බංකොලොත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාව බේරා ගැනීමට නොව රට අස්ථාවර කිරීමටයි

103

‘‘හැමදාමත් බොරදියේ මාළු බාන, දේශපාලන වශයෙන් බංකොළොත් වී කුහක වෛරී දේශපාලනයක නිරත අතළොස්සක පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ රට අස්ථාවර කර ඒ අයට අවශ්‍ය දේශපාලන වේදිකාව හදා ගැනීමට මිස ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමට නොවේ’’ යැයි වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

 බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පෙරේදා (26 දා* පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඇමැතිවරයා මෙසේද කීය.

 කොවිඞ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා එන්නත් කිරීමේ කටයුතු කරගෙන යනවා. මේ වනවිට අප රටේ ජනගහනයෙන් සියයට 56 කට පළමු මාත‍්‍රාව දී තිබෙනවා. සියයට 27 කට පමණ මාත‍්‍රා දෙකම ලබාදී අවසන්. මේ රෝගයෙන් ගැළවීමට තිබෙන එකම ක‍්‍රමවේදය එන්නත බව ලෝකය පිළිගෙන තිබෙනවා. ඒ නිසයි ඉතාම ඉක්මනින් මේ එන්නත අපේ රටේ ජනතාවට ලබාදීම කෙරෙන්නේ.

 වසංගතයෙන් මියයන ප‍්‍රමාණය බැලූවම වැඩිම ප‍්‍රතිශතයක් මියයන්නේ කිසිදු මාත‍්‍රාවක් ලබා නොගත් වැඩිහිටියන්. මේ නිසයි රජයක් හැටියට අවුරුදු 60 ට වැඩි සියලූ වැඩිහිටියන් එන්නත්කරණය කෙරෙන්නේ. එන්නත ලබා ගැනීමට පැමිණීමට නොහැකි වැඩිහිටියන් සියලූ දෙනාටම නිවසටම ගොස් එන්නත ලබාදීම ගමින් ගමට ගොස් කරනවා. එළඹෙන සැප්තැම්බර් අග වනවිට මේ රටේ සමස්ත ජනතාවට එන්නත ලබාදී අවසන් කර රට විවෘත කර සියලූ අංශ නඟාසිටුවා ආර්ථික වශයෙන් රට ගොඩගෙන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා.

 ලොව සෑම රටක්ම මෙම ගෝලීය වසංගතයට මුහුණදී ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අප රටේත් ඒ සියලූ ආදායම් මාර්ගවල දොරගුළු වැසී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වසර දෙකකට ආසන්න කාලයක සිට ලැබෙන්නේ නැහැ. එය සම්පූර්ණයෙන් කඩා වැටිලා. මේ ව්‍යාපාරය නැවත පණගැන්විය යුතුයි.

 වෛරසය තුරන් කිරීමට උත්සාහ කරන ගමන් අපේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රට විවෘත විය යුතුයි. සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ යුතුයි. ඒ වගේම කර්මාන්තශාලා අනිවාර්යෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. පසුගිය මාසය බැලූවම අපනයන ක්ෂේත‍්‍රයේ හොඳ වර්ධනයක් තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා අපනයන ක්ෂේත‍්‍රයට විශාල දායකත්වයක් ලබාදෙනවා.

 රට වසා තිබුණත් ලක්ෂ 15 ක් පමණ සිටින රාජ්‍ය සේවකයන්ට වැටුප් ලැබෙනවා. නමුත් මේ රටේ එදිනෙදා රැුකියාවක් කරගෙන ජීවත්වන ජනතාවට ඒ ආදායම් මාර්ග අහිමි ජනතාව විශාල ප‍්‍රමාණයක් සිටිනවා. ඒ අහිංසක ජනතාව රජයක් ලෙස රැුක බලා ගත යුතුයි.

 මේ සියල්ල මනාව පාලනය කරගෙන රජය කටයුතු කරමින් සිටින විට විපක්ෂය ඊට හරස් වෙමින් කටයුතු කරනවා. රට වැහුවම කර්මාන්තශාලාත් වහන්නලූ. මෙහෙම කියන්නේ පපුව ඇතුළේ වෙනත් දෙයක් තියාගෙනයි. කර්මාන්තශාලා වහලා අපනයන ක්ෂේත‍්‍රය කඩාවැටුණම, රටට එන විදේශ විනිමය අහිමි වෙනවා. එමගින් රටට ලැබෙන ඩොලර් අහිමිවෙන කොට රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ ගේන්න බැරි වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවුණාම ආණ්ඩුව ගෙදර යන්න කියන සටන් පාඨයත් අරගෙන විපක්ෂය පාරට බහිනවා. මේකට තමයි විපක්ෂය සූදානම් වන්නේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment