පෞද්ගලික බස්වලට ඩිපෝවලින් තෙල් – ඉදිරි දින තුනේ පෙට්‍රල් පෝලිම්වලට එන්න එපා

126

ඇමැති කංචන ඉල්ලයි

අත්‍යවශ්‍යම නම් පමණක් විනා ඉදිරි දින තුනේ පෙට්‍රල් පෝලිම්වලට නොඑන ලෙස තමා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ජුනි 23 වැනිදා පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිතව ඇති බැවින් එදිනෙන් පසු මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නට අපේක්‍ෂා කරන බැවින් අත්‍යවශ්‍ය කරුණක් නොමැතිව පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වලට එකතු නොවන ලෙස ද ඇමැතිවරයා මහජනතාවට දැනුම් දෙයි.

එතෙක් පෙට්‍රල් තොග පිරවුම්හල්වලට නිකුත් කරන්නේ සීමාවන් තුළ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

එසේම විනෝදගමන් සහ අත්‍යවශ්‍ය නොවන ගමන් සීමාකරන ලෙස ද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මගීන් ප්‍රවාහනය කරන බලපත්‍ර හිමි සියලුම පෞද්ගලික බස් රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදෙන බව ද ඒ නිසා වෙනත් ඉන්ධන පිරවුම්හල්වලට නොයන ලෙස සියලුම පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ද කංචන විජේසේකර ඇමැතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැතිවරයාට සහ ලංගම සභාපතිවරයාට දන්වා තිබෙන බව ද ඒ අනුව කිසිම බාධාවකින් තොරව පැය 24 පුරාම එම ඉන්ධන ලබාදීමේ කටයුත්ත සිදුකිරීමට ඔවුන් එකඟතාව පළකර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සියලුම වෘත්තිය ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් හදිසි අත්‍යවශ්‍ය සේවා කරන වෛiවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් සිකුරාදා දිනවල ඉන්ධන නිකුත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීවේය.

පූර්ණකාලීනව මගී ප්‍රවාහනය කරන ලියාපදිංචි ත්‍රිරෝද රථවලට ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා එක් පිරවුම් හලකින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් ඒ සඳහා අදාළ ත්‍රිරෝද රථවල අංක අදාළ ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

එසේම විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන ඩීසල් රථ, පාසල් වෑන් රථ සහ සේවකයන් ප්‍රවාහනය කරන රථවලටද ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බවත්, පෞද්ගලික බස් රථවලට සහ වෙනත් ප්‍රවාහන රථවලට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලබාදෙන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මෙවැනි වෘත්තිය ප්‍රවාහන රථවලට හැර අනෙකුත් සියලුම රථවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින දෙකක් පමණ ඉන්ධන ලබාගැනීමට හැකිවන පරිදි නව ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් මෙමගින් ඉන්ධන පෝලිම්වලට එන පිරිස තුනෙන් දෙකකින් පමණ අඩු කිරීමට හැකිවන බවත් ඇමැතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment