බකමූණ පොලිසිය ඇතුළේදී පැමිණිලිකරු විත්තිකරුට පිහියෙන් අනී

544

පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරිනියටත් තුවාල

බකමූණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි විභාග කරමින් සිටින අවස්ථාවේ පැමිණිලිකරු විසින් විත්තිකරුට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති අතර පැමිණිල්ල විභාග කළ කාන්තා පොලිස් නිලධාරිනියක් ද තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (8දා) උදේ 8.30ට පමණ මුදල් ආරවුලක් විභාග කිරීම සඳහා දමනයාය ගම්මානයේ පදංචි පුද්ගලයකු වන සැකකරු ඔහුගේ බිරිඳ සමග බකමූණ පොලිසිය වෙත පැමිණ තිබේ. තුවාල ලැබූ පොළොන්නරු නව නගරයේ පදිංචි පුද්ගලයකු විසින් දමනයාය ගම්මානයේ පදිංචි පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ දෙකක් පමණ ණයට දී ඇති බවත් මෙම මුදල් ආරවුල විසඳීම සඳහා දෙපක්‍ෂයම පොලිසියට කැඳවා පැමිණිලි විභාග කරමින් සිටින අතරතුර දමනයාය ගම්මානයේ පදිංචි පුද්ගලයා නව නගරයේ පදිංචි පුද්ගලයාට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව බකමූණ පොලිසිය කියයි.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ එම්. දුශාන්ත පේමරත්න යන අයයි. සැකකරු ඔහුට පිහියෙන් අනින අවස්ථාවේ පිහිය උදුරා ගැනීමට උත්සහ කළ කාන්තා පොලිස් සැරයන් (4455) රංජනී මහත්මියගේ අතක් ද තුවාල වී ඇත. තුවාල ලැබූ දෙදෙනාම බකමූණ රෝහලට ඇතුළත් කර තිබේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ කාන්තා පොලිස් සැරයන් රංජනී මහත්මිය හා තුවාල ලැබූ පේමරත්න යන අය බකමූණ රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබිණි. සිද්ධීය වූ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් බොලකදුර මහතා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගොස් සිටි බව ද වාර්තා විය. පිහියකින් අනින ලද පුද්ගලයා බකමූණ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් බොලකදුර, කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා මල්කාන්ති සහ පොලිස් සැරයන් (23395) රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ඇලහැර – සනත් නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment