‘‘ප‍්‍රාග් ඓතිහාසික මානවයා’’ ලොවට හෙළිකළ අපේ මිනිසා

842

මෑත අතීතයෙන් ඈත අතීතයට පියමං කොට පෘථිවි කුහරය තුළ පවතින යථාර්ථය සිතුවම් කළ ජගත් කීර්තිධර දැරණියගලයන් 1942 රුවන්පුරදී උපත ලැබීය. ආචාර්ය දැරණියගලයන් 1968 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් සහකාර ධුරයට පත් ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා විය. එතුමා එදා මෙදාතුර පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට විස්මය දනවන සොයා ගැනීම් රාශියක් දායාද කොට ඇත. පරණවිතාන සූරීන් නැවැත්වූ තැනින් ගමන ආරම්භ කළ මෙතුමා උපන් නූපන් හෙළ පරපුරට හෙළයන් කවුද යන්න හෙළයන්ටම හඳුනාගත හැකි අපූරු කැඩපතක ඡායා මතු කොට දක්වා තිබේ.

පුරාවිද්‍යා මූලධර්මවලට අනුව පුරාවිද්‍යාඥයාට මහ පොළොවේ සීමා මායිම් පැනවිය නොහැක. සමස්ත මහ පොළොව විනිවිද දැකීමේ අයිතිය ස්වභාවයෙන්ම ඔහු සතුය. දිය යට කිමිදෙන කිමිදුම්කරුවන් මුහුදු පතුලේ අසිරිය විදහා දක්වන්නාක් මෙන් අප වීරයා තම භාරධූර වගකීම සියතට ගෙන ලෝකුහරය තුළට පිවිස, අදින් වසර 40000කට පෙර ප‍්‍රාග් ඓතිහාසික යුගයට අපව කැඳවාගෙන යමින් ලොව කිසිම රටකට නොදෙවෙනි පාහියංගල අපේ ස්වදේශික ඥාතියාගේ වික‍්‍රමයත් මතු කොට ලොවට හෙළිදරව් කිරීම අතිශයින් විස්මය දනවන්නකි.

සිරාන් යූ. දැරණියගල සූරීන් අහම්බෙන් පුරාවිද්‍යාවට අත ගැසූ කෙනෙකු නොවේ. තම පියාගේ අභාසය ඔස්සේ පුරාවිදු කෙත අස්වැද්දුවෙකි. පුරාවිද්‍යාව කෙරේ පැවති නොතිත් ආශාව හේතුකොට ගෙන ප‍්‍රාග් ඓතිහාසික යුගයක් පිළිබඳ වැඩිමනන් තොරතුරු හඹාගිය ගවේශකයෙකි. එපමණක් නොව තම පිය පරපුරට දැඩි ඇල්මක් දැක්වූ වාස්තුවිද්‍යා විෂය කෙරේ විශේෂ උනන්දුවක් දැක්වූ හෙතෙම කේම්බි‍්‍රජ් සරසවියට ඇතුළු වී වසර 3ක වාස්තු විද්‍යා පාඨමාලාවක් ද හැදෑරීය. එහෙන් ඔහුගේ හද සන්තානයේ නිධන්ගතව තිබූ සංස්කෘතික බැඳීම නිසාම සිමෙන්ති, බදාම, කොන්කී‍්‍රට් සිරගෙවලින් මිදී එළිමහනේ රැඳී සිටීමට පුළුවන් විදියේ සංස්කෘතියකට සමීප වන්නට ඔහු හිත හදා ගත්තේය.

තම ඒකායන ඉලක්කය වූ පුරාවිද්‍යා ගවේෂණය සඳහා යම් පිටිවහලක් ලැබේවි යැයි අධිමනින් භෞතික මානවවිද්‍යාව හදාරන්නට විය.

60 දශකය වන තෙක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කොට තිබුණේ ඓතිහාසික පුරාවිද්‍යාව ගැන පමණි. ප‍්‍රාග් ඓතිහාසික යුගයන් ගැන අවධානය නොකළ තරම්. මේ අතරේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා මෙරටට පැමිණි ඔහු 1969 තනිවම තම ප‍්‍රථම කැණීම ආරම්භ කරමින් අනුරාධපුර සිද්ධස්ථාන නොවන භූමියක සාමාන්‍ය මිනිසුන් ජීවත් වූයේ කෙසේද යන්න ගවේෂණය කළේය. නවීන විද්‍යාත්මක ක‍්‍රම මත පදනම්ව කළ මුල්ම කැණීම එයයි. ඒ අනුව කලාව, සාහිත්‍ය, ශිලා ලේඛනවලට පමණක් සීමා වෙලා තිබුණු පුරාවිද්‍යාව වෙනත් දිශාවකට යොමු කිරීමට ඔහුට හැකි විය. වංශකතාවලට අනුව අනුරාධපුරයේ මුල් ආරම්භය තිබිල තියෙන්නේ කි‍්‍ර. පූ. 500 විතර කාලේ. එහෙත් කාබන් 14 කාල නිර්ණයට අනුව ඊටත් වඩා අවුරුදු 200කට එහා දිවෙන පැරණි යුගයක් ගැන ඔහු සොයා ගෙන ඇත. අනුරාධපුර ඇතුල්නුවර අක්කර 200ක පමණ භූමි භාගයේ තැනින් තැන අඩි 30ක් තරම් පොළොව යටට කැණීම් කොට මතු කර ගන්නා ලද වැදගත්ම දෙය වූයේ කි‍්‍ර. පූ. 800 – 900 අතර කාලයේ සිටම අනුරාධපුරයේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා කියන එකයි. එම කාලය තුළ යකඩ භාවිතය, අශ්වයන් ඇති කිරීම සහ තවත් තාක්ෂණික කි‍්‍රයාකාරකම් පැවති බවට සාක්ෂි හමුවී තිබේ. එකල අනුරාධපුර විශාල නගරයක්ව තිබූ බවත්, කි‍්‍ර. පූ. 500 පමණ වනවිට අක්ෂණ භාවිතය දියුණු මට්ටමක පැවති බවත් අප රටේ බ‍්‍රාහ්මී අක්ෂර මාලාවට ඒ තරම් අතීතයක් තිබුණ බවට බොහෝ දෙනා දැන නොසිටි බවත් ඔහුගේ අදහසයි.

ඊළඟ අදියරේදී ඔහු විශේෂ අවධානය යොමු කළේ ඔහු සැමවිටම පි‍්‍රය කළ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු මතු කර ගැනීමටයි. ඔහු උපන් ප‍්‍රදේශය වූ රත්නපුර පතල් කැණීම්වලින් වැදගත් ඓතිහාසික තොරතුරු හමුවුවත් එම නිධිවල අවුල් සහගත බවක් පෙන්නුම් කළ බැවින් එම ව්‍යායාමය අතහැර දමා තම නිරීක්ෂණ කටයුතු යාල සහ විල්පත්තු අභය භූමි හරහා සිදු කිරීමට කල්පනා කළේය. මෙලෙස තම ගමන් මඟ වෙනස් කිරීමට බලපෑ තවත් විශේෂ කරුණක් විය. 1915 – 1919 අතර කාලයේ භූවිද්‍යාඥයෙක්ව සිටි වේරන් නමැත්තා උක්ත ප‍්‍රදේශවල මුහුද ආශි‍්‍රත වෙරළේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පවතින බවට වාර්තා කර තිබීමයි.

එම සංඥාව ඔස්සේ කි‍්‍රයාත්මක වූ ඔහු විල්පත්තුවේ පුරාණ වැලි කඳු නිරීක්ෂණය කොට එම ප‍්‍රදේශවල ප‍්‍රාග් මානවයා ජීවත් වූ බවට සාක්ෂි සටහන් කර ගත්තේය. එම ප‍්‍රදේශයේ පස තද රතු පාටින් යුක්ත වීම නිසා විශේෂයෙන් සැලකිලිමත් විය. යාල, කුමන, මාන්කුලම් කේන්ද්‍ර කරගෙන ඉරණමඩු, මුලතිව්, යාපනය සිසාරා මේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා සෙවීමට ඔහු වෑයම් කළේය. එම ගවේෂණයේදී බුන්දල ප‍්‍රදේශයේ ප‍්‍රාග් මානවයා ජීවත් වූ බවට සාක්ෂි හමුවිය. රතු පස් නිධි ආශි‍්‍රතව කරන ලද කැණිම්වලදී ගලින් නිමවනු ලැබූ ගල් කටු සහ තවත් මෙවලම් රාශියක් මතු කර ගන්නා ලදී. එම ප‍්‍රදේශ වසර 125000ක් පැරණි බවට කාල නිර්ණය කර ඇත.

දැරණියගල සූරීන් වරක් හාවඞ් විශ්වවිද්‍යාලයෙන් ලද ශිෂ්‍යත්වයකට ඇමරිකාවට ගොස් නැවත ලංකාවට පැමිණි ඔහුට එහිදී ලැබුණ පුළුල් දැනුම උපයෝගි කර ගනිිමින් සබරගමුව ප‍්‍රදේශයේ ගල්ලෙන් නිරීක්ෂණය කිරීමට පියවර ගත්තේය. ඒ අනුව 1978 කුරුවිට බටදොඹ ලෙන සහ කිතුල්ගල බෙලිලෙන නිරීක්ෂණයට ලක්විය. ලෙන් ආශි‍්‍රත පස තෙතමනයට ලක් නොවීම නිසාත් වැලි කඳුවල තිබෙන සාක්ෂි විනාශ වීමට අවකාශ ඇති නිසාත් ලෙන්වලින් හමුවන සාක්ෂි ඇටකටු, අඟුරු ආදී ද්‍රව්‍යයන්ගෙන් අංගසම්පූර්ණ තොරතුරු ලබාගත හැකිවේ යැයි ඔහු විශ්වාස කළේය. මීට අවුරුදු 40000කට පෙර දකුණු ආසියාවේ ජීවත් වූ පැරණිතම නවීන මානවයා සොයාගෙන තිබෙන්නේ අපේ රටේ පාහියන් ලෙන තුළිනි. කාබන් කාල නිර්ණය අනුව මෙවැනි ලෙන් තුළින් ලැබෙන තොරතුරු සැකයකින් තොරව කාල නිර්ණය කිරීමට හැකිව තිබේ.

බලංගොඩ මානවයා කියන්නේ අප වගේ නවීන මානවයකුගේ ස්වරූපය සහිත ශිලා යුගයට අයත් මානවයකු බව අපේ පුරාවිද්‍යා වීරයා අදහස් කරයි. අවුරුදු ලක්ෂයකට කලින් ඉඳලම නවීන මානවයා ලොව සිටි බවත්, එහෙත් ඇතැමුන් ඔහු අපි‍්‍රකාවේ සිට ව්‍යාප්ත වුණ බවට මත පළ කරන බවත් දැරණියගලයන්ගේ අදහසයි. දැන් අප අයත් වන හෝමෝසේපියන්ස් කියන මානවයාම තමයි, අවුරුදු ලක්ෂයකට කලින් ඉඳල තියෙන්නේ. බලංගොඩ සංස්කෘතිය ලංකාවට සීමා වුණ එකක් බවත් ලෝක මට්ටමෙන් කතා කළාම (මෙසොලිතික) ඔහු මධ්‍ය ශිලා යුගයට අයිති බවයි දැරණියගලයන් පවසන්නේ. එහෙත් එම යුගයට අයත් සංස්කෘතියක් එකල ඉන්දියාවෙත් පැවති බව ඔහු සොයා ගෙන තිබේ.

1970 දී හෝර්ටන්තැන්නේ ඔහු විසින් කළ ගවේෂණයේදී ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන 22ක් හඳුනා ගැනීමට හැකිව තිබේ. සුළං බලය පමණක් භාවිතා කොට යකඩ උණු කිරීමේ තාක්ෂණය එදා සිටි මානවයා සතුව පැවති බව එතුමාගේ මතයයි. අප රටේ සිංහයන් සිටි බවට ද මතයක් පළ කරන ඔහු 1984 කුරුවිට බටදොඹ ලෙන කැණීමේදී මේ සිංහයා අවුරුදු 12000 – 15000 අතර කාලයේ ජීවත් වූ බව සොයාගෙන තිබේ. කෞතුකාගාරය තුළ තිබෙන සිංහ දත් රත්නපුර මැණික් පතලයකින් සොයාගෙන ඇති බව පැවසේ.

මීට අවුරුදු 30කට ප‍්‍රථම ලූණුගල පතල්වල කරන ලද කැණීම්වලින් අවුරුදු 125000ක් තරම් පැරණි රයිනෝසිරස්ලාගේ සහ හිපපොටේමස්ලාගේ ද විස්මිත තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ.

ඇතැම් භූ සමීක්ෂණවලට අනුව කඳු මුදුන්වල සිප්පි කටු හමුවීම හේතුවෙන් එම කඳු මුදුන් ඈත අතීතයේදී මුහුදින් යටව තිබී පසුව උත්ශිප්ත වූවා යැයි මතයක් පවතී. එහෙත් එම මතය බැහැර කරන දැරණියගල සූරීන් ඊට පදනමක් නැති බවත් කඳු මුදුන්වල සිප්පි කටු නොතිබූ බවත්, එම කඳු මුදුන්වලින් හමුවූ බෙලිකටු ප‍්‍රාග් මානවයන් ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු විය හැකි බවත් එතුමාගේ දැඩි ස්ථාවරයයි. ඒ ආකාරයට බුන්දලින් හමුවූ බෙලිකටු කි‍්‍ර. පූ. 1000, 1500 තරම් පැරණි බවට කාල නිර්ණය කර ඇත.

අප තාමන් කැණීම් කර තිබෙන්නේ 1/10000ක් බවත් 9999ක් තාමත් තිබෙන්නේ පොළොව යට බවත් ජාත්‍යන්තර මට්ටමට අනුව හරියටම කැණීම් කළ නොහැකි බවත් එම නිසා පොළොවට හානි කරන්නේ නැතිව ඒවා පොළොව යට එලෙසම පවතින්නට හැරිම ඥානාන්විත බවත් ඔහුගේ අදහසයි. අප රටේ ඓතිහාසික නටබුන් 100000කට අධික සංඛ්‍යාවක් පවතින බව ඔහු තක්සේරු කර ඇත. අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තු සංරක්ෂණය කිරීම, ලේඛනගත කිරීම, නඩත්තු කිරීම, පුරාවිද්‍යා අධිකාරියේ යුතුකම සහ වගකීම බව එතුමා විසින් විටින් විට පෙන්වා දී ඇත.

මෙලෙස ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පිළිබඳ ඔහු සතුව තිබූ දැනුම් සම්භාරය මුළු ලෝකයාම කම්පනයට පත් කරන්නට තරම් ප‍්‍රබල වූ බවත් දියත පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට එම කරුණු කාරණා ඉවහල් වී ඇති බවත් අප ආඩම්බරයෙන් සිහිපත් කරමු. එහෙත් කනගාටුවට කරුණ නම් උපන් රටේ එතුමා පිළිබඳ නිසි අගැයීමක් කළා ද යන්නයි. එතුමාට නිවන් සුව!

චන්ද්‍රසේන කීඩිගේහෙට්ටි

advertistmentadvertistment
advertistmentadvertistment