පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පෙත්සම  – විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ නීතිපතිගේ විරෝධය පිළිගනී

209

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කොට ඇති පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම සලකා බැලීමට තම අධිකරණයට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31 දා) දෙපාර්ශ්වයට දැනුම් දුන්නේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික තරිඳු එරංග ජයවර්ධන සහ එම සංගමයේ භාණ්ඩාගාරික එම්.එෆ්.එම්. ෆසීර් යන මහත්වරුන් විසින් ගොනුකර තිබූ එම විශේෂ පෙත්සම එල්.ටී.ඞී. දෙහිදෙණිය, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එකී පනත් කෙටුම්පත මගින් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති උල්ලංඝනය වන බව පෙන්වාදෙමින් පෙත්සම ගොනුකර ඇත්තේ නියමිත කාල සීමාව ඉක්ම යෑමෙන් අනතුරුව බවත් එලෙස කාලාවරෝධය ඉක්ම යෑමෙන් අනතුරුව ගොනු කළ පෙත්සම විභාග කිරීමේ නීතිමය බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවත් එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය. එකී මූලික විරෝධතාව විනිසුරු මඬුල්ල විසින් පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සිය අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යැවීමට පියවර ගන්නා බවද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

එකී පනත් කෙටුම්පත මගින් තමන් ඇතුළු වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡුන්දයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන්නැයි පෙත්සම්කාර ජනමාධ්‍යවේදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment