පෞද්ගලික අංශයේ ලක්‍ෂ 7 කට  රැකියා අහිමිවෙලා – වසන්ත සමරසිංහ

190

ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළක් සා.පෙළ විභාගයෙන් පසු අරඹනවා

රජයට නිසි ආර්ථික සැලැස්මක් නැති නිසා මේ වන විට පෞද්ගලික අංශයේ රැකියා ලක්‍ෂ 07 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය.

රටේ ආර්ථිකයට පෞද්ගලික අංශයේ නිරත සේවකයන්ගේ දායකත්වය සියයට 80 ක් පමණ බවත්, ඔවුන්ගේ රැකියා අහිමි වී ගියහොත් රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි තත්ත්වයටම වැටෙන බවත් සමරසිංහ මහතා දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ඊයේ (25 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

රටේ පෞද්ගලික අංශයේ සක්‍රීය සේවයේ යෙදෙන ලක්‍ෂ 55 කට වැඩි සේවක පිරිසක් සිටින බව හෙතෙම කීවේය. දැනටමත් එයින් මෑන් පවර් සේවකයන්ගේ රැකියා ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කිරීම නිසා තවත් සේවක පිරිසකගේ රැකියා ද ලක්‍ෂ 07 කට වැඩි පිරිසකට අහිමි වී ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය. පෞද්ගලික අංශයේ අවම වැටුප 16,500 ක් බවත් අතිකාල ඇතුළු සියලු දීමනා ලැබුණත් රුපියල් 30,000 කට වැඩි වැටුපක් බොහෝ සේවකයන්ට නොලැබෙන බවත් ඔහු කීය.

ගෑස්, විදුලිය, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යෑම වැනි කාරණා නිසා සංචාරක ක්‍ෂේත්‍රය ද අඩපණ වී ඇති බවත්, එය දිනෙන් දින කඩා වැටෙමින් පවතින බවත් සමරසිංහ මහතා කීය. මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 112 ක් වැනි මිලක පවතින බවත් එම මිලට බොරතෙල් ලබාගෙන රුපියල් 300 ක් වැනි මිලකට පෙට්‍රල් ලීටරයක් ලබාදීමේ හැකියාව පවතින බව ද ඒ මහතා කීය.

රටේ ජනතාවගේ ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් පවතිද්දී ආණ්ඩුව ඇමැතිවරුන් පත්කරමින් විහිළු සපයමින් සිටින බවත්, මේ සියලුම කාරණා මුල්කරගෙන මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නැවත වෘත්තීය සමිති එකතු වී ආණ්ඩුව ගෙදර යැවීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment