බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සැර පිළිතුරක්

514

චිතගොං තණ තීරුවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළ සත්කාරක බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) දිනය නිමාවන විටදී සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 318ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයකට පත්වී සිටියහ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 79ක් පමණක් පිටුපසින් පසුවේ.

තෙවැනි දිනට ඊයේ පෙරවරුවේ තරගය ආරම්භ කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 76ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මහමුදුල් හසාන් ජොයි ලකුණු 31ක් සහ ටමිම් ඉක්බාල් ලකුණු 35ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ටමීම්ගේ එම ඉනිම ඊයේ දිනයේදී ශතකයක් දක්වා දීර්ඝ කිරීමට ඔහු සමත් වෙද්දී මහමුදුල්ගේ ඉනිම අර්ධ ශතකයක් කරා දීර්ඝ කිරීමට ඔහු සමත්විය.

මහමුදුල් හසන් ජෝයි ලකුණු 58ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය. මහමුදුල් හසන් දැවී යනවිටදී ටමීම් ඉක්බාල් සමගින් එක්වී බංග්ලාදේශ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වී සිටියේය.

අනතුරුව තවත් ලකුණු 22ක් පමණක් බංග්ලාදේශ ඉනිමට එක් වෙද්දී නජ්මුප් හසන් ලකුණු 1කට සහ මොමිනුල් හසන් ලකුණු 2කට පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිතට හැකියාව ලැබිණි.

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සැර පිළිතුරක්

පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුට ඊයේ තරගයෙන් ඉවත්වීමට සිදු වූ අතර ඔහු වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබිණි.

සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කළ ටමීම් ඉක්බාල් ඊයේ තේ පානයෙන් අනතුරුව නැවත පන්දුවට පහරදීමට පැමිණීමෙන් වැළකී සිටි අතර ඒ වනවිටදී හතරේ පහර 15ක් සමගින් ලකුණු 133ක් රැස් කිරීමට ටමීම් සමත් වී සිටියේය.

තේ පානයෙන් අනතුරුව පිටියට එක් වූ මුෂ්ෆිකර් රහිම් සහ ලිටන් දාස් ඊයේ දිනට තරගය නතර කර දමන විටදී නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය. ඒ අනුව සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 26 වැනි අර්ධ ශතකය වාර්තා කළ මුෂ්ෆිකර් ලකුණු 53ක් ලබා කඩුල්ලේ රැඳී සිටි අතර ලිටන් දාස් ලකුණු 54ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

ඊයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු කිහිපයක් ගිලිහී ගිය අතර පන්දු රැකීමද දුර්වල තත්ත්වයකට පත්ව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment