බංකොලොත් රටේ ඩොලර් මිලියන 90ක මගඩියක්

1001

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන ‘හදිසි’ ආධාරවලට මහ කන්නය සඳහා ලබා දෙන යූරියා මෙන්ම ඖෂධ, බීජ සහ පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් ඇතුළත් වන බව ද ප්‍රකාශ කළාය. ඒ විදේශ ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇයව ජූලි 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඇයව දැනුවත් කළ අමාත්‍ය පීරිස්, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, මේ වන විට රජය නව අයවැයක් සකස් කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක විදේශ අමාත්‍යවරයා සමඟ කළ ප්‍රකාශයෙන් දින හතරකට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන්නේ බංකොලොත් වූ රටක් ලෙස බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ද පසෙකින් තබාගෙනය.

ශ්‍රී ලංකාව විනාශ කළ කයිවාරු දේශපාලනයට බංකොලොත් රට තිත තබා ඇත. තවදුරටත් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට) ජනතාව කිසිසේත් රැවටිය නොහැක. නිදහසින් පසුව පළමුවරට විධායකය සහ ව්‍යවස්ථාදායකය ගිරයට හසු වූ පුවක් ගෙඩියක තත්ත්වයට පත්වී ඇත. ගිරය සමස්ත ජනතාවයි.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ජනතාවට උහුලාගත නොහැකි ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය විමසා බැලිය යුත්තේ එක්සත් ජාතීන්ගෙන් මානුෂීය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව යටත් කර ඇති බව අවධාරණය කරමිනි.

වගකීම් විරහිත, දූෂිත, ආඩම්බරකාර පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව ජනතා කෝපය පුපුරා ගියේ පසුගිය මාර්තු 31 දින ජනාධිපතිවරයාගේ මිරිහාන පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය අභියස ය. ඇඳිරි නීතිය නොසලකා අප්‍රේල් 03 රට පුරා විරෝධතා පැවති අතර අප්‍රේල් 09 ජනාධිපතිවරයා ඉලක්ක කරගත් මෙහෙයුමක් ගාලු මුවදොර ආරම්භ විය. අරලියගහ මන්දිරය මැයි 09 දින ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව කළ ප්‍රහාරය සහ ඊට එල්ලවූ ඉතාමත් සංවිධානාත්මක ප්‍රති ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට වහාම ඉල්ලා අස්වීමට සිදු විය.

අස්ථාවර දේශපාලන තත්ත්වය සමස්ත රටම අකර්මණ්‍ය කළ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය මැයි 12 දින භාර ගත්තේය. ඒ ශ්‍රී ලංකාව බංකොලොත් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කිරීමට සතියකට පෙරය.

නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් රටට විහිළු සපයමින් සිටී. මෙම අතිශය අර්බුදකාරී තත්ත්වය යටතේ රටට අවශ්‍ය නිසි නායකත්වය දීමට පාර්ලිමේන්තුව අසමත් වී ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් වර්තමාන කැබිනට් මණ්ඩලය වගකීම ගත යුතුය. රටට අබමල් රේණුවක තරම්වත් ආදරයක් ඇතිනම් සියලුම පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් කැපකිරීම් කිරීමට පසුබට වන්නේ නැත. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් වර්තමාන කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇත.

නමුත් කැබිනට් මණ්ඩලය අර්බුදයේ සැබෑ ස්වරූපය තවමත් තේරුම් ගෙන නැත. වේගයෙන් වර්ධනය වෙමින් පවතින ව්‍යසනකාරී තර්ජනය මධ්‍යයේ වුවද පරණ පුරුදු සෙල්ලම ආණ්ඩුව කරන බව අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ නායකත්වයෙන් සහ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්නගේ සහභාගිත්වයෙන් පසුගිය ජුලි 5 දින රැස්වූයේ ජාතික ගෑස් සැපයුම්කරු ලිට්රෝ සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ය. දිනපතා විදුලි කැපීම, ගෑස්, ඩීසල්, පෙට්‍රල්, ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා කප්පාදුවකට මුහුණ දී සිටින සමස්ත ජනතාවගෙන් 99% පිරිස අන්ත අසරණ වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ වුවද රජය කිසිදු වගකීමකින් කටයුතු නොකරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේදී හෙළි විය. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ අදාළ විමර්ශනයට භාජනය වී ඇති ආන්දෝලනාත්මක ගනුදෙනුව මැයි 12 දින පිහිටු වූ වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවී ඇත.

ජනතාව හාමතේ තෙල් පෝලිම්වල මියයන, එල්. පී. ගෑස් නොමැතිව මිනී ආදාහනය නැවතී ඇති, පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති රටක මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙවැනි ගනුදෙනු විය හැකිද? ලජ්ජාවක්, චකිතයක් ඇත්තෙම නැද්ද?

රට බංකොලොත් වී ඇති බවට ආණ්ඩුව පිළිගෙන ඇත. එසේ නම් අඩු මිලට ගෑස් ටෙන්ඩරයක් පිරිනමා තිබෙද්දී එය අවලංගු කර ඉතාමත් වැඩි ගණනකට වෙනත් සමාගමකින් එම මිලදී ගැනීම සම්බන්ධයෙන් අදාළ කාරක සභාවේ අවධානය යොමු වී ඇත. ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණයක් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කොටස් 99% හිමි ලිට්රෝ ආයතනය යොදවන ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විමර්ශනයක් කිරීමට නියමිතය. ආණ්ඩුවේ සැබෑ තත්ත්වය අවධාරණය කරන පොදු ව්‍යාපාර කාරක සභාවේ මෙම ගෑස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වූ දෙබසක් මෙලෙස නැවත උපුටා දක්වමු. මහාචාර්ය චරිත හේරත්: ඕගොල්ලෝ කරන්නේ දැන් මේ අපිට මුදල් ටිකක් හම්බවෙනවා ලෝක බැංකුවෙන්. මේ මුදල් ටික දීලා අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ගෑස් ගන්න අපිට ඕනෑ කරලා තියෙන්නේ. ඒකට ඕගොල්ලෝ තමයි රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද, ඕගොල්ලන්ගේ ආයතනය කරන්නේ මොකක්ද ඒ මාසයේදී ගෙන්න බැරි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා ඒක ඇතුලේ මේක රිජෙක්ට් (ප්‍රතික්ෂේප) කරනවා. අන්තිමට වෙන්නේ මොකක්ද…

ලිට්රෝ සභාපති මුදිත පීරිස්: මට ඉස්සෙල්ල හිටපු සභාපතිතුමා හරහා තමයි…

හේරත්: ඉස්සෙල්ල හිටපු සභාපති තුමා කියන්න මොකක්ද මේකේ තත්ත්වය කියලා…

හිටපු සභාපති ඉංජිනේරු විජිත හේරත්: … මට ඕකට අත්සන් කරන්න බැහැ. ඇමෙරිකානු ඩොලර් 112 හරි, 96 ට තියෙන එක හරි 129 ට අත්සන් කරන්න මම කැමති නැහැ…

ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර: ඒ කියන්නේ සභාපතිතුමාට මේකට කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රයිම් මිනිස්ටර් ඔෆිස් එකේ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමයි අදාළ කැබිනට් පේපර් එක දාන්නේ…

මෙම අවස්ථාවේදී සමගි ජන බලවේගය නියෝජනය කරන එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ලිට්රෝ නායකත්වයට එල්ල කළ ප්‍රශ්න වැදගත්ය. ශ්‍රී ලංකාව ලෝකයෙන්ම උදව් උපකාර ඉල්ලා අඬා වැටෙන මෙම අවස්ථාවේදීවත් අවංකව කටයුතු කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැති බවයි. ලිට්රෝ විමර්ශනය හෙළිදරව් කළේ නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සහ අවිධිමත් ක්‍රියාමාර්ග රට තවදුරටත් ආර්ථිකමය වශයෙන් දුර්වල කරන බවයි.

පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන චරිත හේරත් මන්ත්‍රීවරයාට ද ලජ්ජාවක් ඇත. ඔහු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු නොවුණත්, පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිතයකු ලෙස ‘සාමුහික’ වගකීමෙන් බැඳී ඇත. ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල කරන චෝදනා විමසා බැලිය යුතු වන්නේ එම සියලුම පත්වීම් මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරන බවද අවධාරණය කරමිනි. මුදල් අමාත්‍යාංශය, මුල්‍ය මණ්ඩලය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර කාරක සභාවේදී මෙන්ම මුදල් කාරක සභාවේ හෙළි වූ කරුණු කාරණා අනුව රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබිය නොහැක. මෙම අපරාධයට වගවිය යුතු, වගකිව යුතු සියලුම පුද්ගලයින් හෙළිදරව් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මස ජනාධිපති වූ පසුව ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් කණ්ඩායම ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරදවූ රට ජාත්‍යන්තර ප්‍රජාවෙන් මානුෂීය ආධාර යදින තත්ත්වයට පත් කර ඇත.

යග්ගපිටිය ඉන්ධන පිරවුම් හලේ පසුගියදා ඇතිවූ කලබලකාරී තත්ත්වයක් තුළ තරුණයකුට පා පහරක් එල්ල කිරීම වරදට ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් කුමාරසිංහට එරෙහිව යුද හමුදාපතිවරයා විනය ක්‍රියාමාර්ග ගත් බව ප්‍රකාශ විය. නමුත් ශ්‍රී ලංකාව ඒ අවාසනාවන්ත තත්ත්වයට තල්ලු කළ දූෂිත රැල වෙත ජනතාවගේ සහ මාධ්‍යයේ නිසි අවධානය යොමු වන්නේ නැත. තෙල් පිරවුම්හල සහ එල්. පී. ගෑස් බෙදාහරින ස්ථාන අසල ආරක්ෂක හමුදා ස්ථානගත කිරීමට සිදුවීම සිවිල් පරිපාලනය කඩා වැටී ඇති බව අවධාරණය කරන ප්‍රධාන සාධකයකි. පා පහර දුන් හමුදා නිලධාරියා වෙනුවෙන් ලියුම්කරු පෙනී සිටින්නේ නැත. නමුත් ආර්ථිකය කඩා වැටීම තුළ සමස්ත ජනතාව මුහුණ දෙන අතිශය පීඩාකාරී තත්ත්වයට ආරක්ෂා හමුදා සහ පොලිසිය ද මුහුණ දෙන බව අමතක නොකරන්න. කුමන පක්ෂය/සන්ධානය බලයේ සිටියත්, පොදු හතුරා කවුරු දැයි අමතක නොකරන්න. පාර්ලිමේන්තු කාරක සභා රජයේ ආයතන සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තා අනුව පොදු හතුරා ආණ්ඩුව (කවුරු බලයේ සිටියත්) බව පැහැදිලිය. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2006 සිට කළ මුදල් අවභාවිතාව හේතුවෙන් සහ 2019 ජනාධිපතිවරණයෙන් පසුව වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා පෝලිම් යුගය ඇති විය. පෝලිම්වල ආරක්ෂක හමුදා සහ ජනතාව මෙන්ම ආරක්ෂක හමුදා අසල පොලිසිය අතර ද ගැටුම්කාරී තත්ත්වයක් ඇත. ඒ ගැටුම් දකින මාධ්‍ය සමහර විට එවැනි තත්ත්වයක් ඇතිකළ වුන් සම්බන්ධයෙන් සමස්තයක් ලෙස නිශ්ශබ්දය.

ලිට්රෝ ගනුදෙනුව අවධාරණය කරන්නේ ජනතාවට වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තබා ගත නොහැකි බවයි. පොහොට්ටු ආණ්ඩුව පත්වූ සැනින් පත් කළ පළමු ලිට්රෝ සභාපති වූ අනිල් කොස්වත්ත රාජ්‍ය විගණනය නවතා දැම්මේය. පොදු ව්‍යාපාර කාරක සභාව ඊට විරුද්ධ විය. සභාපතිවරයා එම විරෝධතාවය නොසලකා හැරියේය. ඔහු නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසරය ඇතිවය. ලිට්රෝ සමාගම රුපියල් ලක්ෂ 220 ක් පමණ නීතිඥ ගාස්තු ගෙවීය. එම නීතිඥයින් අතර නව ව්‍යවස්ථා යෝජනාවලිය සැකසූ 9 දෙනකුගෙන් යුත් කණ්ඩායමට නායකත්වය දුන් රොමේෂ් ද සිල්වා සහ මුදල් මණ්ඩලයේ සාමාජික සංජිව ජයවර්ධන ද විය. ඒ දෙදෙනාම ජනාධිපති නීතිඥවරු ය.

ලිට්රෝ – පාර්ලිමේන්තු ගැටුම වර්ධනය වීම පසුබිම තුළ වියත්මග සාමාජිකයකු වූ තෙෂාර ජයසිංහ ලිට්රෝ සභාපති ධුරයට පත් විය. ඒ 2021 ජුලි 06 දිනය. ඔහු නඩුව ඉවත් කර ගත්තේ ජනාධිපතිවරයාව ද දැනුවත් කිරීමෙන් පසුවය. තෙෂාර ජයසිංහ 2022 අප්‍රේල් 14 දින ඉවත් විය. එම තනතුරට ඉංජිනේරු විජිත හේරත් පත් විය. මිරිහානේ පිපිරීමත් සමඟම ඇතිවූ ආණ්ඩු දේශපාලන පෙරළියෙන් පසුව මුදිත පිරිස් ලිට්රෝ සභාපති ධුරයට පත් විය. අර්බුදකාරී ගෑස් ගනුදෙනුවට තමන් අත්සන් නොකළ බවට ජුලි 05 දින ප්‍රකාශ කළ ඉංජිනේරු විජිත හේරත් ලිට්රෝ හි මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් විය. මෙහිදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස තෙෂාර ජයසිංහ ඉවත් කර පොහොට්ටු පක්ෂයේ නිලධාරියෙකු වූ රේණුක පෙරේරා ලිට්රෝ සභාපති කළ බව අපට මතකය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවතත් තෙෂාර ජයසිංහ එම තනතුරට පත් කළේය. රේණුක පෙරේරාට ද වහාම තනතුරක් දීමට අවශ්‍ය විය. මිල්කෝ ආයතනය ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කළ ලසන්ත වික්‍රමසිංහ ඉවත් කර එහි සභාපති ලෙස රේණුක පෙරේරා පත් කළේය. මැයි 09 දින අරලියගහ මන්දිරයට රැස්වූ පොහොට්ටු කණ්ඩායම සමඟ ඔහු ද විය.

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පොහොට්ටු ආණ්ඩුව ක්‍රියා කර ඇත්තේ කිසිදු වගකීමකින් තොරවය. ලිට්රෝ ට අමතරව තවත් රාජ්‍ය ආයතන විගණන ක්‍රියාවලියෙන් බැහැර වීමට කටයුතු කරන බවට මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැත. නමුත් පොදු ව්‍යාපාර, මුදල් සහ ගිණුම් පිළිබඳ කාරක සභා ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇත. එම ක්‍රියාදාමය තුළින් හෙළිදරව් වන දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සහ ඊට වගකිවයුතු පුද්ගලයින්ට සුදුසු දඬුවම් දීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමයි. ශ්‍රී ලංකාව සිඟමනට පත් කළ හොර හැත්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු දැකීම ජනතාවගේ අභිලාෂයයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment