පෝෂණමල්ල සහ ආර්ථික ‘සෝබරය’

809

ජනාධිපතිතුමා විසින් පෙරේදා අතුරු අයවැයක් ඉදිරිපත් කරන ලද්දේ දැනට තිබෙන උග්‍ර ආර්ථික අර්බුදයේ සමාජ කම්පනය යම් ප්‍රමාණයකින් හෝ අඩුකරනු පිණිස බව අපගේ වැටහීමය. මෙය සමාන වන්නේ වාහනවල සවිකර ඇති shock absorber නමැති කොටසටය. ගරාජ් බාසුන්නැහේ විසින් “සොකැට් සෝබර්” ලෙස හඳුන්වන මෙම උපාංගය විසින් වළ ගොඩැලි සහිත රළු බොරළු පොළව මත වාහනය ගමන් කිරීමේදී හටගන්නා දරුණු කම්පනය උරාගනු ලැබේ. ඒ නිසා වාහනය මුහුණ දෙන කම්පනයෙන් 10% ට වඩා මගියාගේ පස්සා පැත්තට දැනෙන්නේ නැත. සාමාන්‍ය සම්මතයට අනුව ෂොක් ඇබ්සෝබර් සවිකළ සැණින් වාහනය කම්පනය වීම නවතී. එහෙත් පෙරේදා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් සිදුවිය හැකි ආර්ථික කම්පනය අවම වීම දැකබලා ගැනීම සඳහා තව මාස කිහිපයක් ගතවනවා ඇත. ඒ වනවිට අපගේ පස්සා පැත්ත හොඳටම ඩැමේජ් වීමට ඉඩ තිබේ. එහෙත් ඉන්පසු සහනදායී තත්ත්වයක් ඇතිවේ නම් අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ දරාගෙන සිටි ආර්ථික පීඩාව තවත් ටික කලක් හෝ තවදුරටත් දරාගෙන සිටීමට මේ රටේ සිටින අහිංසක ජනයා සූදානම් ය.

 එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ අලුත්ම විගණනයට අනුව මේ රටේ ජූලි මාසයේ උද්ධමනය 86.7% කි. ඊට පෙර මාසයේ මෙම ගණන 58.9% ක් විය. අගෝස්තු මාසයේදී මෙම ගණන තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති අතර සැප්තැම්බර් මාසයේ සිට ආපසු පහළට බැසීමට පටන් ගන්නා බව මහ බැංකුව පෙන්වා දී තිබේ. ඒ කියන්නේ මේ රටේ උද්ධමනය අගෝස්තු මාසයේදී මස්තකප්‍රාප්ත වූ බවය. එම මස්තකප්‍රාප්ත අවස්ථාවට හසුවී පණ පිටින් ඉතුරු වූ සියලු දෙනාටම හොඳ ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැක. එහෙත් ඉතා ඉක්මනින් විසඳුම් ලබාදිය යුතු ප්‍රශ්න කිහිපයකට ක්ෂණිකව උත්තර සැපයීමට ආණ්ඩුවට හැකියාව තිබේද යන්න ගැටලුවකි. මෙයින් ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ ළමා මන්දපෝෂණයයි. කෙට්ටු ළමයා සහ මහත ළමයා පිළිබඳ සංකල්පය ලෙස හඳුන්වන ළමා මන්දපෝෂණයට මුලදීම උත්තර නොලැබුණොත් ප්‍රතිපලය නිකම් අල නොව කුණු අල ගොඩක් බවට පත්වන්නේ ය. ළමයාට නිසි කාලයේදී නිසි පෝෂණය ලැබිය යුතුය. අදාළ අවස්ථාවේදී අවශ්‍ය තරම් කැල්සියම් සහ ඛනිජ ලවණ නොලැබෙන විට ළමයාගේ ශරීර කූඩුව හෙවත් අස්ථි පංජරය නිසි ලෙස නොවැඩේ. ළමයාගේ ඇටසැකිල්ල දුර්වල වූ විට අනාගතයේදී ප්‍රශ්න හටගනී. මෙය ළමා මන්දපෝෂණය විසින් ජනිත කරනු ලබන වැදගත්ම සහ බරපතළම ප්‍රශ්නයකි. නිරෝගී දරුවකු බිහිකිරීම සඳහා මව ද නිරෝගීමත් විය යුතුය. තුන්වන ලෝකයේ රටක්ව සිටි අවධියේදී ශක්තිමත් තරුණ මව්වරුන් තැනීම සඳහා ආණ්ඩුව විසින් වැඩපිළිවෙළක් සකස් කරන ලදි. එම වැඩපිළිවෙළ යටතේ ගර්භණී සමයේ සිටින මාතාවන්ට ත්‍රිපෝෂ ද පෝෂණ මලු ද විටින් විට ලබාදෙන ලදි. පසුගිය කාලයේදී මේ රටේ හටගත් ධාන්‍ය හිඟය නිසා නොමිලේ ත්‍රිපෝෂ බෙදීම සෑහෙන දුරකට කඩාකප්පල් විය. ඒ අතර පෝෂණ මලු බෙදීමේ ක්‍රියාවලිය ද කඩාකප්පල් වී ඇත. දැනට අවුරුදු කිහිපයක පටන් ගර්භණී මාතාවන්ට රුපියල් 20000 පෝෂණ මල්ල ලෙස හැඳින්වෙන පෝෂණ පැකේජයක් ආණ්ඩුව මගින් නොමිලේ ලබාදෙන ලදී. මේ පෝෂණ මල්ල මගින් ගර්භණී කාලයෙන් කොටසක් සහ දරු ප්‍රසූතියෙන් පසු ගතවන කාලයෙන් කොටසක් ආවරණය වන පරිදි මාසිකව රුපියල් 2000 වටිනාකමට පුරා මාස දහයක් තිස්සේ පෝෂ්‍ය පදාර්ථ සහිත වියළි ආහාර නොමිලේ මව්වරුන් වෙත ලබාදෙන ලදි. මෙය හඳුන්වාදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ සෑම මාතාවකගේම හිමිකමක් ලෙසය. එහෙත් නව ජනාධිපතිතුමා රට භාර ගැනීමට මාස දෙකකට පෙර මෙම පැකේජය එවකට තිබූ පොහොට්ටු ආණ්ඩුව විසින් අත්හිටුවන ලදී. ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සහන මල්ල මේ රටේ දරුවන්ට ලබා දී මන්දපෝෂණයෙන් තොර ළමා පරපුරක් බිහි කිරීමට දායක වන ලෙසය. ඉකුත් ආණ්ඩුවල පැවැති ආර්ථික කළමනාකරණයේ දෝෂ, හොරකම්, වංචා යනාදිය හේතුවෙන් මේ රට කඩාවැටුණු බව අපි පිළිගනිමු. අප නන්නත්තාර වීමට ප්‍රමුඛ හේතුව කොවිඩ් වසංගතය පමණක්ම නොවේ. කොවිඩ් වසංගතය අපට වඩා දරුණුවට හැදුණු රටවල් ද මේ වන විට ගොඩවිත් ඇත. උදාහරණයක් ලෙස බංගලාදේශය සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ ගෙන බලමු. මේ ප්‍රදේශවල ජීවන මට්ටම සහ quality of life  (ජීවන තත්ත්වය) යන දෙකම ලංකාවට වඩා පහත්ය. අපට වැඩි වසංගත තත්ත්වයක් ඒ රටවල තිබිණ. එහෙත් ඒ රටවල ජනයා සියලු දුෂ්කරතා මැඬගෙන යළි  ගොඩවිත් සිටිති. එමතුද නොව හදිසි බත් පාර්සලයක් හෝ පාන් රාත්තලක් ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ද උපකාර කරති. ඒ රටවලට වඩා උසස් ජීවන මට්ටමක් සහිත අපේ රට අද සිටින්නේ ඒ රටවලින් යැපෙන සිඟන තත්ත්වයකය. මේ රට හැදීමට නම් දැඩි ආර්ථික සංයමයක් රට තුළ තිබිය යුතු බව අපගේ වැටහීම වේ. ඒ ආර්ථික සංයමයේ විවිධ අවස්ථා ජනාධිපතිතුමාගේ අයවැය කතාව මගින් ප්‍රදර්ශනය කරනු ලැබ ඇත. මේ කතාව ප්‍රදර්ශන භාණ්ඩයක් පමණක්ම නොවී ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට පත්වනු දැක්ම අපගේ අපේක්ෂාවය. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව ද එයම බව නිසැකය.

advertistmentadvertistment
advertistmentadvertistment