂ එකමුතුව හැර විපක්ෂයේ වෙනත් කිසිම පක්ෂයක් අර්බූදයෙන් මිදෙන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මාර්තු 2 ඉදිරිපත් කළ

“මුළු රටම හරි මගට” වැඩපිළිවෙළ විතරයි අදටත් තිබෙන්නේ.

ජනතාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් අයුරින් ලබා දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිනම් තිබෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනෑ. ඒ සඳහා කරන යෝජනා බොහෝ විට දිගුකාලීනයි. නමුත් දවස් ගණන් පෝලිමේ ඉන්න ජනතාවට එයින් අස්වැසිල්ලක් වෙන්නේ නෑ. පසුගිය ජනවාරි මාසයේ අපි ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් අවාසනාවට ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය කටයුතු නොකළ ඒ යෝජනා අතුරින් කෙටිකාලීන අර්බුදයට විසඳුම් ගෙනෙන යෝජනා කිහිපක් තිබෙනවා. ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් ඉන්ධන අර්බුදය කලමනාකරණය කිරීම සඳහා එම යෝජනා වහාම ක්‍රියාත්මක කරන්න කියන යෝජනාව ලිඛිතව යැවීමට බලාපොරොත්තු වෙනවා.

1) එංජිමේ ධාරිතාව සීසී 2,000ට වැඩි සියලුම කාර් සහ ජීප් භාවිතය තාවකාලිකව තහනම් කළ යුතුයි. ලොක්කන්ට රිදෙයි. කරන්න දෙයක් නෑ. ඔබට පිරවුම්හල්වලින් තෙල් ගන්න රුපියල් තිබුණාට රටට ඒවා ආනයනය කරන්න ඩොලර් නෑ. සමහර සුපිරි වාහන තෙල් ලීටරයකට දුවන්නේ කිලෝ මීටර් 4යි 5යි. නමුත් ත්‍රිරෝද රථයක් කිලෝ මීටර් 25ක් 30ක් දුවනවා. වෙනත් වචනවලින් කිව්වොත් සැප වාහනයක් දවසකට පුච්චන තෙල්වලින් ත්‍රිරෝද රථයක් සතියක් දුවන්න පුළුවන්. මා භාවිතා කරන්නේ එංජිම් ධාරිතාව සීසී 1,500 කාර් එකක් බවත් සිහිපත් කරන්න ඕනෑ.

2) තෙල් නැති නිසා පසුගිය සඳුදා ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් කළා. දැන් සෑම සතියකම සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් කරනවාලු. වැඩියෙන් වැඩ කිරීමෙන් මිස වැඩ නොකර සිටීමෙන් මේ අර්බූදයෙන් ගොඩ එන්න බෑ. දැන් සතියට වැඩ කරන්නේ පැය 8 ගණනේ දින 5යි. ඒ කියන්නේ පැය 40යි. දින 4ක් පැය 10 ගණනේ වැඩ කිරීමෙන් ඒ පැය ගණනම ආවරණය කරන්න පුළුවන්. එහෙම නැතිනම් චක්‍රලේඛ වෙනස් කරලා සියලුම ලිපි පරිගණක ගත කරලා සතියට දවස් තුනක් කාර්යාලයට පැමිණත් ඉතිරි දවස් දෙක ගෙදර සිට අන්තර්ජාලය හරහාත් වැඩ කිරීමට පුළුවන්.

3) මහජනතාව රජයේ කාර්යාල වෙත යනවා වෙනුවට සිය ලිපි අයදුම්පත් ඊමේල් සහ වට්ස්ඇප් වැනි නව තාක්ෂණය ඔස්සේ යැවීමේ පහසුකම් ඇති කිරීම

4) රජයේ සේවකයින්ට හැකිතාක් දුරට තමන්ගේ නිවසට ආසන්නයේම ඇති රාජකාරි ස්ථානවලට මාරුවීම් ලබා දීම හරහා ප්‍රවාහන අවශ්‍යතා අවම කිරීම.

5) පාසල් අධ්‍යාපනය සතියට දවස් තුනක් පාසලට පැමිණත් ඉතිරි දවස් දෙක අන්තර්ජාලය හරහාත් අධ්‍යාපන කටයුතු කිරීමෙන් පාසල් දරුවන් ප්‍රවාහනයට යන ඉන්ධන 40%කින් අඩු කරන්න පුළුවන්.

6) ඉන්ධන නොමැති නිසා පාසලට පැමිණීමට නොහැකි වන දරුවන්ට ද එදින පාඩමට සූම් තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ විය හැකි අයුරින් අධ්‍යාපන කටයුතු දෙමුහුන් නැතිනම් හයිබි්‍රඩ් කිරීම

7) ආණ්ඩුවේ වගේම පෞද්ගලික අංශයේත් සියලුම  රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ කිරීමෙන් ඉන්ධන පමණක් නොවේ මගට නාස්ති වන කාලයත් ඉතිරි කර ගන්න පුළුවන්.

8) ලෝකයේ බොහෝ රටවල තිබෙන නම්‍යශීලි රාජකාරි වෙලාවන් හඳුන්වා දීමෙන් වාහන තදබදය අඩු කර ඒ හේතුවෙන් සිදුවන ඉන්ධන නාස්තිය අඩු කරන්න පුළුවන්. ඒ අනුව නිදසුනක් ලෙස උදේ 10 සිට සවස 3 දක්වා පැය 5 අනිවාර්රයෙන් හැමෝම කාර්යාලයේ ඉන්න ඕනෑ. ඉතිරි පැය තුන තමන්ට පහසු ආකාරයට කලින් පැමිණ කලින් යන්නත් පුළුවන්. ප්‍රමාද වී පැමිණ ප්‍රමාද වී යන්නත් පුළුවන්. සියලුම කාර්යාල සේවකයින් එකවර පැමිණ එකවර යෑමෙන් ඇතිවෙන දැවැන්ත වාහන තදබදය මෙයින් මග හරින්න පුළුවන්. වාහන තදබදය නිසා නාස්ති වන ඉන්ධන ප්‍රමාණය 10%ක් පමණ වෙනවා.

9) කෙටි දුර ධාවනය සඳහා අසුන් නැති බස් රථ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හරහා එක බස් රථයක ගමන් කරන මගින් ගණන වැඩි කර ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න පුළුවන්.

10) කෙටි දුර සඳහා බයිසිකල් භාවිතා කිරීම ජනප්‍රිය කිරීමට ප්‍රචාරාත්මක වැඩසටහනක් දියත් කිරීම

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන් සහභාගී වූහ.

එරික් ගාමිණි ජිනප්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment