බංග්ලාදේශයෙන් විනිසුරුවරුන්ට දෝස් මුරයක්

517

දකුණු අප‍්‍රිකාව සමඟ කින්ග්ස්මීඩ් හි පැවැත්වූ ටෙස්ට් තරගයේදී විනිසුරුවන් වූ ඒඩි‍්‍රයන් හෝල්ස්ටොක් හා මරායස් එරස්මස් යන විනිසුරුවන්ගේ ඇතැම් තීරණ පිළිබඳව අයි.සී.සී. වෙත පැමිණිල්ලක් කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙයි.

සත්කාරක දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබා දුන් තීරණ කිහිපයක් ද දැඩි කතාබහට ලක්වූ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ නායක එමිනුල් හක් පවසා සිටියේ ඔහුට පිටියේදී දැඩි ලෙස වාග් ප‍්‍රහාර එල්ල වූ බවයි.

‘‘තරගාවලියට පසුව අපි නිල වශයෙන් අයි.සී.සී. වෙත පැමිණිල්ලක් යොමු කරනවා’’ බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති ජලාල් යුනුස් පවසා සිටියේය. එමෙන්ම ඔහු මෙසේද පවසා සිටියේය.

ලෝකයම දැක්කා විනිසුරු තීරණ ගැන. අපිට මොකුත් කියන්න බැහැ. මොකද ඒක තමා අවසන් තීරණය. නමුත් ෆෝර්ට් එලිසබෙත් හි ටෙස්ට් තරගයෙන් අනතුරුව අපි කරන්න පුළුවන් දේවල් බලනවා.

එමිනුල් හට එල්ල වූ වාග් ප‍්‍රහාර ගැන ඔහු සිය කනස්සල්ල ප‍්‍රකාශ කළා. ඒ වගේම අපි හිතනවා විනිසුරුවන් ඒ ගැන කණ්ඩායම් දෙකටම කතා කර යුතුව තිබුණා. නමුත් ඒ වෙනුවට ඔවුන් කළේ අපේ ක‍්‍රීඩකයන්ට අවවාද කළ එක.

ජලාල් තවදුරටත් පවසා සිටියේ පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය ආරම්භ වීම පමා වූවත් විනිසුරුවන් එම නැති වූ කාලය නැවත ලබා ගැනීමට උත්සහ නොකිරීම ගැන සිය කනස්සල්ල පළ කරන බවයි.

ඒ නැති වූ පැය භාගය ලබා ගන්නට තරගය කලින් පටන් ගන්නවා වෙනුවට ඔවුන් කළේ දිවා ආහාර විවේකය දිගු කරපු එක. ඒක විනිසුරුගේ තීරණයක් තමා. නමුත් සාමාන්‍යයෙන් කරන්නේ තරගය කලින් පටන් ගන්න එක. අපිට තේරුණේ ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ අපේ වේගපන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්න.

advertistmentadvertistment
advertistmentadvertistment