පෞද්ගලික අංශයේ හැටේ විශ‍්‍රාමය බලාත්මකයි – කම්කරු කොමසාරිස් ජනරාල්

527

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 කිරීම පෙරේදා (17 දා) සිට නීතියක් ලෙස ක‍්‍රියාත්මක බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

විශ‍්‍රාම වයස 60 දක්වා දීර්ඝ කිරීම සඳහා වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ජාතික කම්කරු උපදේශක සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡුා කර අනුමැතිය සහිතව කම්කරු ආඥා පනත් සංශෝධනය කර කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන තිබෙන බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබී පෙරේදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කිරීමෙන් පසු එය නීතියක් බවට පත්ව තිබෙන බවත් ඒ අනුව නොවැම්බර් 18 වැනිදාට අවුරුදු 55 ක් පිරෙන සේවකයාට පවා තවත් වසර දෙකක් (සේවකයාගේ කැමැත්ත තිබේ නම්) පෙර අයුරින්ම සේවයේ යෙදීමට නීතියෙන් බලයක් ලැබෙන බවත් ප‍්‍රභාත් මහතා කීය.

විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 කිරීම නීතියක් බවට පත්වූ දින (නොවැම්බර් 18 දා) ට වයස අවුරුදු 52 ක් වන සේවකයයා අවුරුදු 59 දක්වාද වයස අවුරුදු 53 සහ 54 සේවකයන් 58 දක්වාද නොවැම්බර් 18 වනවිට අවුරුදු 55 ක් වූ සේවකයාට තවත් අවුරුදු දෙකක් ද සේවය කිරීමට නීතිමය හැකියාව හිමිවන බව ද ඒ මහතා කිය. අවුරුදු 51 ක් හෝ ඊට අඩු අයගේ විශ‍්‍රාම වයස අවුරුදු 60 වන බව ද ඔහු කීය.

යම් සේවායෝජකයෙක් මෙම නීතිය කඩකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කළ හැකි බව ද අසාධාරණ ලෙස සේවය අවසන් කර ඇති බවට අනාවරණය වුවහොත් සේවා යෝජකයාට එරෙහිව රුපියල් 50,000 ක දඩයක් මාස 06 ක සිර දඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට නීතියෙන් ඉඩදී ඇතැයි ද ප‍්‍රභාත් මහතා පැවසීය.

පෞද්ගලික අංශයේ මාසික විශ‍්‍රාම වැටුප වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන බවට පසුගිය අයවැය මගින්ද, සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින්ද, වෘත්තීය සමිති, හාම්පුතුන්, කම්කරු උපදේශක සභාව මගින්ද දැනුවත් කර තිබෙන නිසා මේ පිළිබඳව අලූතෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු පැවසීය.

 විශ‍්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ නීතිය ක‍්‍රියාත්මක වුවද වයස අවුරුදු 55 වන පිරිමි පුද්ගලයන්ට, වයස අවුරුදු 50 ක් වන කාන්තාවන්ට අවුරුදු 60 දක්වා නොසිට සේවය අවසන් කර තමන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ලබා ගැනීමටද නව පනත මගින් ඉඩ ලබාදී තිබේ.

 වයස අවුරුදු 55 ක්වූ පසු යම් සේවකයකු සිය කැමැත්තට හෝ සාධාරණ හේතුවලට අමතරව වෛi හේතූන් මත විශ‍්‍රාම ගන්වන්නේ නම් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර රජයේ අනුමත වෛi මණ්ඩලයක් මගින් තවදුරටත් සේවය කිරීමට යෝග්‍ය නොවන බවට සහතික කරන්නේ නම් එම සේවකයා විශ‍්‍රාම ගැන්විය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් 95,000 ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින බව ද ඒ මහතා කීය. පෞද්ගලික අංශයේ ලක්ෂ 50 කට වැඩි සේවකයන් පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ 30 කට වැඩි පිරිසක් සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල්වල ගෙවීම් සිදුකරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment