ප‍්‍රධාන මුදල් අයකැමිත් සමග ගැලනිගම හුවමාරුවේ සේප්පුවේ ලක්‍ෂ 14ක් අතුරුදන්

128

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

එම මුදල් භාරව කටයුතු කළ ප‍්‍රධාන මුදල් අයකැමිවරයකුද ඒ සමග අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පෙරේදා (11දා) සේවාමුරය භාරව පැමිණි ප‍්‍රධාන මුදල් අයකැමිවරයකු සිදු කළ මුදල් ගණනය කිරීමේදී රුපියල් 14 ලක්ෂ 18,000 ක මුදලක් අඩු බවට අනාවරණය වීමෙන් අනතුරුව බලධාරීන්ට සිද්ධිය දැනුම්දී ඇත. එම බලධාරීන්ගේ උපදෙස් මත ප‍්‍රධාන ඉංජිනේරුවරියක විසින් පොලිසියට එම පැමිණිල්ල සිදුකර තිබේ.

මුදල් අයකැමිවරුන්ගේ සේප්පුවෙන් සහ දෛනික ආදායම තැන්පත් කරන සේප්පුවෙන් මුදල් සොරාගෙන ඇති බවට අභ්‍යන්තර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ වන විට අතුරුදන්ව ඇති ප‍්‍රධාන මුදල් අයකැමිවරයා තදබල ලෙස සූදුවට ඇබ්බැහිව සිටි පුද්ගලයකු බවත් ඒ හේතුවෙන් ඔහු අධික ලෙස ණය තුරුස් වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඔහුගේ ජංගම දුරකථන ක‍්‍රියා විරහිතව ඇති අතර බුලත්සිංහල පදිංචි නිවසින්ද අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. අතුරුදන්ව ඇති ප‍්‍රධාන මුදල් අයකැමිවරයා තිස් හැවිරිදි වියේ පසුවෙයි.

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික, අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චන්දන ජයවර්ධන සහ උප පොලිස් පරීක්ෂක සී. ජයසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ, කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment