පෞද්ගලික අරමුණු ඉටුකර ගත නොහැකිව සමහරු අමනාප වෙලා… ඒත් බුද්ධිමත් ජනතාව මට විශ්වාසයි

280

කිහිපදෙනකු සතුටු කිරීමට ප‍්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ…
 
 

කිහිපදෙනකු සතුටු කිරීම සඳහා තමාගේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම  ‘සෞභාග්‍යයේ දැක්ම’ කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ  (25 දා* ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේය.

පෞද්ගලික අරමුණු ඉටුකර ගත නොහැකිව සමහරු අමනාප වෙලා... ඒත් බුද්ධිමත් ජනතාව මට විශ්වාසයි

තමා බලයට පැමිණි පසු සමහරදෙනකු තම පෞද්ගලික ඉල්ලීම ඉටු නොවුණාය කියා රජය සමග අමනාපවී සිටින බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය අසාර්ථක යැයි මතයක් ජනගත කිරීමට උත්සාහ දරන බවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.
 
 එදා මෙන්ම අදත් රටට ජනතාවට නායකත්වය ලබාදීමට සූදානම් බවත් මේ මොහොතේ තමා මත පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරන බවත් රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම භාර ගැනීමට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම තමන්ටත් රජයටත් අදාළ ඉලක්ක හා අරමුණු ඉටුකර ගැනීමට සහයෝගය දෙනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී කීවේය.
 
 කොරෝනා වෛරස් ප‍්‍රභේද ගණනාවක් රට තුළට ඇතුළුවී තිබෙන තත්ත්වයක් හමුවේ මින් පෙරට වඩා අවදානම් තත්ත්වයක් උදාවී තිබෙන බවත් එම තත්ත්වයට මුහුණ දීම සඳහා රජයට විටින් විට රට වසා දැමීමට සිදුවූ බවත් ජාතිය අමතමින් ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම තීන්දුවේ අතුරු ප‍්‍රතිඵල අප සෑම දෙනාම තේරුම් ගත යුතු බව ද අවධාරණය කළේය.
 
 කොරෝනාවලින් පීඩා විඳි දියුණු රටවල් අවදානම පාලනය කරගනු ලැබුවේ එන්නත්කරණය නිසා බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අනුව යමින් ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් ලබාගැනීමට පසුගිය කාලයේදී තමා විශේෂ උනන්දුවකින් කටයුතු කළ බවද මෙහිදී සඳහන් කළේය.
 
 කොරෝනා තත්ත්වය මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය කරන එන්නත් ප‍්‍රමාණය සෑම මසකම විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මිලියන 13 ක ජනතාවට එන්නත්කරණය කිරීමට හැකියාව පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
 අද මේ රටේ ජනතාවට රටේ ඒකීයභාවය පිළිබඳව කිසිදු බියක් නැති බවද රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා ජාතිය හමුවේ ඊයේ (25 දා* අවධාරණය කළේය.

අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම කොරෝනාව බරපතළ ප‍්‍රශ්නයක් වෙලා… එන්නත ගෙන්වා ගැනීමට  මා පෞද්ගලිකවම  රාජ්‍ය නායකයන්ට කතා කළා
 
 අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතළම ප‍්‍රශ්නය කොවිඞ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා.
 
 මුල් කාලයේ බරපතළ ලෙස කොරෝනාවලින් පීඩා විඳි, දියුණු රටවල්, මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත්කරණය කළ නිසයි. එන්නත නිපදවන සමහර රටවලට පහසුවෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව තිබුණත්, මේ වන තුරු කිසිදු එන්නතක් තම ජනතාවට දීමට බැරි වූ රටවලූත් තිබෙනවා.
 
 ශී‍්‍ර ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මා විශේෂ උනන්දුවක් ගත්තා. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මා පෞද්ගලිකව කතා කළා. ඒ වගේම ලිපි මඟින් ඉල්ලීම් කළා. රුසියාව හා අනිකුත් රාජ්‍ය නායකයන්ට මා පෞද්ගලිකවම ලිපි යැව්වා. අපේ විදේශ අමාත්‍යාංශය හරහා විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමග සාකච්ඡුා කළා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමග සම්බන්ධීකරණය කළා. මේ සියලූ උත්සාහයන් දැරුවේ, මට අපේ රටේ සියලූම ජනතාව එන්නත්කරණය කිරීමට අවශ්‍ය වූ නිසයි.
 
 මේ උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප‍්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපි භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් පමණයි. මේ වනවිට ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් දොළොස් ලක්ෂ හැට හතර දාහක්, සයිනොෆාම් එන්නත් තිස් එක් ලක්ෂයක්, ස්පුට්නික් එන්නත් එක් ලක්ෂ තිස් දාහක් වශයෙන් මුළු එන්නත් මාත‍්‍රා හතළිස් හතර ලක්ෂ අනූ හතර දාහක් අපිට ලැබී තිබෙනවා. දැනට රටේ සෑම පළාතකම එන්නත්කරණය සාර්ථකව සිදුවෙමින් පවතිනවා.
 
 සමස්ත ජනගහනයෙන් මිලියන 03කට දැනටමත් එන්නත් ලබාදී අවසන්. ජුලි මස සයිනොෆාම් එන්නත් මාත‍්‍රා මිලියන 4 කුත්, සයිනොවැක් මාත‍්‍රා මිලියන 2.5 කුත් ලැබීමට නියමිතයි. එසේම ස්පුට්නික් මාත‍්‍රා මිලියන 2 ක්ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව, අගෝස්තු මස සයිනොෆාම් මාත‍්‍රා මිලියන 5 කුත්, සයිනොවැක් මාත‍්‍රා මිලියන 2.5 කුත්, ස්පුට්නික් මාත‍්‍රා මිලියන 2 කුත් ලැබීමට නියමිතයි. සැප්තැම්බර් මස සයිනොෆාම් මිලියන 3 ක් ලබා ගැනීමෙන් මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන 13 ක ජනතාවක් එන්නත්කරණය කරන්නට පුළුවන්. ඒ අනුව, වයස අවුරුදු 30 ට වැඩි සියලූදෙනාම වාගේ අපට මේ කාලය තුළ එන්නත්කරණය කරන්න පුළුවන්. මෙය ඉතාමත් සතුටුදායක තත්ත්වයක්.
 
 ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ ජනතාව මාව පත් කරගත්තේ රටේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගෙනයි. මොන තරම් බරපතළ ප‍්‍රශ්න මැද්දේ වුණත් ඒ බලාපොරොත්තු ඉටු කරන්න මා බැඳී සිටිනවා.
 
 කිසිදිනක අවසන් කළ නොහැකි යැයි කී එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ වගකීම අපි එදා බාරගත්තා වගේම රට මුහුණ දී තිබෙන ගැටලූවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍යය උදා කිරීමේ අරමුණ වෙනුවෙන් මා කැපවෙනවා.
 
 මා හැම විටම ක‍්‍රියාකරන්නේ සැලසුමකට අනුවයි. අනාගතය සැලසුම් කරන විට අපි අතීතය අමතක නොකළ යුතු අතර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතුයි.
 
 2019 ජනාධිපතිවරණයේ දී මට ඡුන්දය දුන් 69 ලක්ෂයකට අධික ජනතාවගේ ප‍්‍රධානතම ඉල්ලීම වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කොට රට ස්ථාවර කිරීමයි. එදා මේ රටේ ජනතාව ආගමික ව්‍යාප්තවාදය ගැන දැඩි බියකින් සිටියා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග අපේ රටේ ආරක්ෂක යාන්ත‍්‍රණය බොහෝ සෙයින් දුර්වල වී ඇති බව ජනතාවට වැටහී තිබුණා.
 
 පසුගිය රජය විසින් ගත් වැරදි තීන්දු රාශියක් නිසා අපේ බුද්ධි අංශ දුර්වල වුණා. අපේ ආරක්ෂක අංශ ජාත්‍යන්තරය හමුවේ අභියෝගයට හා අපකීර්තියට ලක් වුණා. අපේ සිද්ධස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබුවා. පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ප‍්‍රසිද්ධියේ විනාශ කරන තත්ත්වයක් ඇති වුණා. 2009 දී අපි අවසන් කළ ත‍්‍රස්තවාදය වඩාත් භයානක මුහුණුවරකින් යළි මතු වී තිබුණා.
 
 ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මේ වන විට විශාල ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වගකිවයුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත් කරනු ලැබූවා. විවිධ හිරිහැර නිසා කඩා වැටී තිබුණ ආරක්ෂක අංශවල මානසිකත්වය අපි යළි ශක්තිමත් කොට තිබෙනවා. එදා දුර්වලව තිබූ බුද්ධි අංශ යළි ප‍්‍රතිසංවිධානය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අමතක කොට තිබූ ආරක්ෂක සැලැස්මවල් අපි යළි ක‍්‍රියාත්මක කොට තිබෙනවා.
 
 රටට විශාල උවදුරක් බවට පත් වෙමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කළා. එක්වරම විසඳන්නට අපහසු වුණත් මත්ද්‍රව්‍ය උවදුරත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා. මේ උවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් අපි ක‍්‍රියාත්මක කරනවා.
 
 අපේකම, අපේ සංස්කෘතිය, ජාතිකත්වය ගැන කතා කිරීම අපහාසයට උපහාසයට ලක් වීමට හේතුවක් වූ යුගයක් අපි පසු කළා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. සෑම ජාතිකයකුටම, සෑම ආගමිකයකුටම, තම අනන්‍යතාවය රැුකගෙන අනෙකෙකුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් මේ ටික කාලයක් තුළදී අපි ගොඩ නැඟුවා.
 
 සංස්කෘතික ආගමික උරුමයන් ආරක්ෂා කළා
 
 පසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා.
 
 අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීයභාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා.
 
 මහින්ද රාජපක්ෂ ජනාධිපති රට භාරදෙනවිට ආසියාවේ ආර්ථික වර්ධන වේගයෙන්
 
 අප දෙවැනි වූවේ චීනයට පමණයි
 
 අපේ තවත් ප‍්‍රධානතම අභියෝගයක් වුණේ බිඳ වැටී තිබුණ ආර්ථිකය යළි ගොඩනැංවීමයි. ඒ සඳහා අපි ඉතා හොඳ සැලැස්මක් ඉදිරිපත් කළා. පසුගිය වසර 1 1/2 ක වැනි කාලය තුළ, අප මුහුණ දුන් මූලික අභියෝගත්, ඒවාට අප මුහුණ දුන් ආකාරයත් ගැන ජනතාව දැනුවත් විය යුතුයි.
 
 2015 දී මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවකට රට භාරදෙන විට අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබුණා. 7% ට ආසන්න ආර්ථික වර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වුණේ චීනයට විතරයි. විදේශ ආයෝජන ගලා එමින් තිබුණා, රුපියල ස්ථාවරව තිබුණා. විදේශ සංචිත ශක්තිමත්ව තිබුණා, ණය බර ලිහිල් වෙමින් තිබුණා, මුළු රටම වැඩබිමක් වී ශීඝ‍්‍ර සංවර්ධනයක් සිදු වෙමින් තිබුණා.
 
 පසුගිය රජය කාලේ ආර්ථික
 වේගය 2.1 දක්වා අඩුවුණා
 
 පසුගිය රජය බලයේ සිටි 2015 – 2019 කාලයේ මේ රටට කිසිම ස්වාභාවික විපතක් තිබුණේ නෑ. ඒ කාලයේ කොරෝනා වගේ ගෝලීය අර්බුදයක් තිබුණෙත් නෑ. නමුත් හුදෙක්ම රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය නිසා සාධාරණ හේතුවකින් තොරව අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. 2019 වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2.1% කට අඩුවී තිබුණා. රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7,400 සිට රුපියල් බිලියන 13,000 දක්වා වැඩිවෙලා තිබුණා. ජනතාව මත බදු බර දෙගුණ වෙලා තිබුණා. රුපියල අස්ථාවර වෙලා, භාණ්ඩවල මිල අසීමිත ලෙස වැඩිවෙලා තිබුණා. අපනයන ආදායම අඩු වී විදේශ සංචිත දුර්වල වෙලා තිබුණා.
 
 මම බාරගත්තේ මේ ආකාරයට බිඳ වැටී තිබූ ආර්ථිකයක්. නමුත් අපි ඒ යථාර්ථය හොඳින් තේරුම් අරගෙන සැලැස්මක් සහිතව තමයි ඒ වගකීම බාරගත්තේ.
 
 කොරෝනා නිසා සියලූ සැලසුම්
 කි‍්‍රයාත්මක කිරීමට බැරිවුණා
 
 නමුත් අනපේක්ෂිත ලෙස අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම අර්බූදයක් වූ ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ සැලසුම් අප බලාපොරොත්තු වූ ආකාරයෙන් ම ක‍්‍රියාත්මක කරන්නට බැරි වාතාවරණයක් ඇති වුණා.
 
 මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඞ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා. මේ වෙලාවේ මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් දෙන්නට අවශ්‍ය දැනුම කිසිදු රටකට තිබුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විමතියට පත් වී සිටියා.
 
 වසංගතයක අවධානය ගැන දැනගත් වහාම ඉදිරියට එන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපි වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ විශේෂඥයන්, දක්ෂ පරිපාලකයන්, ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළත් වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා.
 
 වුහාන්වල සිරවූ සිසුන් මෙරටට ගෙන ඒමෙන්
 සමාජ වගකීම ගැන අපි හොඳ ආදර්ශයක් දුන්නා
 
 චීනයේ වසංගතය ආරම්භ වූ වූහාන් ප‍්‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය සිසුන් ඉතා අසරණ වූ අතර, අපේ රටේ සිසුන් 34 දෙනෙකුත් ඒ අතර සිටියා. නමුත් අන් සෑම රටකටම කලින් ක‍්‍රියාත්මක වූ අපි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද යටතේ ගුවන් යානයක් චීනයට යවා වුහාන්වල සිරවී සිටි ශ‍්‍රී ලංකික සිසුන් 34 දෙනාවම ආරක්ෂාකාරීව ලංකාවට ගෙන ආවා.
 
 ඔවුන් දියතලාවේ හමුදා කඳවුරක නිරෝධායනය කොට, තම පවුල්වලට මුදාහැරීමෙන් අන් රටවලටත්, රජයක සමාජ වගකීම ගැන අපි හොඳ ආදර්ශයක් දුන්නා.
 
 ලංකාවේ පළමු කොරෝනා පොකුර නිර්මාණය වූ අවස්ථාවේ නිසි වේලාවට රට වසා දමා, විවිධ සීමා පනවා, සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ගැන ජනතාව දැනුවත් කළා. රෝගය වැලඳුන සියලූ දෙනාටම රජය මැදිහත් වී ප‍්‍රතිකාර කළා. රෝගය වැලඳුන කාලයේ ඔවුන් හා ඇසුරු කළ සියලූදෙනා බුද්ධි අංශවල සහායෙන් සොයාගෙන, ඔවුන්ව නිරෝධායනය කළා.
 
 පළමු කොරෝනා රැල්ල අපි සාර්ථකව පාලනය කළා
 
 මේ අනුව පළමුවන කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කරන්නට අපි සමත් වුණා. ලෝකයේ අන් රටවල් කොරෝනා වසංගතයෙන් දැඩි පීඩා විඳිද්දී මාස 3 ක පමණ කාලයක් ලංකාවෙන් කිසිදු රෝගියකු වාර්තා වුණේ නැහැ.
 
 කිසිදු රටකට දීර්ඝ කාලීනව ගුවන්තොටුපොළවල් හා වරායවල් වසා ගෙන ඉන්නට බැහැ. පිටරටවල අසරණව සිටින තම පුරවැසියන් ආපසු ගෙන ආ යුතු වනවා. ආනයන, අපනයන කටයුතු පාලනයක් යටතේ හෝ සිදු කිරීමට වෙනවා. මේ නොවැළැක්විය හැකි ගෝලීය සම්බන්ධීකරණය නිසා කොරෝනා වෛරසය යළි යළිත් රටවලට ඇතුළු වීමත් සම්පූර්ණයෙන් වළක්වන්නට කිසිම රටකට මෙතෙක් හැකිවෙලා නැහැ. රට වසා දැමීමකින් කළ හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීම පමණයි.
 
 කොරෝන දෙවන රැුල්ල ආ අවස්ථාවේ අලූත් වෛරස් ප‍්‍රභේදයක් වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කර්මාන්ත ශාලා, මාළු හා එළවළු වෙළඳපොළවල් ආශ‍්‍රිතව මෙය පැතිරුණා.
 
 කොරෝනා පාලනයට පැනවූ නීතිවලට සමහර ජන කොටස් සහය දුන්නේ නෑ
 
 කොරෝනා සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීතිවලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතුයි. නමුත් ලංකාව තුළ සංචරණය සීමා කරන්නට, සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නට කියා කොතරම් උපදෙස් දුන්නත්, සමහර ජන කොටස් එයට සම්පූර්ණ සහාය නොදුන්න බව ඔබ සියලූ දෙනාම දන්නවා.
 
 කෙසේ වෙතත් දෙවන රැුල්ලත් මේ වසරේ මුල වන විට අපි බොහෝ දුරට පාලනය කොට තිබුණා.
 
 සිංහල අලූත් අවුරුදු කාලයේ ජනතාව අවිධිමත්ව විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරය කිරීමේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස අපි දැන් කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දී තිබෙනවා.
 
 රජය යළිත් රට වසා දැමුවේ සෞඛ්‍ය අංශවල පහසුකම් ප‍්‍රමාණවත් නොවූ නිසයි
 
 මේ වන විට වෛරස් ප‍්‍රභේද ගණනාවක් රට තුළට ඇතුල් වී තිබෙන අතර, වෛරසය වේගයෙන් හා පහසුවෙන් පැතිරීම නිසා, මින් පෙර වාරවලට වඩා අවදානම් තත්ත්වයක් උදා වී තිබෙනවා. රෝගය වේගයෙන් පැතිරී ආසාදිතයින් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් වැඩිවන විට එයට හදිසියේම මුහුණ දෙන්නට සෞඛ්‍ය අංශයට ඇති මානව සම්පත් හා අනෙකුත් පහසුකම් ප‍්‍රමාණවත් නැහැ. ඒ අනුව රජයට යළිත් රට වසා දමන්නට සිදු වුණා.
 
 මෙවැනි වසංගත තත්ත්වයක් සමග කරන සටනේ දී, ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට මෙන්ම අපිටත් විටින් විට රට වසා දමන්නට සිදුවුණත් එම තීන්දුවේ අතුරු ප‍්‍රතිඵලත් අප තේරුම් ගත යුතුයි. ඒ අනුව විවිධ නීති රීති පනවන්නට සිදු වුණා. කර්මාන්තශාලා හා ආයතනවල වැඩ කරන පිරිස සීමා කරන්නට සිදු වුණා. නමුත් මේ තත්ත්වය අපේ කර්මාන්තවලට ඉතාම නරක විදියට බලපෑවා. විශේෂයෙන්ම, ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලූම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදුවුණා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැුකියා නැතිවුණා. අපනයන ආදායම අඩු වුණා.
 
 විදේශ රටවල සේවය කළ අය
 මෙරට පැමිණීමෙන් විදේශ ප්‍රේෂණ අඩු වුණා
 
 විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ‍්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැුකියා අහිමි වුණා. වසංගතයට බියේ ලංකාවට ආපසු ආ ලක්ෂ 2 කට අධික විදේශගත ශ‍්‍රමිකයින් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබී නෑ. ලංකාවට ලැබුණු විදේශ පේ‍්‍රෂණ මේ නිසා අඩු වුණා.
 
 සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරද්දී අපි වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුණේ, සංචාරක ව්‍යාපාරය ගැනයි. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුණු සංචාරක ව්‍යාපාරය 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා දියුණු කරන්නට අපි සැලසුම් කොට තිබුණා.
 
 මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය අර්බුදයකට ලක්වෙලා
 
 නමුත් අද මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය අර්බුදයකට ලක් වෙලා. ගුවන් තොටුපොළවල් වහලා, සංචරණය සීමා වෙලා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව සඳහා යම් ආකාරයකින් සම්බන්ධව සිටි අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. සෘජු හා වක‍්‍ර රැුකියා ලක්ෂ ගණනාවක් නැතිවෙලා. ස්වයං රැුකියා කළ ලක්ෂ ගණනකට ආදායම නැතිවෙලා, ඒ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී සිටි අය අද වනවිට අසීරුවට පත්වෙලා.
 
 විටින් විට රට වසා දැමීමෙන්
 ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා
 
 අපේ සංවර්ධන සැලැස්මේ තවත් විශාල බලාපොරොත්තුවක් වුණේ ඉදිකිරීම් කර්මාන්තයයි. අපිට අවශ්‍ය වී තිබුණේ බිඳ වැටී තිබු ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවනයක් යළි ඇති කරන්නයි. විටින් විට කරන රට වසා දැමීම නිසා මේ ක්ෂේත‍්‍රයට විශාල පහරක් වැදී තිබෙනවා. ඉදිකිරීම් සමාගම්වලට අවශ්‍ය ආකාරයට සේවකයින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ.
 
 අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ අපි බලාපොරොත්තු වුණු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපිට අහිමි වුණා.
 
 මේ සියලූ කාරණා නිසා අපි මුලින් සැලසුම් කොට තිබූ විදේශ විනිමය ප‍්‍රමාණය අපට ලැබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ අපට විදේශ විනිමය වඩා පරිස්සමින් කළමනාකරණය කරන්නට වෙනවා.
 
 කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට
 විශාල ගැටලූ ඇතිවෙලා
 
 අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා ප‍්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලූවක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම්වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරිව බරපතළ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුණා. ජනතාව අතර මුදල් හිඟ වුණා. වාහන ලීස් කළ අයට වාරිකය ගෙවා ගන්නට බැරි වුණා. නිවාස ණය ගත් අයට ඒ ණය වාරික ගෙවා ගන්නට බැරි වුණා. දිනපතා ණයට මුදල් ගෙන ව්‍යාපාර කරන අය ගැනුම්කරුවන් නොමැතිව අපහසුතාවයට පත් වුණා.
 
 ණය කල් ගැනීම් පහසුකම් සැපයීමට
 රුපියල් බිලියන 400 ක් වෙන් කළා
 
 මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදා ගැනීම සඳහා ඔවුන්ගේ ණය ගෙවීමට අමතර කාලයක් ලබා දෙන්නට රජය ක‍්‍රියා කළා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය කල් ගැනීම් පහසුකම් සපයන්නට රජය රුපියල් බිලියන 400 කට වඩා වෙන් කළා.
 
 අපි බලයට ආවට පසුව, බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු වුණා කියා විපක්ෂය අපට චෝදනා කරනවා. නමුත් අපි එදා එසේ නොකළා නම් මේ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුණා. පසු ගිය රජය ජනතාව මත විශාල බදු බරක් පනවා තිබුණා. 2015-2019 කාලය තුළ සෘජු හා වක‍්‍ර බදු දෙගුණ වී තිබුණා. අපි බලයට ආ වහාම ඒ පීඩනයෙන් ජනතාව නිදහස් කළා. මේ සියලූ බාධක මැද අපි ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කළා.
 
 රජය විසින් සෑම වසරකම අයවැයෙන්ම මුදල් වෙන්කොට ජනතාවට ලබාදෙන සහන රාශියක් තිබෙනවා. ඒ අතර සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 50 කුත්, නොමිලේ බෙහෙත් ලබා දීම සඳහා රුපියල් බිලියන 90 කුත්, ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් බිලියන 40 කුත්, විශ‍්‍රාම වැටුප් වශයෙන් රුපියල් බිලියන 250 කුත්, පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 35 කුත්, පාසල් දරුවන්ගේ නිල ඇඳුම්, පෙළ පොත් සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 25 කුත්, පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව ඇතුළු තවත් විවිධ සහන ලෙස බිලියන 70 කුත් සමග සමස්තයක් වශයෙන් බිලියන 560ක් පමණ වැය කරනවා. කොරෝනා අර්බුදයට මුහුණ දීමට අලූත් වියදම් රාශියක් රජයට දරන්න සිදු වී තිබෙනවා.
 
 කොරෝනාවලට මුහුණදීමට අලූත්
 වියදම් රාශියක් දැරීමට රජයට සිදුවෙලා
 
 කොරෝනාවලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30 ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව අමතර වියදම් රාශියක් රජය දරනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරන්නටත්, හඳුනාගත් ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන්නටත්, ප‍්‍රතිකාර මධ්‍යස්ථාන රාශියක් අලූතින් පිහිටුවීමටත් රජය අමතර වියදම් දරා තිබෙනවා.
 
 රුපියල් බිලියන 260 කට වඩා
 සහන ජනතාවට ලබාදුන්නා
 
 රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. කොරෝනා අර්බුදය පටන් ගත් දා සිට මේ වනතුරු රුපියල් බිලියන 260 කට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වියදම් කොට තිබෙනවා.
 
 සැලසුම් කොට තිබූ සහනාධාර වලට කොරෝනා වියදමත් එකතු වූ විට එය පසුගිය වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1380 න් හරි අඩක් පමණ වෙනවා. කොරෝනා වසංගතය නිසා ඇතිවූ අසීරු තත්ත්වය යටතේ පවා රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කළේ නැහැ.
 
 පිටරට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු
 ණය වාරික පැහැර හැරියේ නෑ
 
 අපේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට, රජය විසින් පිටරට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවීම පැහැර හැරියේ නැහැ. පසුගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුණු ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. රජයට මේ ණය ගෙවන්න බැරි වෙයි කියා මතයක් විපක්ෂය ජනගත කළා. නමුත් අපි රට අපකීර්තියට පත් නොකර ඒ සියලූ ණය මුදල් නියමිත දිනට ගෙව්වා.
 
 මේ තත්ත්වය යටතේ විදේශ විනිමය අර්බුදයක් වළක්වා ගැනීම රජයේ වගකීමයි. ඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ වුණා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුණේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.
 
 ජනතාවට ලැබුණ ප‍්‍රතිලාභ ගැන කවුරුත් කතා කළේ නෑ
 
 අපේ රජයේ අඩුපාඩුවක්ව තිබුණේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට සන්නිවේදනය නොකිරීමයි. නමුත් එහි ප‍්‍රතිඵලය ලෙස ජනතාව මාධ්‍යවලින් දැක්කේ ගැටලූ පමණයි. සමාජ ජාලවල සාකච්ඡුා වුණේ ප‍්‍රශ්නගත සිද්ධීන් පමණයි. ඒ නිසා කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට, ජනතාවට ලැබුණ ප‍්‍රතිලාභ ගැන කවුරුත් කතා කළේ නැහැ.
 
 පුද්ගල ප‍්‍රතිරූප පිම්බීම සඳහා ප‍්‍රචාරණ කටයුතු නොකළාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. නැත්නම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත වැරදි තොරතුරු ජනගත කරන්නට ආණ්ඩුවේ ප‍්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන්, අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා.
 
 ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමේදී රටේ ආහාර සුරක්ෂිතභාවයේ වැදගත්කම ගැන අපි විශේෂ අවධානයක් යොදවා තිබීම කොරෝනා වසංගතය අවස්ථාවේ විශාල ආශිර්වාදයක් වුණා. පිටරටින් එන ආහාර මත යැපුණ රටවල් අසීරුතාවයන්ට පත්වෙද්දී, අපට එවැනි ගැටලූවලට මුහුණ දෙන්නට සිදුවුණේ නැහැ.
 
 වීවලට සහතික මිලක් ලබාදී ගොවියා ශක්තිමත් කළා
 
 අපේ ප‍්‍රතිපත්ති හරහා දේශීය කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. වී සඳහා සහතික මිලක් ලබාදීම තුළින් අපි වී ගොවියා ශක්තිමත් කළා. පොහොර නොමිලේ ලබා දුන්නා. තේ, පොල්, රබර්, කුරුඳුවලට පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා. ලංකාව තුළ වගා කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා ප‍්‍රතිඅපනයනය තහනම් කිරීම මගින් ගම්මිරිස්, කහ වැනි භෝගවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කළා. එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ නිසා අපේ සීනි කම්හල් අද ලාභ ලබනවා.
 
 ගොවිතැනට නිසි ගෞරවය ලබා දීම නිසා වෙනදා කෘෂිකර්මාන්තය ගැන උනන්දුවක් නොදැක්වූ බොහෝ දෙනෙක් අද විවිධ මට්ටමේ කෘෂිකාර්මික ව්‍යාපෘති වලට යොමුවෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තය නගා සිටවීම සඳහා අපි රට පුරා වැව් 14,000 ක් ප‍්‍රතිසංස්කරණය කරන විශාල වැඩ පිළිවෙළක් ආරම්භ කොට තිබෙනවා. මේ හරහා පුරන් වී තිබෙන කුඹුරු හා අතහැර දමා තිබෙන වගා බිම් දහස් ගණනක් අස්වද්දන්නට අපට අවස්ථාව ලැබී තිබෙනවා.
 
 රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීම වැදගත් පියවරක්
 
 පාරිසරික හා දේශගුණික විපර්යාසවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැදගත් පියවර කිහිපයක්ම අරගෙන තියෙනවා. රට තුළට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම එහි තවත් වැදගත් පියවරක්.
 
 මේ කාරණය සම්බන්ධයෙන් දශක ගණනාවක් අපේ රටේ කතිකාවතක් තිබුණා. මීට වසර 45 කට පමණ පෙර මේ රටට හඳුන්වාදුන් රසායනික පොහොර භාවිතය, අපේ රටට මේ වන විට විශාල සමාජ උවදුරක් වෙලා. මෙහි අතුරු ඵලයක් ලෙස අපේ පස නිසරු වෙලා. අපේ ජලය විෂ වෙලා. වකුගඩු රෝගය, පිළිකා රෝගය වැනි රෝග ගණනාවකට හේතුව විශාල වශයෙන් පසට හා ජලයට රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර වීම බව විද්වතුන් බොහෝ දෙනෙකුගේ මතයයි. රසායනික පොහොර භාවිතය නිසා මිනිස් ජීවිතයට වන හානියට හේතුව සොයා එයට පිළියම් යෙදිය යුතුමයි.
 
 දීර්ඝ කාලීනව ජන ජීවිතයට වන හානිය ගැන විශාල කතිකාවක් සමාජය තුළ තිබුණත්, ඒ සම්බන්ධයෙන් සෘජු තීන්දුවක් ගැනීමේ හැකියාව මින් පෙර කිසිදු රජයකට තිබුණේ නෑ. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව රට කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට වූ පොරොන්දුව මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළා. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වූ එම පොරොන්දුව ඉටු කිරීමට මා බැඳී සිටිනවා. අනාගත පරම්පරාවේ සුබසිද්ධිය වෙනුවෙන් එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීම වර්තමාන පරම්පරාවේ වගකීමක්.
 
 පිටරටින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා තිබුණා. මේ වන විටත් වගා බිම් හෙක්ටයාර මිලියන 1 1/2 කට අවශ්‍ය පොහොර මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 3 ක් බෙදා දී අවසන්. ඒ සමගම කාබනික පොහොරත් මෙටි‍්‍රක් ටොන් 8,000 ක් පමණ බෙදා දී තිබෙනවා. ඉදිරි මහකන්නය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබා දෙන බවට රජය සහතික වෙනවා.
 
 කාබනික පොහොර නිෂ්පාදනයට සමාගම් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වෙලා
 
 අපි මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගැනීමත් සමග රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යවසායකයන් හා සමාගම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා. කලින් කලට වෙනස් වන ප‍්‍රතිපත්ති නිසා දශක තුනකට ආසන්න කාලයක් අපට පීඩා කළ යුද්ධය සෘජු ස්ථාවර ප‍්‍රතිපත්තියක් යටතේ වසර දෙක හමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කළ ආකාරය මා ඔබට මතක් කරන්නට කැමතියි. රටට හිතකර සාධනීය හේතු මත නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතුයි. දැන් අපි ක‍්‍රමයෙන් කාබනික පොහොර භාවිතය වර්ධනය කළ යුතුයි. ජාතියක් වශයෙන් එක්ව මේ සඳහා සෑම දෙනාම අත්වැල් බැඳ ගත යුතුයි.
 
 දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් අපට පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන වාසි රටක් වශයෙන් අපට නිසැකවම බලාපොරොත්තු විය හැකි බවයි. පස සරුසාර වීම, ඵලදායීතාව ඉහළ යෑම, වැඩි ආදායමක් බලාපොරොත්තු විය හැකි වීම, කෘෂි නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳ පොළක් විවෘත වීම මෙන්ම ජනතාව වඩා නිරෝගීමත් වීම අපට ලැබෙන ප‍්‍රතිලාභ අතර තිබෙනවා.
 
 රජය යළිත් රට වසා දැමුවේ  සෞඛ්‍ය අංශවල පහසුකම්  ප‍්‍රමාණවත් නොවූ නිසයි
 
 2021 වසර සඳහා ග‍්‍රාමීය වැව් 14,000 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමටත්, පාලම් 10,000 ක් ඉදි කිරීමටත් ප‍්‍රතිපාදන වෙන් කොට ඉන් බොහෝමයක වැඩ ආරම්භ වී තිබෙනවා. රටපුරා ක‍්‍රීඩාංගණ 1000 කට වඩා ඉදිවෙනවා. ග‍්‍රාමීය රෝහල් ප‍්‍රතිසංස්කරණය වෙනවා. ‘සියක් නගර‘ වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ නගර 100 ක සංවර්ධන කටයුතු මේ වසරේ අවසන් වෙනවා.
 
 නගර අලංකරණ ව්‍යාපෘති සියල්ල හරිත ව්‍යාපෘති ලෙස ක‍්‍රියාත්මක කරන්නට අපි ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. සියලූම ප‍්‍රධාන හා උප නගරවල නාගරික වනෝද්‍යාන සැලසුම් කෙරෙනවා. අනවසර ඉදිකිරීම් සහ කසළ බැහැර කිරීම් හේතුවෙන් පසුගිය දා විශාල සමාජ කතිකාවකට හේතු වූ මුතුරාජවෙල තෙත්බිම රජයට පවරාගෙන එය රැුම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
 
 තාක්ෂණය මත පදනම් වන සමාජයක් බිහිකිරීමට උපකාරයක් ලෙස ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර හා දඹුල්ල නගරාශ‍්‍රිතව තාක්ෂණික උද්‍යාන ඉදි වෙමින් පවතිනවා.
 
 පුනර්ජනනීය බලශක්ති ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැංවීමට පියවර රාශියක් ගෙන තිබෙනවා.
 
 2030 වන විට ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තී ප‍්‍රභවයන්ගෙන් උත්පාදනය කරන බව අප දුන් මූලික පොරොන්දුවක්. මේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීමට අපි පියවර රාශියක් ගෙන තිබෙනවා.
 
 ගමට බලාගාරයක් වැඩසටහන යටතේ කිලෝ වොට් 100ක ධාරිතාවක් සහිත ග‍්‍රාමීය මට්ටමේ කුඩා සූර්ය බලාගාර 7000ක් දේශීය ආයෝජකයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉන් මෙගා වොට් 750 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා. මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් මන්නාරම සුළං විදුලි බලාගාරය හා මෙගාවොට් 240 ක ධාරිතාවයෙන් යුත් පුනරින් සුළං විදුලි බලාගාරවල ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මෙගාවොට් 120 උමා ඔය සහ මෙගා වොට් 35 බ්‍රෝඞ්ලන්ඞ්ස් විදුලි බලාගාරය මේ වසරේ වැඩ අවසන් වෙනවා. මෙගා වොට් 31.5 ක ධාරිතාවකින් යුතු මොරගොල්ල ජල විදුලි බලාගාරයේ කටයුතු 2023 දී අවසන් වෙනවා. නාගරික ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ පළමු ව්‍යාපෘතිය කෙරවලපිටියේ ආරම්භ වුණා. එමෙන්ම, මෙගා වොට් 300 ක ධාරිතාවක් සහිත මෙරට පළමු ස්වභාවික වායු බලාගාරය කෙරවලපිටියේ දී ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මේ තුළින් මෙගා වොට් 300ක ධාරිතාවක් 2023 දී විදුලි ජනන පද්ධතියට එක් කෙරෙනවා. වහල මත සවිකරන සූර්ය කෝෂ පද්ධති 30,000 ක් හරහා මේ වන විටත් මෙගා වොට් 340 ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කොට තිබෙනවා.
 
 එමෙන්ම පසුගිය ජූනි 16 වන දින ඉන්දියානු ජනරජය සමග අත්සන් කරනු ලැබූ, රුපියල් කෝටි 2000 ක ණය පහසුකම තුළින් රජයේ කාර්යාල පියසි මත සූර්ය පැනල (රදදඓදච ිදක්ර* සවිකිරීමට කටයුතු කරනු ලබනවා.
 
 දිළිඳු පවුල් සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබාදෙනවා
 
 දැයට එළිය ව්‍යාපෘතිය යටතේ ලක්ෂයකට අධික ඉතාම දිළිඳු පවුල් සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබා දෙනවා.
 
 වාරි කළමනාකරණ ක‍්‍රමවේද හා ක‍්‍රමෝපායන් ශක්තිමත් කිරීම කඩිනම් ජාතික අවශ්‍යතාවයක් ලෙස අපේ රජය හඳුනාගෙන තියනවා. මේ යටතේ පවතින වාරි පද්ධති බල ගැන්වීමටත්, නව වාරි පද්ධති ඉදිකිරීමටත් අපි කටයුතු කළා. මෙහි මූලික පියවරක් ලෙස තෝරාගත් වාරි ව්‍යාපෘති 10 ක කටයුතු කඩිනම් කර තිබෙනවා.
 
 ඒ අනුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් නියෝජනය කරනු ලබන වියළි කලාපයේ පානීය සහ වාරි ජල අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින්, උතුරු මැද පළාත් මහ ඇළ සහ වයඹ පළාත් මහ ඇළේ සංවර්ධන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙනවා. මිණිපේ වම් ඉවුරු ඇළේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතිනවා.
 
 කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා ජල දුෂ්කරතාවයෙන් නිරන්තරයෙන් පීඩා විඳින මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ දෙකන්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය සම්පාදනයටත් කටයුතු කරනු ලබනවා.
 
 පහළ මල්වතු ඔය සහ මුන්දෙනිආරු වාරි ව්‍යාපෘතිය හරහා විශේෂයෙන් මන්නාරම සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කවලත්, නැගෙනහිර පළාතේ පානීය සහ වාරි ජල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙමින් තිබෙනවා.
 
 දේශීය වශයෙන් ඖෂධ
 නිෂ්පාදනය ඉහළ නැංවූවා
 
 ඖෂධ ආනයනය සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. මෙම විශාල වියදම අවම කර ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට අපි කටයුතු කළා. ඒ අනුව, මේ වන විට සංස්ථාව එහි උපරිම නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනු ලබනවා. මෙම වසර තුළ පමණක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රෝහල් පද්ධතිය සඳහා නව ඖෂධ වර්ග 7 ක් ඇතුළුව ඖෂධ වර්ග 65 ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අතරින් ඖෂධ වර්ග 36 ක අමු ද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම මගින් ආනයනය සඳහා දරන ලද විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවෙලා තිබෙනවා.
 
 හොරණ මිල්ලෑව ප‍්‍රදේශයේ පිළිකා නාශක ඖෂධ, විකලාංග උපකරණ සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගරයක් වශයෙන් ඖෂධ නිෂ්පාදනාගාර 3ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන මූලික ප‍්‍රසම්පාදන කටයුතු මේ වන විටත් සිදුකර අවසන්. මෙම සියලූම ව්‍යාපෘතිවල අවසාන අරමුණ වෙන්නේ, රට තුළ දේශීය වශයෙන් ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමත්, ඒ මගින් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමත්.
 
 මීට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයතන කිහිපයකුත් දැනටමත් ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කර තියෙනවා.
 
 වරාය නගර ආර්ථික කොමිසන් සභාව 100% ශී‍්‍ර ලාංකිකයි
 
 ශී‍්‍ර ලංකාවේ භූමියට අලූතින් එක්වුණු හෙක්ටයාර් 269 ක් වූ කොළඹ වරාය නගරයට දේශීය හා විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීමේ අවස්ථාව දැන් අපිට උදා වෙලා තියෙනවා. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පසු ඒ සඳහා 100% ශ‍්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මා පත් කළා. අප විසින් ගොඬනැගීමට බලාපොරොත්තු වන මූල්‍ය නගරය සඳහා ප‍්‍රථම ආයෝජනය ලෙස ඩොලර් මිලියන 400 ක ආයෝජනයකින් ඉදිවන කුලූනු 2කින් සමන්විත වාණිජ ගොඬනැගිල්ලක් සඳහා කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතිය මේ වනවිටත් ලැබී තිබෙනවා.
 
 මීට දින කිහිපයකට පෙර ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් අපි ‘දදප තාක්ෂණය හරහා පැවැත්වූවා. එහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් පෙන්වන ලද විශාල උද්‍යෝගය අපේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ආයෝජන ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ ධනාත්මක පණිවිඩයක් ලබා දෙනවා.
 
 කලාපයේ වේගයෙන් දියුණු වන අනෙක් රටවල් හා සංසන්දනය කළ හැකි සාර්ථකත්වයක් විදේශ ආයෝජන සම්බන්ධයෙන් අපිට අත්කර ගන්නට පුලූවන් නම්, එය අපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට විශාල පිටුවහලක් වෙනවා. ඒ හරහා ඍජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ රාශියක් අපේ රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකියි. මේ ආයෝජනවලට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගතවීමේ අවස්ථාව ලබාදීම හරහා අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වනවා.
 
 කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කළේ නෑ
 
 රාජ්‍ය පාලනයේ දී අපි නීතියේ ආධිපත්‍යයට සැමවිටම ගරු කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට බියකින් තොරව තම රාජකාරි ඉටු කරන්නට පුලූවන්. මා බලයට ආවාට පසු කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කළේ නෑ. පත්වීම් කළේ සුදුසුකම් මතයි. ඉහළ අධිකරණයන්ට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදීත්, නීතිපතිවරයා පත්කිරීමේදීත් ඒ සාධාරණත්වය ඉහළින්ම ඉටු කළා.
 
 අතීතයේ වූ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට අපට යළි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි. ලංකාවේ ඉතිහාසය ලියවෙන විට අප මේ ගත කරන කාලය මොන තරම් දුෂ්කරද යන්න සඳහන් වේවී. නමුත් ඒ දුෂ්කරතා මැද අපි සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ අප අතේයි.
 
 මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලූවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කළේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක‍්‍රියාත්මක කිරීමටයි.
 
 මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සූදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා.
 
 ඔබ සැමට මා සුබ ප‍්‍රාර්ථනා කරනවා

advertistmentadvertistment
advertistmentadvertistment