බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ මැණික් ජාවාරම ජයටම

103

හතර වටේටම රැකවලුන් දමාගෙන
දේශපාලකයින් සහ ආරක්ෂක අංශ ප්‍රබලයින්ගේ පිහිටෙන්
වතු කම්කරුවෝ 400ක් 500ක් දිනපතාම වැඩ
අල්ලන්න එන අයටත් මගදීම සැප සාද
මහා පරිමාණ පරිසර හානිය නිසා කෙසෙල්ගමුඔයත් සිඳී යාමේ අවදානමක

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජිවි දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතය තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් කරගෙන යන මහ පරිමාණ අනවසර මැණික් ගැරීම නිසා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය සිඳී යාමේ අවදානමකට ලක් වී ඇති බව පරිසරවේදීන් කියා සිටී.

බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ මැණික් ජාවාරම ජයටම

දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් ඇතැම් රාජ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරින්ගේ සහයෝගය මත මෙම අනවසර මැණික් ජාවාරම බලංගොඩ, බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවල පදිංචි ප්‍රධාන මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් වතු කම්කරුවන් 400 – 500 අතර ප්‍රමාණයක් දිනකට යොදා ගනිමින් සිදු කරගෙන යන බව පරිසරවේදින් කියා සිටියේය.

බලංගොඩ ඉහළ ගලගම, කරිවත්ත පාර, හොර්ටන්තැන්න නැන්පේරියල්, බගවන්තලාව ලොයිනොන් වත්ත හරහා මාර්ග කිහිපයකින් මැණික් ගැරීමේ නිරත වීමට දිනපතා එම පිරිස රක්ෂිය තුළට ඇතුල් වන බවත්, එම පිරිස කිසිදු බියක් සංකාවකින් තොරව රක්ෂිතය තුළ පිහිටි විශාල ගස් කපා දමමින් ජල මුලාශ්‍ර විනාශ කරමින් මෙම අනවසර මැණික් ගැරීම සිදු කරනු ලබයි.

මෙම මැණික් ජාවාරම මෙහෙය වනු ලබන පිරිස විසින් බගවන්තලාව ලොයිනොන් වත්තේ රක්ෂිතයට යාබදව පිහිටි කබානාවක මැණික් ජාවාරම වැටලීමට පැමිණෙන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින්ට නිතර නිතර සාද පවත්වන බව පැවසේ.

මැණික් ජාවාරම සිදු කරන රක්ෂිතයට පිවිසෙන මාර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි දිවා රාත්‍රියේ මුරකරුවන් යෙදා ගනිමින් මෙම අනවසර මැණික් ජාවාරම සිදු කරන බවත්, ඇතැම් අවස්ථාවල වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම චූදිතයන් යළිත් එම රක්ෂිත තුළටම ගොස් මැණික් ගැරීමේ ජාවාරම ජයටම සිදු කරනු ලබන බවද පැවසේ.

බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් එම අනවසර මැණික් ගැරීමට යොදාගෙන ඇති නිසා තේ වතු වල වැඩ කිරීමට පවා වතු කම්කරුවන් නොමැති බව වතු පාලන අධිකාරිය කියා සිටී.
නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment