බට්ලර්ගේ පිත්ත සහ චාහල්ගේ පන්දුව රාජස්තාන් රෝයල් පිලට ජය ගෙනෙයි

136

ජෝස් බට්ලර්ගේ ශතකය සහ යුස්වේන්ද්‍ර චාහල්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමගින් පෙරේදා (18 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්තාන් රෝයල් කණ්ඩායම සමත් විය.

රාජස්තාන් රෝයල් හමුවේ ලකුණු 218ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය කොල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 19.4කදී මුලු ලකුණු 210කට සීමා කිරීමට චාහල් ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූහ. කොල්කටා ඉනිමේ 17 වැනි පන්දුවාරය වනවිටදී ජයග්‍රහණය සඳහා ඔවුන් කඩුලු 6ක් අතැතිව පන්දු 24කදී තවත් ලකුණු 40ක් පමණක් පිටුපිසින් පසුවිය. තීරණාත්මක එම පන්දුවාරය ක්‍රියාත්මක කළ යුස්වේන්ද්‍ර චාහල් එහිදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු ත්‍රිත්වයක්ද සමගින් එම පන්දුවාරයේදී කොල්කටා ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව චාහල් හමුවේ ෂ්‍රියාස් අයියර්, ෂිවම් මාවි සහ පැට් කමින්ස් දැවී ගියේය.

තරගය නිමා වනවිටදී යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 40කට කොල්කටා ඉනිමේ කඩුලු 5ක් බිඳ දමා තිබිණි.

අයි.පී.එල්. තරගාවලියේ 30 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස් කළේය. එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වීම කැපී පෙනුණි.

රාජස්තාන් රෝයල් ඉනිම ලකුණු 200 සීමාවට රැගෙන ගිය ජොස් බට්ලර් අයි.පී.එල්. තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළේය. පන්දු 61ක් පමණක් වැය වූ එම ඉනිමට පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ නිමාවට පත් වෙද්දී හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් එක් කිරීමට බට්ලර් වග බලාගෙන තිබිණි.

සංජු සැම්සන් පන්දු 19කදී ලකුණු 38ක් සහ ෂිම්රන් හිට්මයර් පන්දු 13කදී නොදැවී ලකුණු 26ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක්ද එල්ල කරමිනි.

ලකුණු සාරාංශය

රාජස්තාන් රෝයල් පන්දුවාර 20දී 217/5 (ජොස් බට්ලර් 103, දෙව්දත් පඩික්කාල් 24, සංජු සැම්සන් 38, ෂිම්රන් හිට්මයර් (නොදැවී) 26, සුනිල් නාරායන් 21/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පන්දුවාර 19.4කදී 210/10 (ඒරන් ෆින්ච් 58, ෂ්‍රියාස් අයියර් 85, උමේෂ් යාදව් (නොදැවී) 21, යුස්වේන්ද්‍ර චාහල් 40/5, ඔමෙන් මැක්කොරී 41/2)

advertistmentadvertistment
advertistmentadvertistment