බංග්ලාදේශය සමග ජයගත් ශ‍්‍රී ලංකාව අද පැපුවා නිව්ගිනියාව සමග තරගයට

915

බංග්ලාදේශය සමඟ පැවැති පන්දුවාර 20 – 20 පුහුණු තරගයෙන් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පැපුවානිව්ගිනියා කණ්ඩායම සමඟ අද (14 වැනිදා) දෙවැනි පුහුණු තරගයට සහභාගිවීමට නියමිතව සිටී.

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසන් පුහුණු තරගය අද පැවැත්වෙන මෙම තරගය වන අතර ඉන් ජය ගැනීම ශ‍්‍රී ලංකාවේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට හේතුවනු ඇත.

බංග්ලාදේශය සමග පෙරේදා (12 වැනිදා) පැවැති පුහුණු තරගයෙන් කඩුලූ 4 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී යළිත් ලකුණු අතරට පැමිණීමට සමත්වූ අවිශ්ක ගුණවර්ධන පන්දු 42 කදී නොදැවී ලකුණු 62 ක් සහ කරුණාරත්න පන්දු 25 කදී නොදැවී ලකුණු 29 ක් ලබා ගත්හ.

අවිශ්කගේ ඉනිමට හතරේ පහර 2 ක් සහ හයේ පහර තුනක් ඇතුළත්වූ අතර චාමික හතරේ සහ හයේ පහර එක බැගින් එල්ලකර තිබුණි. ශ‍්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලූ 6 ලකුණු 89 කට බිඳවැටී තිබියදී ලකුණු 59 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් වාර්තා කිරීමට අවිශ්ක සහ චාමික සමත් වූහ. ඔවුන් දෙදෙනාට පසුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිශ්ශංක පන්දු 12 කදී ලකුණු 15 ක් රැුස්කර තිබුණි.

පැපුවානිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි 15 වැනි ස්ථානයේ සිටින අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවේ.

පැපුවානිව්ගිනියා කණ්ඩායම ‘බී’කාණ්ඩය යටතේ ද ශ‍්‍රී ලංකා ‘ඒ’ කාණ්ඩය යටතේද මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගිවීමට නියමිතය.

පැපුවානිව්ගිනියා කණ්ඩායමේ නායක අසාද්වලා විසින්ද ශ‍්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින්ද මෙහෙයවනු ලබති.

කුෂන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment