ප‍්‍රචණ්ඩත්වයට මෙහි ඉඩ නැහැ – ජනපති එ. ජා. සමුළුව අමතමින් කියයි

265

* කොවිඩ් පාලනයට ගත් පියවර ලෝක නායකයින්ට ජනපති පහදයි

 * කොවිඞ් වසංගතය හමුවේ  සිය සමීපතමයන් අහිමි වූ සියලූ දෙනාට සංවේගය පළ කරනවා

 * ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලූ දෙනා මේ වනවිට එන්නත්කරණය ලක් කර තිබෙනවා

 * තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට  ණය සහන අත්‍යවශ්‍යයි

 * රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමට ශ‍්‍රම  බළකාය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නවා

 * සියලූ ශී‍්‍ර ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම රජයේ අරමුණයි

 * රටේ තිරසරභාවය වෙනුවෙන් රසායනික පොහොර,  පළිබෝධ නාශක සහ වල් නාශක තහනම් කළා

 * ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේක්ෂාවයි

 * බුදුන්ගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ දර්ශනයක් අපට තිබෙනවා

 * ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම  දිරිමත් කරන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා

ප‍්‍රචණ්ඩත්වයට මෙහි ඉඩ නැහැ - ජනපති එ. ජා. සමුළුව අමතමින් කියයි

ගෝලීය අභියෝගයක් වන ත‍්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍ය බවත් ශ‍්‍රී ලංකාවේ යළිත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් නැවත කිසි දිනෙක සිදු නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් පැවසීය.

 ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (22දා) රාත‍්‍රී 9.30ට (නිව්යෝක් හි වේලාව පස්වරු 6.30) ජනාධිපතිවරයා සමුළුව ඇමැතීය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ විය. කොවිඞ් 19 වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැ`ගීම, පෘථිවියේ අවශ්‍යතාවනට ප‍්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම මෙවර සමුළුවේ තේමාව විය. එහිදී ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

 ලෝකයම මුහුණ දී ඇති කොවිඞ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතමයන් අහිමි වූ සියලූදෙනාට සංවේගය පළ කළ ජනාධිපතිවරයා වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් ශ‍්‍රී ලංකාවට සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

 ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලූදෙනා මේ වනවිට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා කොවිඞ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කරගැනීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයන් ඉදිරියේ පැහැදිලි කළේය. කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ‍්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ අවදානමකට ලක්කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් තුළින් සංවර්ධන මූල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.

 රටේ ආර්ථිකය නැවත පණගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය ශ‍්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපාය මාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ‍්‍රම බළකාය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලූම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි පුළුල් ප‍්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

 ජනවාර්ගික, ආගම් හෝ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලූ ශ‍්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප‍්‍රමුඛ අරමුණ වන අතර මෙම ක‍්‍රියාවලිය සඳහා සියලූම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 එසේම ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

 ගෝලීය අභියෝගයක් වන ත‍්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පසුගිය අඩ සියවසේදී ප‍්‍රචණ්ඩත්වය විසින් ශ‍්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් නැවත කිසි දිනෙක ශ‍්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බවත් පැවසීය.

 තිරසරභාවය යනු ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිපත්ති රාමුවේ ප‍්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මේ වසර මුල සිට රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක තහනම් කිරීමට තම රජය කටයුතු කළ අතර කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරිගැන්වීමට කටයුතු කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

 පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ‍්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවත්, බලශක්ති ප‍්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ශ‍්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 පෘථිවියේ සෞඛ්‍යයට මානව ක‍්‍රියාකාරකම්වල පෙර නොවූ විරු බලපෑම කනගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ‍්‍රී ලංකාව සතු බවත් පැවසීය.

 ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යොන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment