බජට් එක නමැති ගැජට් එක

604

එකවුන්ටන්ට් කෙනෙක් නැතිව කොම්පැනියක් ඉදිරියට ගෙන යා හැකි නමුත් බජට් එකක් නැතිව කොම්පැනියක් ඉදිරියට ගෙන යෑමට බැරි බවට කතාවක් බටහිර ලෝකයේ තිබේ. එසේම මුදල් ඇමැති කෙනෙක් නැතිව රටක් ඉස්සරහට යා හැකි නමුත් බජට් එකක් නැතිව එම රටට ඉස්සරහට යෑමට නොහැකි බවටද කියමනක් තිබේ. මේ අදහස් දෙක ලිවීමෙන් මේ රටේ එකවුන්ටන්ට්ලා සහ මුදල් ඇමැතිවරු අප සමග තරහ විය යුතු නැත. අප ලිව්වේ අනුන් කියන කතාවකි. මේ අවුරුද්දේ අය වැය ලේඛනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. මීට කලින්ද මේ ආණ්ඩුව කුඩා ප්‍රමාණයේ අය වැය ලේඛනයක් ඉදිරිපත් කර තිබුණද අද ඉදිරිපත් කරන අයවැය ලේඛනය අවුරුද්දේ ප්‍රධාන අය වැය සේ සලකනු ලැබේ. මේ කතුවැකියේ ඉතිරි ටික පටන් ගැනීමට පෙර අය වැය ලේඛනයේ ඉතිහාසය ගැන ස්වල්පයක් කියමු. ලෝකයේ පළමුවන විධිමත් අයවැය ලේඛනය 1572 දී ඕලන්ද රාජාණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලදී. 1689 දී එංගලන්තයත්, 1830 දී ප්‍රංශයත්, 1848 දී ඩෙන්මාර්කයත් 1851 දී පෘතුගාලයත්, 1866 දී ස්වීඩනයත් වාර්ෂික අය වැය ලේඛන ඒ ඒ රටවල රාජසභාවලට ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. එකල පෙරකී රටවල තිබූ ලොකුම ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුවේ ආදායම් සහ වියදම් මොනවාද යන්න හඳුනා ගැනීමට බැරි වීමය. අය වැය ලේඛනය සකස් කිරීම මගින් ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවිය. මේ අතර පාර්ලිමේන්තුවට අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ කටයුත්ත මුලින්ම පටන් ගන්නා ලද්දේ එංගලන්තයේ එවකට මුදල් ලේකම් වූ ශ්‍රීමත් රොබට් වැල්පෝල් විසින් 1720 දීය. මෙතැනදී කුඩා ඔපාදූපයක්ද සඳහන් කරමු. ශ්‍රීමත් රොබට් වැල්පෝල්ට හොරේස් වැල්පෝල් යනුවෙන් පුත්‍රයෙක් විය. ඔහු ලේඛකයෙක් සහ කවියෙක් ලෙස ප්‍රකටය. එසේම චාර්ල්ස් කුමාරයාගේ පළමු බිරිඳ වූ ඩයනා කුමරියගේ මිත්තණියගේ පෙම්වතා වූයේ ද මේ කියන හොරේස් වැල්පෝල්ය. මේ ප්‍රේම සම්බන්ධය සහ බි්‍රතාන්‍ය අයවැය ලේඛනය අතර සම්බන්ධයක් නැත. ඉන්දියාවේ පළමුවන අය වැය ලේඛනය 1860 දී ස්කොට් ජාතික අර්ථ ශාස්ත්‍රඥයකු වූ ජේම්ස් විල්සන් විසින් එවකට බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය කළ පුද්ගලික කොම්පැනිය වූ නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම් හරහා බි්‍රතාන්‍ය කිරීටයට යැවීය. ඉන් අවුරුදු 16 ට පසු ශ්‍රී ලංකාවට අදාළව දළ අයවැය ලේඛනයක් එංගලන්තයේ යටත් විජිත භාර ලේකම් විසින් සාදන ලදී. එම අයවැය ලේඛනය දුටු බි්‍රතාන්‍ය කිරීටයට තරු වීසි විය. එයට හේතුව ඒ වනවිටත් ශ්‍රී ලංකාව වාර්ෂික ඉමහත් පාඩු ගෙනදුන් යටත්විජිතයක් වූ බව අය වැය ලේඛනය මගින් හෙළිවීමය. ඒ වනවිට මේ රටේ පාලනයට අත ගසමින් සිටියෝ ලංකාවාසී කළු සුද්දෝය. අනුන්ගෙන් යැපීමේ කලාව මිස කුඹුරක් කොටා වගාවක් කර යමක් උපයාගෙන කෑම කෑමේ කලාවක් ඒ හැතිකරය දැන සිටියේම නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය රජයේ පළමු නිල අයවැය ඉදිරිපත් කරන මේ අවස්ථාව ලංකා ඉතිහාසයේ නරකම ආර්ථික අවස්ථාව විය යුතුය. හිස්වූ මහ භාණ්ඩාගාරයක් සහ සාරය උරාබොන ලද කජු පුහුලම් හපයක් වැනි රටක් යළි කෙලින් කිරීම පිණිස මේ අයවැය යොදා ගැනීමට හැකිද යන්න ගැන අපට අදහසක් නැත. කෙසේ වුවද බඩු මිල ඉතාම ඉහළට ගොස් තිබෙන, රටේ වියදම් හඳත් පසුකර ඉහළ ගොස් ඇති මෙවැනි වෙලාවක අයවැයක් ඉදිරිපත් කිරීම ලොකුම ලොකු අභියෝගයක් බව අපි විශ්වාස කරමු. ආණ්ඩුව පසුගිය කාලයේදී බදු පැනවීම් සහ බඩු මිල වැඩි කිරීම් දිගින් දිගටම කරගෙන ගියේය. මහජනතාවට ලැබුණු ප්‍රධාන වාසිය වූයේ ගෑස් සහ තෙල් පෝලිම් නැතිවීමත් අරගලය නිසා හටගත් දේශපාලන අස්ථාවරත්වය තුරන් වීමත් පමණි. මේ අතර ලංකාව දකින විට අහක බැලූ රටවල් නැවත වතාවක් මේ රටට උදව් කිරීමට කැමැත්ත පළකර තිබේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් තමන්ට ගෙවීමට ඇති, එහෙත් ගෙවා ගැනීමට නොහැකි වූ ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කරන බව පසුගියදා චීනය ප්‍රකාශ කළේය. පසුගිය ආණ්ඩු සමය අවසන් කොටසේදී චීනය සහ ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිවිය. එයට හේතුව කාබනික පොහොර නැවේ සිද්ධියයි. ඒ ප්‍රශ්නය වෙන රටක් විසින් ඇති කරන ලද්දක් නම් දෙකක් නැතිව එම රටට බෝම්බ දැමීමට චීනය විසින් ගුවන් යානා යවනු ලබනවා ඇත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය බලය අත්හැර අලුත් ජනාධිපති කෙනකු පත්වූ සැණින් චීනය යම් ප්‍රමාණයකට මෙලෙක් විය. ඉන්දියාවද අප සමග හිටියේ එතරම් හොඳ හිතකින් නොවේ. එක ජැටියක් විකුණන බව පෙන්වා වෙනත් ජැටියක් තම රටට විකිණීමෙන් ලංකාව වංචාවක් කළ බවට ඉන්දියාව කල්පනා කර තිබිණ. ඒ නිසා ලංකාවට දිගින් දිගටම ණය දීමද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකාව යනු ඔක්සිජන් හැර අන් සියල්ලක්ම මිලට ගැනීමට සිදුවී තිබෙන රටකි. මෙසේ මිලට ගන්නා බඩු වලින් 99% ක්ම එන්නේ පිට රටිනි. එබැවින් දේශීය නිෂ්පාදන දියුණු කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් මෙවර අයවැය ලේඛනය මගින් ඉදිරිපත් වනු දැකීම අපගේ හීනයකි. ඔබ මෙය කියවන අවස්ථාව වනවිට අයවැය ලේඛනය හදා අවසන්ය. ඒ නිසා අපේ සිහින සැබෑ වනවාද නැද්ද යන්න ගැන අපට වැටහීමක් නැත. අත්‍යවශ්‍ය බඩු මිල අඩුකරන, ප්‍රවාහන වියදම් අඩුකරන අයවැයක් ගැන පසුගිය අවුරුදු 40 පුරාම අපි හීන මැව්වෙමු. සිහිනයක් යනු දකින විට මාර චූන් එකක් ගෙනදෙන නමුත් ඇහැරුණු විට දුක හිතෙන සීන් එකකි. මෙවර අයවැය එවැනි සිහිනයක් නොවේවා!

advertistmentadvertistment
advertistmentadvertistment