පෝෂ්‍ය ගුණයෙන් අනූන කොල්ලූ

804

උද්භිද විද්‍යාත්මකව Macrotyloma uniflorum  යන නමින් හඳුන්වන කොල්ලූ  (Horse Gram)රනිල කුලයට අයත් පෝෂ්‍ය ගුණයෙන් අනූන බෝගයකි. මෙම බෝගයෙහි ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට සහ ඛණිජ ලවණ වැඩි ප‍්‍රමාණයක් අඩංගු වන අතර පුද්ගලයෙකුට ප‍්‍රමාණවත් පෝෂ්‍ය අගයක් සැපයීමේ හැකියාවක් එයට පවතී. කොල්ලූ පරිභෝජනය අඩු වීමේ ප‍්‍රධාන සාධක වනුයේ පිසීමේ දී ඇති වන අපහසුතාව, එනම්, පිසීමට දීර්ඝ කාලයක් ගතවීම සහ කොල්ලූවල රසයට එතරම් රුචිකත්වයක් නොවීමය. කොල්ලූ බෝගයේ ඇතී නිර්පෝෂ්‍ය සාධක
 (Anti – Nutritional Factors) මෙම අමිහිරි රසය කෙරෙහි බලපාන අතර හොඳින් පිසීමට භාජන කිරීමෙන් එය දුරු කරගත හැක.

පෝෂ්‍ය ගුණයෙන් අනූන කොල්ලූ


පාරම්පරික ආයුර්වේද ක‍්‍රමයට අනුව, වකුගඩු ගල්, මුත‍්‍රා රෝග, උගුරේ ආසාදන, උණ රෝග නිවාරණය කිරීමට කොල්ලූවල ඇති විශේෂ ගුණාංග උපකාරී වන බව සඳහන් වේ. වර්තමාන ජන සමාජය අතර ද ආයුර්වේද ඖෂධයක් ලෙස තවමත් කොල්ලූ භාවිතයට ගැනේ.

පෝෂ්‍ය ගුණයෙන් අනූන කොල්ලූ

ශ‍්‍රී ලංකාවේ වැවෙන කොල්ලූ බෝගය ප‍්‍රධාන වශයෙන් ප‍්‍රභේද දෙකකට අයත් වන අතර මේවා  ANK Brown  හා ANK Black ලෙස නම් කර ඇත. බෝගය හඳුනා ගැනීමේ ප‍්‍රධාන ලක්ෂණය වනුයේ, බීජ පොත්තේ ඇතී කළු සහ දුඹුරු පැහැය යි. වර්තමානයේ කොල්ලූ බෝගය ප‍්‍රධාන වශයෙන් සත්ව ආහාරයක් ලෙස භාවිත කරනු ලබයි. මීට අමතරව ජනතාව අතර වෑංජනයක් ලෙස බත් සමඟ ආහාරයට ගනු ලැබේ. විශේෂයෙන් කොල්ලූ ආහාරයට ගැනීමේදී ඒවායේ ඇතී නිර්පෝෂක සාධකවලින් ඇතිවන අහිතකර බලපෑම අවම කරගනු පිණිස මේවා පූර්ව සැකසීමට (Bio- active compounds) භාජන කළ යුතු වේ. මේ සඳහා පෙඟවීම, තැම්බීම හා ප‍්‍රරෝහණය වැනි ක‍්‍රියාවලීන් හට ලක් කෙරේ.

 පර්යේෂණ වාර්තා වලට අනුව, කොල්ලූවල ප්‍රෝටීන 17.9 – 25.3 %, කාබෝහයිඞ්රේට් 51.9 – 60.9%, මේදය 0.58-2.06 % අඩංගු ය. එමෙන් ම මෙම බෝගයේ ජීව සක‍්‍රීය සංයෝග (enzyme inhibitors) රැුසක් අඩංගු වේ. මෙම ජීව සක‍්‍රීය කාණ්ඩ මගින් සමහරකට රෝග නිවාරණය කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත. රෝග නිවාරණය කිරීමේ දායකත්වය සඳහා බීජවල ඇති රසායනික කාණ්ඩ ; පොලිෆීනොල, තන්තු, ජීර්ණය නොවන තන්තු, එන්සසිම, එන්සසීම ක‍්‍රියාකාරිත්වය වලක්වන කාණ්ඩ (Non Communicable Diseases) ආදිය හඳුන්වා දිය හැක.

 ලෝකයේ දිනෙන් දින වැඩි වන බෝ නොවන රෝග (Non Communicable Diseases) තත්ත්වයට පිළියමක් ලෙස සෞඛ්‍යාරක්ෂිත ආහාර කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. මේවා අතර තන්තු සහිත ආහාර, අඩු සීනි ආහාර, අඩු තෙල් ආහාර, අඩු කැලරි ආහාර කෙරෙහි වැඩි ඉල්ලූමක් ඇත. මෙම ආහාර මගින් ශරීරයේ රුධිර පීඩනය, රුධිර සීනි, හෘද රෝග හා, තරබාරුකම පාලනයටත් සහ දත් ආරක්ෂාවටත් උදව් වේ.

පෝෂ්‍ය ගුණයෙන් අනූන කොල්ලූ

කොල්ලූ, පරිභෝජනයෙන් අඩු, උසස් පෝෂ්‍ය ගුණාංගවලින් යුක්ත බෝගයක් වන අතර එහි සංයුතිය හා ක‍්‍රියාකාරී කාණ්ඩ පිළිබඳ පර්යේෂණයක් අගුණකොලපැලැස්ස රනිල බෝග පර්යේෂණ ආයතනය සමග ඒකාබද්ධව කාර්මික තාක්ෂණ ආයතනය මගින් සිදු කර ඇත. මෙම පර්යේෂණ මගින් ලබා ගත් පෝෂ්‍ය සංඝටක සහ ක‍්‍රියාකාරී කාණ්ඩ පිළිබඳ තොරතුරු මෙසේ ය.

 ඉහත දත්ත ගැන සලකා බැලීමේ දී කොල්ලූවල අඩංගු ප්‍රෝටීන, ඛණිජ ලවණ හා තන්තු ඉහළ අගයක් ගන්නා නිසා කොල්ලූවලින් සකසා ගන්නා ලද ආහරවල පෝෂ්‍ය ගුණය වැඩි අගයක් ගනී. මෙකී නිපැයුම් පෝෂණ ගැටලූවලට පිළියම් ලෙස ඉදිරිපත් කළ හැකි ය. මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් වනුයේ ආහාරයක් වශයෙන් කොල්ලූ සැකසීමේදී පූර්ව පිසීමකට භාජන කළ යුතු බව යි. කොල්ලූවල ඇති ප්‍රෝටීන සහ ඛණිජ ලවණ ප‍්‍රමාණ ඉහළ අගයක් ගන්නා නිසා මෙම කොල්ලූ ආශ‍්‍රිත ආහාර නිපැයුම් මන්දපෝෂණය සහ යකඩ ඌනතාවට පිළියමක් ලෙස භාවිත කළ හැක.

 මීට අමතරව කොල්ලූ බීජවල තන්තු, ප‍්‍රතිරෝධී පිෂ්ටය, අඩු ග්ල්යිසීමීක් දර්ශකය (GI) සහ පොලිෆීනොලික් සංඝටක අඩංගු වන නිසා මෙම බෝගය බෝ නොවන රෝග  (NCDs)  මැඩපැවැත්වීම සඳහා ද භාවිත කළ හැකිවේ. බෝ නොවන රෝග වලට උදාහරණ ලෙස දියවැඩියාව, හෘද රෝග, තරබාරුකම, පිළිකා, ආන්ත‍්‍රික රෝග නම් කළ හැක. ඒ වගේම කොල්ලූවල ඇති පයිටීක් ඇසිඞ්, පොලිෆීනොල සංයෝග, ශරීරයේ ප‍්‍රතිඔක්සිකාරක (anti-oxidant) ගුණ වැඩි කර ලෙඩරෝග නිවාරණය කිරීමට ඉවහල් වේ.

 කොල්ලූවල ඇති විශේෂ ගුණාංග සැලකිල්ලට ගෙන කාර්මික තාක්ෂණ ආයතනය කොල්ලූ ආශ‍්‍රිත නිපැයුම් රැසක් බිහි කර ඇත. මේවා අතර කොල්ලූ ආශ‍්‍රිත ක්ෂණික කැඳ, ග‍්‍රැනොලා බාර්, ක්ෂණික කොල්ලූ පිටි, කොල්ලූ බීම, ප්‍රෝටීන් වැඩි කොල්ලූ ආශ‍්‍රිත පිටිමය බීම හඳුන්වා දිය හැක. මෙම නිපැයුම් පෝෂණ ගුණයෙන් සහ ගුණාත්මක භාවයෙන් ඉහළය. මෙකී නිපැයුම් තාක්ෂණ අප ආයතනය මගින් දියුණු කර ඇති අතර ඒ පිළිබඳව උනන්දු වන ව්‍යවසායකයෙකුට අදාළ තාක්ෂණ පැවරීමට බලාපොරොත්තු වේ.

 ආචාර්ය තේජා හේරත්
 ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ
 ආහාර තාක්ෂණ අංශය
 කාර්මික තාක්ෂණ ආයතනය

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment