බංකොලොත් රටක ජනතාව ජනාධිපතිට පිං සිද්ධවෙන්න මෙදා හොඳින් අවුරුදු කෑවා – වජිර අබේවර්ධන

89

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික මහජනතාවට විශේෂ අවුරුද්දක් බවත්, බංකොලොත් වූ රටක ජනතාවට මෙවර අලුත් අවුරුද්ද ඉතා හරසරින් සැමරීමට හැකි වුණේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් නිසා බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පසුගිය සෙනසුරාදා (15 දා) ගාල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ අලුත් අවුරුද්දෙන් පසු වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අවුරුද්ද සැමරූ ලෙසම ඉදිරියේදී පැමිණෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය වගේම අනෙකුත් ජාතික උත්සවත් ශ්‍රී ලාංකික ජනතාවට සමරන්න හැකියාව ලැබෙනවා.

මේ අවස්ථාව ශ්‍රී ලාංකික ජනතාවට උදාවුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. එතුමා රට භාරනොගත්තා නම් මෙවරත් අපිට මේ උත්සව පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වගකිව යුතු පුද්ගලයන්, රට කඩාවැටෙන අවස්ථාවේදී රටේ වගකීම් භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී නොබියව ඉදිරියට පැමිණ කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තා. ඒ රටේ සමස්ත මහජනතාව වෙනුවෙනුයි. ජාතියක් ඉතා විශාල නරක තැනකට තල්ලු වෙනකොට, ජාතියක් බංකොලොත් වූ අවස්ථාවක ඉන් මුදාගෙන රට ඉක්මනින් ම නැවත යථා තත්ත්වයට පත්කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා.

සුවහසක් ජනතාව දුක් විඳින අවස්ථාවක රට සහලින් ස්වයංපෝෂිත කරලා, ඒ සහල් අහිංසක මිනිසුන්ට නොමිලේම බෙදාදීලා ඔවුන්ගේ ගෙවල්වල කිරිබතක් ඉදෙන තැනට රට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ නිසා ශ්‍රී ලාංකික ජනතාව ඉදිරි වසර 12 ක 15 ක කාලය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා ඉදිරි වසර කිහිපය තුළ අපේ රට ලබාගෙන තිබෙන සමස්ත ණය ප්‍රමාණය ගෙවා ඉවර කර, ලෝකයේ රටවලට ණය දෙන රටක් බවට මේ රට පත් කරනවා කියලා. ඒ ගැන ශ්‍රී ලාංකික ජනතාව පොඩිමවත් සැකයක් තබාගත යුතු නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන් ම සාර්ථක කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ තරුණ ළමයි රැකියා සොයාගෙන වෙනත් රටවලට යනවා වෙනුවට ලෝකයේ ළමයි අපේ රටට පැමිණ රැකියා කරන තැනක් බවට මේ රට පරිවර්තනය කරනවා කියලත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නම් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ශ්‍රී ලාංකික මහජනතාව ඉතා හොඳ අවබෝධයෙන් කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ තැනකට පත්කර ගත හැකි බව මා මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි.

අහංගම සුගතපාල දීයගහගේ, උණවටුන ඩී. පී. සුගතපාල

advertistmentadvertistment
advertistmentadvertistment