බඩගින්න 2023ටත් -වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව

126

මා හෙළිකළ තොරතුරු සම්පූර්ණයෙන්ම සත්‍යයයි

අපි කළ පරීක්‍ෂණයේ ළමුන් 20න් 6ක් ම අධිඅවදානමේ

මේ නියැදියේ ලැබෙන ප්‍රතිඵලය මේ දිස්ත්‍රික්කයේම ප්‍රතිඵලය බවට පත්වෙන්න පුළුවන්

මම තොරතුරු හෙළිකළ නිසා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අපහසුතාවට පත්වුණා කියල තමයි මට විරුද්ධව චෝදනාව

ගෝලීය වසංගතය හා ආර්ථිකය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 2022 වසර ගෙවා දැමුවේ නොයෙකුක් දුෂ්කරතා මධ්‍යයේය. මේ වනවිට 2022 වසර අවසන් වී උදාවී ඇත්තේ නව වසරකි. එහෙත් තවමත් පසුගිය කාලවකවානුව තුළ රටේ ජනතාව මුහුණ දුන් අර්බුදකාරී වාතාවරණය පහව ගොස් නැත. කාලය වේගයෙන් ගෙවී ගියත් රටේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න තවමත් එකතැනය. ඒවාට රජයක් මගින් විසඳුම් ලබානොදුන්නත් රටේ ආණ්ඩුව කියන පරිදි ඉදිරියේදී රටේ ජනතාවට මුහුණදීමට ඇති කාලපරිච්ඡේදය ඉතා කටුක හා අමිහිරි බවකින් යුත්තකි. උදාවූ අලුත් අවුරුද්දේ ජනතාවට ලබාදීමට නියමිත බදු බර හා භාණ්ඩ මිල වැඩිකිරීම් නිසා ඉදිරි කාලය තුළ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවන තත්ත්වයට පිළිතුරු සෙවීමට නම් දේශපාලන හා ආර්ථික විශේෂඥයන්ටවත් තවමත් නොහැකිවී ඇත. රටෙහි උද්ධමනය ඉහළ යෑමත් සමඟ එහි අනිටු විපාක ලෙස රටේ ජනතාවගේ ආහාර අනාරක්‍ෂිතභාවය හේතුවෙන් ‘මන්දපෝෂණය’ නමැති සැඟවිය නොහැකි යථාර්ථයට රටක් වශයෙන් මුහුණදීමට අපට සිදුවනු ඇත. මේ එහි තවත් තොරතුරු කිහිපයකි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 36% ක් ආහාර අහේනියක

මෙරට තුළ පසුගිය කාලය තුළ සිදුකරන ලද සමීක්‍ෂණවලින් ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන ප්‍රමාණය මෙරට ජනගහනයෙන් සියයට 32 ක් ලෙස සටහන්ව තිබූ අතර ඉන්පසු සිදුකරන ලද නවතම සමීක්‍ෂණයේදී එම අගය සියයට 36% ක් දක්වා වැඩිවී ඇත. එම සමීක්‍ෂණයට අනුව ශ්‍රී ලංකාවේ පවුල් 10 කින් 8 ක්ම ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේදී ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්වෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තා මගින් පෙන්වා දෙයි.

තවද පවුල් 10 න් 5 ක් සඳහා අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා තම භාණ්ඩ උකස් කිරීමට හෝ බැංකු මගින් හෝ විවිධ පොලී ආයතන මගින් හා පොලීකරුවන්ගෙන් මුදල් ණයට ගැනීමට සිදුවී ඇත. පවුල් වලින් සියයට 50 කට වැඩි පිරිසකට ආහාර ද්‍රව්‍ය ණයට ගැනීමට සිදුවී ඇති බවද එම වාර්තා මගින් පෙන්වා දෙයි. මේ හේතුව නිසා ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළෙන පිරිසෙහි දැඩි ඉහළ මට්ටමක පවතින බවත් ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල පහළ ගියද පොදුවේ ආහාර ද්‍රව්‍යවල මිල වෙනස්වනු සුලු ස්වභාවයක් ගන්නා බවත් එම වාර්තා වල දැක්වේ. මෙම ආර්ථික අර්බුදය වතුකරයේ පවුල්වලට දැඩි ලෙස බලපාන බවද එහි සඳහන්ය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 වසරේ තුන්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 11.8 කින් හැකිලී ඇති බවත් එය කාර්තුවක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිළුණු දෙවැනි දරුණුතම ප්‍රතිශතය බවත් එම වාර්තා මගින් පෙන්වා දී ඇත.

දරුවන්ගේ මන්දපෝෂණය නිසා හදිසි ආධාර අවශ්‍යයි
පවුල් සෞඛ්‍ය කාර්යාංශය

මෙරට දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මෙරට බොහෝ පවුල් ඒකක සඳහා හදිසි ආධාර අවශ්‍යතාවන් ඇති බවත් ඊට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවටත් පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි. මේ වනවිට රටෙහි පවතින ආර්ථික හා දේශපාලනික සහ බලශක්ති අර්බුද හමුවේ මෙම අවශ්‍යතාව දැඩිව පැවතීම හේතුවෙන් ආහාරවල මිල ඉහළ යෑම ඇතැම් අවදානම් සහගත පවුල් ඒකක තුළ අර්බුද මතුවී ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි. මේ හේතුවෙන් ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ඉස්මතු වන බවත් ඒ සඳහා හදිසි පෝෂණ වැඩසටහනක් පාදක කරගත් මැදිහත්වීමක් මෙරටට අත්‍යවශ්‍ය බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. මේ සඳහා රාජ්‍ය මට්ටමේ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන අතර පවුල් ඒකක මට්ටමෙන් පෝෂණය සඳහා ප්‍රමුඛතාව දෙන නිවැරදි මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. තවද මන්දපෝෂණය සඳහා බලපාන අවදානම් සාධක මුල් අවදියේම හඳුනාගැනීම සමඟ එම ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල්වල රෝග නිවරණය අංශය සහ ප්‍රතිකාර අංශය ශක්තිමත් කළ යුතු බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය රජයට යෝජනා කර ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ වයස අවුරුදු පහෙන් පහළ දරුවන්ගේ බර සහ උස මැනීමෙන් සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය වූයේ එම වයස් කාණ්ඩයේ ළමයින්ගෙන් සියයට 43.4% ක ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

රටේ අමාරුකම ගැන රාජ්‍ය ඇමැතිවරයකුගේ හෙළිදරව්වක්

මෙරට පවුල් ලක්‍ෂ 58 න් 43 ක්ම ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. මේ වනවිට ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාව එක්වී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මෙම අදහස් පළකළේ පසුගිය 23 වැනිදා බදු ගෙවන්නන්ගේ අදහස් ලබාගැනීම සඳහා සංවිධානය කෙරෙන “දිරිය පවුර” දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට රටෙහි උද්ගතවී ඇති තත්ත්වය මෙසේ විස්තර කළේය.

“දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වුණා. අපට ණය ගෙවා ගත නොහැකි බව ලෝකයට කියන්න වුණා. මේ සියල්ල ඒ විදියට සිදුවෙද්දී අපේ රටේ පවුල් ලක්‍ෂ 58 න් ලක්‍ෂ 43 ක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලනවා. පාසල්වල දරුවන් ලක්‍ෂ 42 ක් ඉගෙන ගන්නවා. තවත් ලක්‍ෂ දෙකක විතර දරුවන් පිරිසක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. වාර්ෂිකව ලක්‍ෂ 57 ක විතර ජනතාවක් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රටේ ජනගහනය කෝටි දෙකක් වුණාට කෝටි හයක විතර ජනතාව රෝහල්වල බාහිර රෝගී අංශ වලින් ප්‍රතිකාර ලබාගන්නවා. මේ එකක්වත් අපට නවත්වන්න බෑ. අපි මොකක්ද කරන්නේ? ණය ගන්න හැකියාවක් නෑ. අපට තියෙන හොඳම විකල්පය බදු ආදායම වැඩිකර ගැනීම.”

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අවම පරිභෝජන ලැයිස්තුවට

ලෝක ආහාර වැඩසටහන මගින් සිදුකරන ලද සමීක්‍ෂණ අනුව 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළෙන පිරිස 9.1% ක් වූ බවද සඳහන් වේ. පසුගිය අවුරුදු කිහිපය තුළ මෙරට තුළ කොරෝනා වසංගතය හා රට දරුණු ආර්ථික අවපාතයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළේ. මෙරට අවම පරිභෝජනයට ගන්නා ආහාර කාණ්ඩ ලෙස කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකිකයන් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන භාවිතය ඉකුත් ජුනි මස සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ හරි අඩකටත් වඩා අඩුකර ඇති බවද ලෝක ආහාර වැඩසටහන මගින් සිදුකරන ලද සමීක්‍ෂණ අනුව හෙළිවී ඇත. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පහසුගිය කාලය තුළ ඒවායෙහි මිල ශීඝ්‍රලෙස ඉහළ ගිය බවක් පෙනෙන්නට විය. මේ වන විට කිරි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක් රුපියල් 1240 ක් වැනි ඉහළ මිලක් ගනී. මේ හේතුව නිසා රටෙහි සාමාන්‍ය ජනතාවට තම දෛනික කිරි අවශ්‍යතාව මඟ හැරී ඇත. මේ හේතුවෙන් දරුවන් පෝෂණ ඌනතාවලට ගොදුරුවී ඇති බවද නොරහසකි. ඇත්තෙන්ම ජනතාවගෙන් මේ වන විට කිරි පිටි ඈත්වී ඇති බවද ඔවුන්ට වෙළෙඳපොළ තුළ පවතින කිරිපිටි හා චීස්, යෝගට්, දියර කිරි වැනි නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවද වෙළෙඳපොළ තුළ අප කළ නිරීක්‍ෂණයකදී හෙළිවිය.

තවද අප කළ සොයා බැලීමකදී රටේ ප්‍රධාන නගරයක පිහිටි කුකුළු මස් අලෙවි සලක් තුළට ගොඩවැදුනු අපට වැටහී ගියේ රටේ මිනිසුන්ගේ මස් පරිභෝජනයද කොතරම් දුරට අඩුවී ඇත්දැයිද යන්නය. එම කුකුළු මස් අලෙවි සලට ගොඩවැදුණු අපට එහිදී ඉතා සංවේදී සිද්ධියක් නිරීක්‍ෂණය විය. ඒ මෙම කුකුළු මස් අලෙවි සලට ගොඩවදින පියකු සහ පුතකු වෙළෙඳසල් හිමියාගෙන් අසා දැනසිටින්නේ කුකුළු මස් කිලෝවක මිල කීයදැයි යන්නය. එහිදී වෙළෙඳසල් හිමියා පවසා සිටියේ රුපියල් 1200 ක් වැනි මුදලකි. මෙම මුදල ඔහුට දරාගත නොහැකි බව එහි සිටි අපට ඔහුගේ මුහුණෙහි වෙනස් වූ ඉරියව් වලින්ම අවබෝධ විය. ඔහුගේ සිත එම මස් ගැනීම ප්‍රතික්‍ෂේප කළත් තම දරුවාගේ දැඩි ඉල්ලීම මත ඔහු නැවත වෙළෙඳ සැල් හිමියාගෙන් විමසා සිටියේ කුකුළු මස් ග්‍රෑම් 250 ක මිල කීයද යන්නය. වෙළෙඳසැල් හිමියා ග්‍රෑම් 250 ක මිල රුපියල් 300 ක් බව ඔහුට කියා සිටි අතර ඔහු වෙළෙඳසැල් හිමියාගෙන් ඉල්ලා සිටියේ රුපියල් 200 ක කුකුළු මස් ලබාදෙන ලෙසයි. එහිදී ඔහුට තරමක කේක් කැබැල්ලක ප්‍රමාණයට සමාන කුකුළු මස් ලබාදුන් වෙළෙඳ සල් හිමියා ඔවුන් එම ස්ථානයෙන් පිටවෙත්ම ‘ඔහොම තමයි දැන් මිනිස්සු කන්නේ’ යැයි අප වෙත කියාසිටියේය. සැබවින්ම මෙම සිදුවීම ගැන සලකා බැලූ කල මිනිසුන් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද යන්න ඕනෑම බුද්ධි මට්ටමක සිටින්නෙකුට පහසුවෙන්ම තේරුම්ගත හැකි දෙයකි.

රටේ මන්දපෝෂණය හම්බන්තොටින් එළියට පැන්න හැටි

මේ පිළිබඳ සමාජයේ දැඩි කතාබහට ලක්වන්නේ පසුගියදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා හෙළිකළ තොරතුරකට අනුවය. එහි දී ඔහු රටට හෙළිකළ තොරතුරත් සමග ඔහු වැඩ තහනමකට පවා ලක්වූ බව ද නොරහසකි. රටේ මන්දපෝෂණය හා ඊට සම්බන්ධ තොරතුරු මෙසේ වාර්තා වෙද්දී එහි සත්‍යතාව අප විසින් සනාථ කර ගත යුතුව ඇත. එහෙයින් එම වෛද්‍යවරයා සමග කෙටි සාකච්ඡාවක ද නිරතවිය. එහිදී වෛද්‍යවරයා සිය අදහස් ‘දිවයින’ ට පැවසුවේ මෙලෙසිනි.

“මා හෙළිකළ තොරතුරු සම්පූර්ණයෙන්ම සත්‍යයයි. මෙතැන වෙච්ච දේ මම එම තොරතුරු හෙළිකිරීමත් සමග පාර්ලිමේන්තුව ඇතුළේ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ තොරතුරු මම හෙළිකළ නිසා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අපහසුතාවට පත්වුණා කියල තමයි මට විරුද්ධව ඔවුන් චෝදනාව දාල තියෙන්නේ. අපි සියලු දේවල් හෙළිකළේ ඊට අදාළ දත්ත වාර්තා සමගයි. ඒ සියලු වීඩියෝ අපි ළඟ තිබෙනවා. මේ ප්‍රශ්නෙන් පස්සේ තමයි ආණ්ඩුව කමිටු පත් කරන්න ගත්තේ. දැන් අයවැයෙනුත් ඒ වෙනුවෙන් මුදල් වෙන්කරලා. මේ ඔක්කොම පටන් ගත්තේ ඒ චෝදනාවෙන් පස්සේ. අනෙක මම වෘත්තීය සමිති නායකයකු නිසා ඔවුන්ට ඒ චෝදනා දාන්න බැහැ. මොකද වෘත්තීය සමිති නායකයකු කතා කරන දේවල්වලින් රජය අපහසුතාවට පත්වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ අය මට පෞද්ගලික මට්ටමෙන් තමයි චෝදනා පත්‍රය දාලා තියෙන්නේ. නමුත් මම ලියාපදිංචි වෘත්තීය සමිතියක නායකයෙක්. මා ඉදිරිපත් කළ සියලු තොරතුරු සත්‍යයි.” ඔහු කීය.

“අපි මෙම පරීක්‍ෂණය සල්සපුගල කියන ගමේ තමයි මේ සිදුකරන්නේ. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයට අයිති ගමක්. මේ ගමට තමයි මුලින්ම අපි පරීක්‍ෂණයට යන්නේ. මේ ගමනට මාධ්‍යවේදීන් පවා සම්බන්ධ වෙනවා. මේක මගේ පෞද්ගලික ගමනක් නොවෙයි. වෘත්තීය සමිතියක් විදිහට තමයි අපි මේ ගමන යන්නේ.”

ළමුන් 20න් 6ක් ම අධිඅවදානමේ

බඩගින්න 2023ටත් -වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව

“මම කරපු පරීක්‍ෂණයේ ළමුන් 20න් 6කට ආසන්න ප්‍රමාණයක් තද රතු (අධිඅවදානම්) කලාපයේ සිටියා. ඒ කියන්නේ මන්දපෝෂණ මට්ටමේ. ළමයි දහදෙනෙක් අවදානම් රතු කලාපයේ හිටියා. තවත් ළමයි 5කට ආසන්න ප්‍රමාණයක් කොළ කලාපයේ හිටියා. ළමයි හතර පස් දෙනෙක් පමණයි සාමාන්‍ය වර්ධනයේ හිටියේ. මම කියන්නේ මේ තොරතුරු මම මගේ කලාපයෙන් ගත්ත එකක්. අපි ගිහින් පරීක්‍ෂා කරල බලපු සල්සපුගල කලාපයේ දත්ත තමයි අපි මේ කියන්නේ. අනික මගේ වීඩියෝ පටයේ පැහැදිලිවම මම කියනවා මේක මේ කලාපය සම්බන්ධ තොරතුරක් හැබැයි මේක දිස්ත්‍රික්කය පුරා හා පළාත පුරා පැතිර යන්න පුළුවන් කියලා. මම කියන්නෙ විද්‍යාත්මක වශයෙන් බලධාරීන් ගමට ඇවිල්ල බලන්න කොළඹට වෙලා මන්දපෝෂණය නෑ නෑ කිය කිය ඉන්න එපා කියලා. මේ නියැදියේ ලැබෙන ප්‍රතිඵලය මේ දිස්ත්‍රික්කයේම ප්‍රතිඵලය බවට පත්වෙන්න පුළුවන්. මම පැහැදිලිවම ඒක කියනවා. එම බලධාරීන්ට කිව්වේ කොළඹින් ගමට ඇවිත් බලන්න කියලා. නමුත් ඒ කිසිවක් නොසලකා ඔවුන් දාලා තියෙන්නේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අපහසුතාවට පත්වුණා කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයම කියනවා පොලොන්නරුවේ මන්දපෝෂණය 15%-18% ක් කියලා. පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියනවා එහි මන්දපෝෂණය 53% ක් කියලා. මගේ ප්‍රකාශයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා කියනවා හම්බන්තොට මන්දපෝෂණය 5%ක් කියලා. ඒක මාධ්‍යවල පවා පළවුණා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා හම්බන්තොට මන්දපෝෂණය 15%-18% අතර කියලා. අපි ඉල්ලලා තිබෙනවා පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාස මට්ටමෙන් ලංකාවේ මන්දපෝෂණය ගැන තොරතුරු දෙන්න කියලා. දැනටත් අපට ලැබිල තියෙන තොරතුරු අනුව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල මට්ටමෙන් මන්දපෝෂණය 20%සිට 50% දක්වා වාර්තා වෙනවා. මේ තොරතුරු රජය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හරියට විමර්ශනය කළේ නෑ. මා කළ ප්‍රකාශයේ ප්‍රවෘත්ති සිරස්තලයක් පදනම් කරගෙන ආණ්ඩුව අපහසුතාවට පත්වුණා කියල තමයි ඔවුන් කියන්නේ.”

වෛද්‍යවරයා එසේ කියමින් ඔවුන් කළ නිරීක්‍ෂණයේ දී එම නිවෙස්වල මවුවරුන් ඔවුන්ගේ ආහාර රටාව ගැන පැවසූ විස්තරයක් අප හා පැවසීමට ද අමතක නො කළේය.

“මුලින්ම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපි තීරණය කළා ගම්වලට ගිහින් ඔවුන්ට උපකාරයක් කරන්න ඕනෑ කියා සැලසුමක් දියත් කරන්න. එහිදී හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක ගණනාවකට අපි ගියා. එහි දී අපි ගිය ගමේ ළමයි සහ අපි බලපු මන්පෝෂණ දර්ශක ගැන වීඩියෝ අපි ළඟ තිබෙනවා. එහිදී ඒ මවුවරු අපට කිව්වේ මාස 6 කින් දරුවකුට බිත්තරයක් දුන්නේ නෑ, කිරි වීදුරුවක් දුන්නේ නෑ, මාළු කෑල්ලක් දුන්නේ නෑ කියලා. ඇත්තට ම එහි ගිය අපි ඒ ගෙවල්වල තත්ත්වය ඇස් දෙකට ම දැක්කා. ඒ නිසා අපි කියපු කරුණු සත්‍යයි කියා අපි දන්නවා.”

මේ සියලු තොරතුරු අනුව පෙනී යන්නේ මේ වන විට ශ්‍රී ලංකාව ගොදුරුවී ඇති ඛේදනීය ඉරණමය. ආණ්ඩුව කියන පරිදි බදු බර වැඩිකිරීම හරහා නැවත රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකිද යන්න හා කොතරම් දුරට සාර්ථක වේද යන්න අපට කිව නොහැක. නමුත් අපට තේරෙන දැනෙන එකම දෙයක් ඇත. ඒ ආර්ථික අහේනියෙන් බැටකන රටේ මිනිස්සුන්ට තවත් බදු බර නොදී ඔවුන්ට සහනදායී වැඩපිළිවෙළක් දැන්වත් යෙදීමය. නැතහොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ළිපේ ගින්නෙන් නොව බඩේ ගින්දරින් මියැදෙනු ඇත.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment