බංග්ලාදේශයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

463

වාර්තාගත සබඳතා පවත්වමින් මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් දෙදෙනා ගොඩනැඟූ බංග්ලාදේශ පළමු ඉනිමට සාර්ථක පිළිතුරක් සොයමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24 දා) දිනය නිමා වනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් රැස්කරගෙන සිටියහ.

එම ලකුණු සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 365 ට වඩා ලකුණු 222 ක් පිටුපසින් සිටින අතර තවත් කඩුලු 9 ක් අතැතිව සිටියි.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර ඊයේ දිනය නිමා වනවිටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ශ්‍රී ලංකා නායකයා ලකුණු 70 ක් ලබා ගෙන සිටියේය.

ලකුණු 24කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ලිටන් දාස් සහ මුෂ්ෆිකර් රහීම් දෙදෙනා එක්ව ගොඩනැඟූ දැවැන්ත ලකුණු සබඳතාවය ලකුණු 296 දී බිඳ දැමීමට කසුන් රාජිත සමත් වූ අතර එම 272 ලකුණු සබඳතාවය වාර්තා වූයේ බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙක් හය වැනි කඩුල්ලට ගොඩනැඟූ ඉහළම සබඳතාව ලෙසය.

එසේම ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් සඳහා පිතිකරුවන් දෙදෙනකු අතර ගොඩනැඟුණු හොඳම පස්වැනි වැඩිම ලකුණු සබඳතාවය විය. ලිටන් දාස් ලකුණු 144කට දැවී ගිය අතර මුෂ්ෆිකර් රහීම් පන්දු 355 ක් පුරා සිය ඉනිම ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 175 ක් ලබා ගත්තේය. ඒ සඳහා හතරේ පහර 21 ක් එල්ල කළ බංග්ලාදේශ හිටපු නායකයා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට මහත් හිසරදයක් ගෙන ආවේය.

බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනකුම මෙම තරගයේදී ලකුණු 0 ට දැවී ගිය අතර පන්දු යැවීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ලකුණු 64කට කඩුලු 5 ක් බිඳ දැමීය. එම දක්ෂතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු බංග්ලාදේශයේදී කඩුලු 5 ක් දවා ගත් ප්‍රථම අවස්ථාව වන අතර අසිත ප්‍රනාන්දු ඔහුට අනගි සහායක් ලබා දෙමින් ලකුණු 93කට කඩුලු 4 ක් බිඳ දැමීය.

බංග්ලාදේශයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57කට දැවී ගිය අතර ඔහු ඒ වනවිට හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරකින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණි. පෙරේදා (23 දා) දිනයේදී පපුවේ වේදනාවක් සමග පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණිය ද ශකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු ලකුණු 11කට දැවී ගියේය.

අද (25 දා) තරගයේ තෙවැනි දිනයයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment