‘ප‍්‍රමිති’ ගෑස් එළියට – ප්‍රොපේන් 30%යි – බියුටේන් 70%යි

236

* රෙගියුලේටර් හා බට සඳහාත් විසඳුම් දෙනවා
* – තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා


අද (21 දා) සිට වෙළෙඳපොළට නිකුත් කරන සෑම  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකම අඩංගු වන්නේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70ක් සහිත ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති සංයුතිය බව තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අදාළව මේ වන විට පැමිණ ඇති ගෑස් නැව් දෙකේ ද මෙම නියමිත රසායන සංයුතිය ඇති බවත් ඒ අනුව අද සිට වෙළෙඳපොළට පැමිණෙන ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ද මෙම නියමිත ප‍්‍රමිතිය අඩංගු වන බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

පැමිණි ගෑස් නැව් තුනෙන් එක් නැවක නිසි සංයුතිය නොතිබුණු බවද ඒ අනුව එම නැව හරවා යැවූ බවද පැවසූ ජයන්ත ද සිල්වා මහතා මෙතෙක් කාලයක් ගෘහස්ථ ගෑස් සඳහා නිසි ප‍්‍රමිතියක් නොතිබූ බවද සඳහන් කළේය.

ඉදිරි සති දෙක තුළ ගෑස් සිලින්ඩර සඳහා භාවිත කරන රෙග්‍යුලේටර් සහ ගෑස් බට සම්බන්ධ ගැටලූවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් මාස තුනක් ඇතුළත ගෑස් සම්බන්ධ සියලූ ගැටලූවලට අදාළව විසඳුම් ලබා දෙන බවත් තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මගින් ඊයේ (20 දා) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවේ දැනට ආනයනය කරන ගෑස් සඳහා වූ අනුමත ටෙන්ඩරය 2022 ජනවාරි දක්වා බලාත්මක බවය. එසේම පසුගිය මාස 04 තුළ ගෙන්වනුු ලැබූ ගෑස්වල සංයුතියේ කිසිදු වෙනසක් සිදුව නැතැයි ද හෙතෙම කීවේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙහිදී පැවසුවේ මෙරට ගෑස් පාරිභෝගිකයන් ලක්‍ෂ 40ක් පමණ සිටින බවත් වාර්ෂිකව ගෑස් ළිප්, රෙග්‍යුුලේටර් අලූත්වැඩියාවන් සිදුකරන සිද්ධීන් 50,000ක් පමණ වාර්තා වන බවත්ය.

පසුගිය දිනවල වාර්තා වූ ගෑස් කාන්දුවීම් සහ පුපුරා යෑම් සිද්ධීන් 842න් 347ක්ම ගෑස් ළිප්වල වීදුරු මුහුණත පුපුරා යෑම් බවත් 300ක් පමණ වාර්තා වී ඇත්තේ ගෑස් කාන්දුවීම් බවත් ඒ මහතා පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය මාසයේ ගෑස් සිලින්ඩර ලක්‍ෂ 28ක් නිකුත් කර ඇති අතර ඉන් ගෑස් සම්බන්ධ ගැටලූ වාර්තා වී ඇත්තේ 796ක් බවද ලාෆ් සමාගම ගෑස් සිලින්ඩර 280,000ක් නිකුත් කර ඇති බවත් ගැටලූකාරී සිද්ධීන් වාර්තාවී ඇත්තේ 50ක් බවත් දේශබන්ධු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment