බංග්ලාදේශයත් සුපිරි වටයට ළං වෙයි

528

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (21 වැනිදා) පැවැති තරගයේදී  පැපුවානිව්ගිනියා කණ්ඩායමට එරෙහිව ලකුණු 84ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එ් අනුව මූලික වටයේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි වටයට කරා යන ගමන තවත් පියවරකින් ස්ථිර කර ගැනීමට ඔවුහු සමත් වූහ.

 ජයග‍්‍රහණය සඳහා ලකුණු 182ක අපහසු ඉලක්කයක් හඹා ගිය පැපුවානිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 19.3කදී මුළු ලකුණු 97කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ෂකීබ් අල් හසන් සිය පන්දුවාර 4 තුළදී ප‍්‍රතිවාදීන් වෙනුවෙන් ලකුණු 9ක් පමණක් ලබා දී කඩුලූ 4ක් බිඳ දැමීමට සමත් විය. එය තමාගේ විස්සයි විස්ස කි‍්‍රකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සටහන් වීම කැපී පෙණුනි.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාද්ශය පන්දුවාර 20 තුළදී කඩුලූ 7ක් දැවී ලකුණු 181ක දැවැන්ත අභියෝගයක් පැපුවානිව්ගිනියා කණ්ඩායමට ලබා දුන්නේය. නායක මහමුදුල්ලා පන්දු 28කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 50ක් සහ ෂකීබ් අල් හසන් පන්දු 37කදී ලකුණු 46ක් වාර්තා කළේය. ලිටන් දාස් පන්දු 23කදී ලකුණු 29ක් සහ මොහොමඞ් සයිෆුඩින් පන්දු 6කදී නොදැවී ලකුණු 19ක් වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment