පෞද්ගලික සමාගමක් හොර පාරෙන් දැවිතෙල් ගෙනල්ලා

494

රජයේ ඉහළ නිලධාරීන්ගේ නම් විකුණමින් රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසක් විසින් දැවිතෙල් පිරිපහදු කිරීමේ පෞද්ගලික ආයතනයක් හරහා විදේශීය නැවක් මෙරට මුහුදු සීමාවට රැගෙන විත් ඉන් ඉවතලන දැවිතෙල් නීති විරෝධීව ලබා ගෙන ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට විශාල මුදලක් අහිමි වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

දැවි තෙල් බැහැර කිරීමේදී සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරියෙන් බලපත‍්‍රයක් ලබා ගත යුතු බවත් එම ඉල්ලීම කළ යුත්තේ නැවෙහි කපිතාන් හෝ නැවට අදාළ ඒජන්තවරයා විසින් බවත් එහෙත් මෙම නැවෙහි ඉල්ලීම කර ඇත්තේ අදාළ පෞද්ගලික ආයතනයේ වැඩ කරන පුද්ගලයකුගේ ලිපිනයකට බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරියෙහි නීතිරීති උල්ලංඝනය කරමින් ඛනිජ තෙල් සංස්ථාවට අයත් පෞද්ගලික බවුසර රථවල ජී. පී. එස්. කි‍්‍රයා විරහිත කොට බවුසර් 5 ක් හරහා එම දැවි තෙල් විවිධ ප‍්‍රදේශවලට ගෙනගොස් ඇත. එහෙත් එම සමාගම සතු යාඞ්වලට සහ පිරිපහදු ස්ථානවලට ගෙන ගොස් නොමැති බවද හෙළිවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලික සමාගම විසින් මෙලෙස විදේශ නැවකින් තෙල් ටොන් (ඔයිල් මට්) 130 ක ප‍්‍රමාණයක් මීට පෙරද ලබා ගෙන ඇත. මෙම තෙල්වල බැර ලෝහ විශාල වශයෙන් ඇති නමුත් මෙම ආයතනය තෙල් පිරිපහදු නොකර ගබඩාවල පුළුස්සා සහ පරිසරයට මුදා හැර තිබෙන බවට හෙළි වී තිබේ.

එහෙත් මෙම පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව සොයා බැලූ නිලධාරීන් විවිධ අයුරින් බාධා පමුණුවා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රජයේ ආයතනය විසින් අදාළ දැවි තෙල් පිරිපහදු කිරීමේ ආයතනයට එරෙහිවී කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඒ සඳහා විශාල වශයෙන් එම රජයේ ආයතනයේ ඉහළ නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment