ප‍්‍රමිතිගත රටක් වෙනුවෙන්…

603

අවුරුද්ද ගෙවී යන්නට තව ඉතිරිව ඇත්තේ එක දිනක් පමණි. මේ එන සෙනසුරාදා අපි අලූත් අවුරුද්දකට පා තබන්නෙමු. කාලය ගෙවී යෑම අපට නවතන්නට හැකි කාරණයක් නොවේ. කාලය නවතා දමන්නට උත්සාහ දැරීමෙන් අපට ඇති පලක් ද නැත. එනිසා කොතරම් අඩුපාඩුකම්, හිත රිදවීම්, ප‍්‍රශ්න, ගැටලූ තිබුණත් අපි උදාවන නව වසරට මුහුණ දිය යුතු වෙමු. නව වසර සාදරයෙන් පිළිගත යුතු වෙමු. නමුත් මේ නව වසර අපට උදාවන්නේ දුක් සෝ සුසුම් කන්දක් මැදය. ඒ නිසා කෙරුණත් නොකෙරුණත් අපට මේ අවුරුදු සමයේත් ප‍්‍රාර්ථනා කරන්නට ඇත්තේ උදාවන වසරේදීවත් කිරියෙන්, පැණියෙන් ඉතිරේවා යනුවෙනි.

 අපි මේ වසර නිමාකරමින් සිටින්නේ ගෑස්, කිරිපිටි, ඉන්ධන, පොහොර, එළවළු පෝලිම්වල සිටය. උදාවන අවුරුද්ද මේ පෝලිම් තුළම ළගින්නට වන බව දැන් ඉතිං සක්සුදක් සේ පැහැදිලිය. මන්ද රටේ උග‍්‍ර ආර්ථික අර්බුදයක් ඇති නිසා සහ එය ලෙහෙසියෙන් පහව නොයන බව කියන නිසාය. එනිසාම ජීවන වියදම ඉතා ඉහළ ගොස් ඇති අතර, එසේ ඉහළ මිලක් ගෙවාද ප‍්‍රමිතිගත භාණ්ඩයක් ජනයාට මිලදී ගන්නට නොමැත. ඇතැම් භාණ්ඩ ඇත්තටම හිඟවී ඇති අතර, තවත් භාණ්ඩ හිඟ බවට පෙන්වා කූඨ පුද්ගලයෝ ජනතාව හොඳ හැටි ගසා කනු ලබති. ඒවා බලන්නට පාරිභෝගික සේවා අධිකාරිය හෝ වෙනත් බලධාරියකු නැත. සැබවින්ම ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ ජනතාව කනවා නොව උලා කමින් සිටිති. ඉදින් කුමට මේ රට හා පාලකයන් යයි කියන්නට අපට සිදුව ඇත.

 ආර්ථික අර්බුදයෙන් රජයද අපහසුතාවට පත්ව ඇති බව ඇත්තකි. නමුත් මේ අර්බුදයට වගකිව යුත්තේ ජනතාව නම් නොවේ. ජනතාව වගකිව යුත්තේ නම් එවන් කපටි, කෛරාටික, අල්ලසින්, ¥ෂණයෙන්, වංචාවෙන් පිරි චෞරයන් පිරිසකට නැවත නැවත බලය ලබාදී උන් රට පාලනයට තෝරාගන්නා නිසාය. රටට ආර්ථික අර්බුදයක් එන බව ඔය කියන බලය ලබාගන්නා ආර්ථික චක‍්‍රවර්තීන්ලා මීට පෙර දැනගත යුතුය. දැනගෙන ඊට පිළියම් යෙදිය යුතුය. පිළියම් යොදන්නට නොහැකි නම් පිළියම් ගැන රටට කියන්නට වුවමනාය. ඒ පිළියම් සඳහා පුළුල් ජනතා සහභාගිත්වයක් ලබා ගත හැකි නමුත්, ජනතාව මේ ආර්ථික අර්බුදයේ කොටස්කරුවන් නොකළ යුතුය. අපි එසේ කියන්නේ පාලක පක්ෂයේ ඉන්නා අයවළුන්ට පමණක් නොවේ. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාලක පොහොට්ටු පක්ෂය ද එකසේ මේ ආර්ථික අර්බුදයේ කොටස්කරුවන් සේ අපි දකින නිසාය. මන්ද, මේ සියලූම දෙනාට වසර 72 ක් පමණ තිස්සේ සිට වරින් වර රටේ පාලන බලය හෝ බලයේ සිටින අයට මුක්කු ගැසීමට අවස්ථාව ලැබුණු හෙයින් මේ සියල්ලෝම මේ සඳහා අඩු වැඩි වශයෙන් දායක වී ඇති නිසාය. කොටින්ම මේ රට ආර්ථික අගාධයකට ඇදගෙන යෑම ගැන මේ සියල්ලන් කෙරේ ජනතා කෝපයක් හටගෙන ඇති අවස්ථාවකි මේ.

 මේ සියලූ බලවේග විසින් රටේ ආර්ථික සම්පත් කා, විනාශ කර දැමූ අයුරු ගැන තම තමන්ගේ හදවත්වලට තට්ටු කර දැනගන්නා ලෙස මේ අසීරු මොහොතේ අපේ රටේ දේශපාලනඥයන්ට මතක් කර දෙන්නට අප කැමතිය.

 කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකයට සුවිශාල බලපෑමක් ඇතිවුණු බව සැබෑවකි. එහෙත් එයින් සිදු වූයේ ආර්ථික පසුබෑම වේගවත් වීම මිස වර්ධනය වෙමින් තිබුණු ආර්ථිකයක් කඩා දැමීම නොවේ. කොරෝනා මේ රටට එන විටත් රට හොඳටෝම ණය බරින් පෙළෙමින් සිටි අතර හැම දෙනාටම දේශීය ආර්ථිකයක් පණගන්වන්නට මතක් වූයේ තවදුරටත් රට ඉදිරියට ගෙනයන්නට නොහැකි වූ අවසන් අවස්ථාව උදාවූ පසුවය.

 ඊට කදිම උදාහරණය රසායනික බෙහෙත්, පොහොර තහනම හා කාබනික ගොවිතැනට රට තල්ලූ කිරීම ය. කාබනික ගොවිතැන රටට ඉතාම උචිත, වැඩි වැඩියෙන් රට සල්ලි උපයාගත හැකි මාර්ගයක් බව ඇත්තකි. ජනාධිපතිවරයාගේ ඒ උදාර සංකල්පයට අපි ප‍්‍රතිපත්තියක් ලෙස ගරු කරන්නෙමු. නමුත් රට ඊට සූදානම් කර අවසන් ඉලක්කයක් කරා ගෙන යන්නට අඩුම තරමින් වසර 10 ක් වත් වුවමනා බව දැනටමත් විද්වතුන් විසින් මත පළ කර ඇත. ගොවියාගේ වගා ඉඩම් වපසරියෙන් හතරෙන් එකක් පමණ ගෙන කාබනික වගා ක‍්‍රමයකට රට සුදානම් කළේ නම් හා ජල මූලාශ‍්‍ර පිහිටි ඉහළ කඳුකරයේ යම් අඩි ප‍්‍රමාණයකින් ඉහළ උන්නතාංශයකට කාබනික වගාව අනිවාර්ය කළේ නම් මේ තරම් ජනතා විරෝධයක් නැතිව හා ආහාර අර්බුදයක් රට තුළ පැනනගින්නේ නැතිව මේ වැඬේ අපූරුවට කරන්නට තිබිණි. නමුත් අවසානයේ කාබනික වගා වැඩසටහන සම්පූර්ණයෙන්ම අනාගත්තේය. අද රට තුළ එළවළු අර්බුදයක් ඇතිවන්නට බලපෑවේ මේ පසුගාමී කේවට්ට උපදෙස් ය. අවසානයේ එය රසායනික වෙළෙඳුන්ගේ ජයග‍්‍රහණයක් බවට පත්කර දුන්නේය.

 එනිසා තවදුරටත් කාබනික ගොවිතැන රටේ ප‍්‍රචලිත කරන්නේ නම් නිවැරදි උපදෙස් මත හා නිවැරදි පුද්ගලයන් තෝරාගෙන කල්, යල් බලා ඒ කටයුත්ත සිදු කළ යුතුය.

 එසේම, රට තුළ නිෂ්පාදන ආර්ථිකය දිරිගන්වන්නට අවශ්‍ය සියලූ කටයුතු වහාම කළ යුතු බව අපගේ අදහසයි. විශේෂයෙන්ම ආහාර අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවී ඇති මේ මොහොතේ වගා සංග‍්‍රාමයක අවශ්‍යතාව රටේ පැන නැගී ඇත. ඒ අතර නියං කාලගුණික තත්ත්වයක් රට තුළ පැනනගින බවට තවත් අතකින් අනතුරු හැඟවී ඇත. එසේ නම් උදාවන 2022 වසරත් තරමක් ගෙවී යන තුරු රටට හොඳ බවක් පෙනෙන්නට නැත.

 මේ නිසා ආහාර හා මුදල් අරපිරිමැස්මෙන් පරිහරණයට අපි වහාම පියවර ගත යුතු වෙමු. ඒ අතර, හැම බිම් අඟලකම, මල් පෝච්චියකම ඵලදායී දෙයක් වගාකිරීමත් අත්‍යන්තයෙන් කළ යුත්තක් බව අපගේ අදහසයි.

 ගෑස් වෙනුවට දර ලිප දක්වා පල්ලම් බසින ලද තවත් නව වසරක් මීට පෙර අපට උදාවී නැත. එසේ වූයේ මිල වැඩිකමට වඩා ගෑස් සිලින්ඩරයත් බෝම්බයක් බවට පත්කළ ප‍්‍රමිතියක් නැති රටේ ප‍්‍රමිතියක් නැති දහදුරා වැඩ නිසාය. කාබනික ගොවිතැන, එළවළු හා මිල ඉහළ ගිය අනෙකුත් බොහෝ අර්බුද මෙන්ම ආර්ථික අර්බුදය ද ප‍්‍රමිතියක් නැති දේශපාලනඥයන් නිසා ඇතිවූ අර්බුද ලෙස අපි දකින බැවින් උදාවන වසරේදීවත් ප‍්‍රමිති ගත රටක් ඇතිවේවායි අපි ප‍්‍රාර්ථනය කරමු. ඒ සඳහා අපි පෙළගැසිය යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment