බඩු මිල ඉහළ යන්නේ ඩොලර් අර්බුදය නිසාමද?

279

මුළු රටම ඇත්තේ මහා අවුලකය. සාමාන්‍ය සමාජ භාෂාවෙන් කිවහොත් රටේ බහුතරයක් මිනිස්සු දැන් පාන් කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින්නාහ. ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සියල්ලට හේතුවී ඇත. තෙල් නැත. ගෑස් නැත. විදුලිය නැත. මේ වාතාවරණය තුළ එදා වේල ගැටගසා ගැනීමට ජනතාව ගන්නා වෙහෙස අපමණය.

ජනතාව සිටින්නේ කරන්නේ කුමක්ද සහ වෙන්නේ මොනවාදැයි සිතාගත නොහැකි තැනකට ඇද වැටී බොහෝ දුකට පත්වය. එසේ සිටින ඔවුහු දැන් දැන් ප‍්‍රකෝපකාරී වන අවස්ථාද බොහෝය. තෙල් පෝලිමක හෝ ගෑස් පෝලිමක එසේත් නැතහොත් පවතින අර්බුදය හමුවේ වෙනත් දුෂ්කරතාවකට මුහුණ දෙමින් කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටින ජනතාව අද හතර අතේ ආණ්ඩුවට දෙස් දෙවොල් තබන්නාහ. ඒ කියන කතා මෙහි ලියන්නටද නොහැකිය. ආණ්ඩුව කෙරෙහි වන ජනතා උදහස ඒ තරමටම සැර වී ඇත.

  • ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මෙසේ වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් බදාදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා අදහස් දැක්වීය. එහිදී රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය සහ ඒ හේතුවෙන් ඇතිවී තිබෙන ගැටලූ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ ජනාධිපතිවරයා මේ අසීරු තීරණාත්මක මොහොතේ රටේ උන්නතිය වෙනුවෙන් කි‍්‍රයා කිරීම සඳහා තමන්ට උපරිම සහාය ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වසංගතය හමුවේ ඍජු ආයෝජන, විදේශ ශ‍්‍රමික පේ‍්‍රෂණ සහ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමෙන් ඩොලර් ලැබීමේ මාර්ග ඇහිරී යද්දී විදේශ ණය ගෙවීම ඇතුළු ආනයන සහ අනෙකුත් කාර්යයන් හේතුවෙන් තිබුණු ඩොලර් සංචිත අවසන් වීම වත්මන් අර්බුදයට හේතුවී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.

ජනාධිපතිවරයාගේ මේ පැහැදිලි කිරීම නම් ඉතා සාධනීය තැනක තිබුණකි. එහි ගැටලූවක් නැත. එහෙත් ජනාධිපතිවරයා මෙහිදී සහයෝගය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීම කළ යුතුව තිබූ දෙයක්ද? එය නම් ගැටලූවකි.

  • ජනතාවට නොලැබුණු සහයෝගය
බඩු මිල ඉහළ යන්නේ ඩොලර් අර්බුදය නිසාමද?

ගෝඨාභය රාජපක්‍ෂ චරිතය ජනාධිපති ධුරය දක්වා ගමන් කරනු ලැබුවේ මේ රටේ ජනතාවගේ උපරිම සහයෝගය ඔහුට හිමිවූ නිසාය. එසේ නම් ඒ සහයෝගය නැවත ඉල්ලා සිටින්නට අද ජනාධිපතිවරයාට සිදුව ඇත්තේ ඇයි?

අපේ වැටහීමේ හැටියට එයට හේතු වී තිබෙන්නේ ජනතාව තමන්ගේ සහයෝගය උපරිමයෙන් ලබා දුන්නද පෙරළා ජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ආණ්ඩුව අපොහොසත් වීම නිසාය. ආණ්ඩුවේ මැති ඇමැතීන්ගේ සිට ඉහළම පුටුවල සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන්ද ඒ සහයෝගය ජනතාවට නොලැබුණේය. ඇතැම්විට යමක් කරන්නට ජනාධිපතිවරයාට වුවමනාවක් තිබුණද වටේ හිටියෝ ඒවා වැළකූහ.

අවම තරමේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ලොකු පුටුවලට පත්කරන ලද ඇතැම් විශ‍්‍රාමික හමුදා නිලධාරීන් මෙන්ම සෙසු සිවිල් පුද්ගලයන්ගෙන්ද ජනතාවට කිසිදු සහයෝගයක් ලැබුණේ නැත.

  • නිලධාරීන් නොදුටු දුප්පතාගේ කඳුළු

ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ කිසිවකුත් මහ පොළොවේ ජීවත් වූයේ නැත. ජනාධිපතිවරයා විසින් රජයේ විවිධ තනතුරු සඳහා පත්කරන ලද ඇතැම් හමුදා නිලධාරීන්ට ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය නිසා මේ රටේ භූමිය පිළිබඳ මනා අවබෝධයක් තිබිණි.

එසේම තවත් විවිධ තනතුරු සඳහා පත්කරන ලද ඇතැමුන්ට විෂය ප‍්‍රාමාණික දැනුමද තිබිණි. එහෙත් මේ කිසිවකුටත් බහුතරයක් වූ රටේ දුප්පතුන්ගේ දහදිය කඳුළුවල වේදනාව සහ උණුසුම පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබිණි.

  • ජනපතිට අහිමිවූ සහයෝගය

හරිනම් ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී ඉල්ලා සිටිය යුතුව තිබුණේ ආණ්ඩුවේ මැති ඇමැතීන්ගේ සහ මෙකී රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම අද ජනාධිපතිවරයා වටේට සිටිමින් කටයුතු කරන පිරිසේ සහයෝගය ය. අපට දැනෙන සහ පෙනෙන අන්දමට නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බලයට පැමිණි දා සිටම අහිමි වී තිබෙන්නේත් රටේ ජනතාවට නොලැබුණේත් මේ කියන පිරිසේ සහයෝගය ය.

ජනාධිපතිවරයාට තවත් තෙවසරක ධුර කාලයක් ඉතිරිව තිබියදී ඇතැමුන් අද ඉතිහාසයේ සිටි රජකුගේ නමක්ද සඳහන් කරමින් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂ නොව බැසිල් රාජපක්‍ෂයන් යැයි සඳහන් කිරීමෙන්ම පෙනී යන්නේ මේ ඇත්ත නොවේද?

ජනපතිවරයා සමීපයේ සිටින ඇතැමුන් අද කරනුයේ රටේ ජනතාවත්, ජනාධිපතිවරයාත් අමතක කරමින් මීළඟ මැතිවරණයකදී කොහෙන් කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගීමේ අරමුණු ඇතිවාක් මෙන් රජයේ ඉන්ධන ටික ගෙන රජයේම වාහනවලින් රටපුරා ගොස් පන්සල් වන්දනාවක යෙදීමය.

අදටත් සියල්ල ඒ අන්දමටම මිස ඉන් එහා සිදුවන දෙයක් නැත. එම තත්ත්වය තුළ කෙරෙමින් තිබෙන්නේ වත්මන් අර්බුදය ඉදිරියේ සියල්ල තව තවත් අයාලේ යමින් ගැටලූ සාගරයක් නිර්මාණය වීමය.

  • ඉන්ධන පෝලිම සහ කෑන් පෝලිම

ඒ බව සනාථ කිරීමට ඇති එක් පැහැදිලි උදාහරණයක් ලෙස මේ දිනවල රට පුරා ඉන්ධනහල් ඉදිරිපිට ඇති දිගු පෝලිම් පෙන්වා දිය හැකිය. ඉන්ධන ලබා ගැනීමට පෙළ ගැසී ඇති රථවාහනවලට අමතරව එම පෝලිම් තුළ දක්නට ඇති එක් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ඉන්ධන පුරවා ගැනීම සඳහා ප්ලාස්ටික් කෑන් අතින් ගත් විශාල පිරිසක් ඉන්ධනහල් ඉදිරිපිට රැඳී සිටීමය.

මේ පිරිස නිවසේ ළිප දැල්වීමට භූමිතෙල් ලබා ගැනීම සඳහා පැමිණියෝ නොවෙති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඞීසල් හෝ පෙට‍්‍රල්ය. මේ රටේ සෑම නිවසකම මෝටර් රථයක් තිබෙන්නේදැයි සිතෙන තරමට එසේ රැඳී සිටින පිරිස අති විශාලය.

එම තත්ත්වය නිසාම ඉකුත් දිනක අපි මෙරට වෙළෙඳ පොළේ නිරීක්‍ෂණයක යෙදුනෙමු. එහිදී පැහැදිලිව අනාවරණය වූයේ ලීටර් 15-20 ප‍්‍රමාණයේ ප්ලාස්ටික් කෑන් වෙළඳ පොළේ අවසන්ව ඇතැයි යන්නය. ඒ සියල්ල එකවරම අලෙවි වී ඇත. ඉන් කියැවෙන්නේ කුමක්ද?

ඉන්ධන ආනයනයට විශාල ඩොලර් ප‍්‍රමාණයක් වැය වන බව රහසක් නොවන්නකි. පවතින ඩොලර් අර්බුදය හමුවේ මේ වන විට එය විශාල ගැටලූවක් බවටද පත්ව ඇත. රටේ සැබෑ තත්ත්වය එසේ වෙද්දී මේ අන්දමට ඉන්ධන හල් ඉදිරිපිට කෑන්වලට ඉන්ධන ලබා ගනුයේ සැබෑ ලෙසම රථවාහන ඇති පුද්ගලයන්දැයි ආණ්ඩුවේ දේශපාලනඥයන් හෝ නිලධාරීන් කිසිවකුත් සොයා බැලූවේද?

එසේ සොයා බලනු වෙනුවට ඇතැම් දේශපාලනඥයන් නම් ප‍්‍රසිද්ධියේ රටට කීවේ තමන් කාලයකට අවශ්‍ය ඉන්ධන තොග රැස්කරගත් බවය. ඉතින් තවත් කවර කතාද?

ඉන්ධනහල් ඉදිරිපිට රැඳී සිටිමින් මේ අන්දමට පෙට‍්‍රල් සහ ඞීසල් තොග රැස් කරනුයේ වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් බව පැහැදිලිවම අනාවරණය වී තිබෙන්නකි. බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතාද ඉකුත් දිනක ඒ බව පැවසීය.

  • ආණ්ඩුවේ අසමත්කම

එහෙත් රට කොතරම් අර්බුදයක තිබුණද අද මේ තත්ත්වය පාලනය කර ගැනීමට රජය අසමත්ව ඇත. ග‍්‍රාමසේවා නිලධාරීන් මට්ටමින් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරුණේ නම් ඇත්ත නැත්ත පහසුවෙන් අනාවරණය කරගනිමින් මෙය වළක්වා ගත හැකිය. එහෙත් කිසිත් කරන්නට කිසිවකුත්ම නැත.

සිදුවෙමින් තිබෙන්නේ ඉන්ධන සැපයීම හමුවේ ඩොලර් අර්බුදය තව තවත් උග‍්‍ර වෙද්දී දිනෙන් දින ඉන්ධන පෝලිම් දිගුවී සියල්ල අවුල් වීමය. එහිදී විඳවන්නේ සාමාන්‍ය ජනතාවය. රටක් පාලනය කිරීම යනු මෙවැන්නක්ද? හැටනව ලක්‍ෂයක මිනිසුන් මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ මෙවැනි විලම්භීත වැඩ දකින්නටද?

  • රුපියල සමඟ පාවෙන ජනතාව

නගුටෙන් මහා සාගරය ඉසින්නට ගිය ලේනියගේ උත්සාහය මෙන් රුපියලේ අගය රැක ගැනීමට පසුගිය කාලයේ නිරර්ථක වෙහෙසක යෙදුණු ආණ්ඩුව අවසානයේ රුපියල පාකර හරින්නට කටයුතු කරනු ලැබුවේ නොබෝදාය.

ආණ්ඩුව අද කියන්නේ උද්ධමනය පාලනය කර ගනිමින් ජනතාවට යම් පහසුවක් ඇතිව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකිවන පරිසරයක් ඇති කිරීම සඳහා එසේ රුපියලේ අගය රැක ගැනීමට කටයුතු කළ බවකි.

රුපියලේ අගය රැක ගන්නට කටයුතු කරන කාලයේ විටින් විට විවිධ භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරමින් මිල පාලන ගැසට් නිකුත් කළ රජය පසුව ඒවා එකින් එක රිවස් කිරීමටද කි‍්‍රයා කළේය.

ආණ්ඩුවේ එම ව්‍යායාමයේදී අදාළ කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ ඇති පදම් භාණ්ඩ තොග මෙරටට ගෙන එනු ලැබීය. කන්ටේනර් දෙතුන් දහස ආදී ලෙසින් එලෙස භාණ්ඩ තොග ආනයනය කළ ඔවුහු පසුව ඩොලර් නැතැයි පවසමින් ඒවා කොළඹ වරායේ ගොඩගැසූහ.

එසේ වරායේ භාණ්ඩ ගොඩගැසෙද්දී වරින් වර ඒවා නිදහස් කර ගැනීමට මහ බැංකුව ඔවුන්ට ඩොලර් නිකුත් කළ අතර ආණ්ඩුව රුපියල පාකරනු ලැබුවේ අවස්ථා හතර පහකදීම ආනයනකරුවන්ට එසේ විශාල වශයෙන් භාණ්ඩ තොග ගෙන ඒමට ඉඩක් ලබා දීමෙන් අනතුරුවය.

දැන් රුපියල පාවෙන්නේය. ජනතාවට සිදුව ඇත්තේ එසේ පාවෙන රුපියල් රැගෙන දිනෙන් දින ඉහළ යන බඩුමිල සමඟ අහසේ පාවෙන්නටය. රුපියල රැක ගැනීමේදී පැවති ඩොලර් අගය මත අදාළ භාණ්ඩ ආනයනය කළ ආනයනකරුවෝ ඒවාට දැන් රුපියල් 270 ක් දක්වා ඉහළ ගිය ඩොලර් අගය මත මිල නියම කරමින් අලෙවි කරන්නාහ.

  • ජනතාව මඩවන වෙළඳ මාෆියාව
බඩු මිල ඉහළ යන්නේ ඩොලර් අර්බුදය නිසාමද?

මෙය දැවැන්ත මාෆියාවක් බවට මේ මොහොත වන විට පත්ව ඇත. ඇතැම්විට දේශපාලනඥයන්ටද මේ ලබන ලාභයේ කොටස් හිමි වනවා විය හැකිය. විය හැකිය නොව මේ රටේ සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමය. මෙම තත්ත්වය හමුවේ අද දුක් විඳින්නෙ රටේ සාමාන්‍ය ජනතාවය. පාරිභෝගික සේවා අධිකාරියක් අපට ඇත. අවශ්‍ය නම් මේවා පාලනය කළ හැකිය. එහෙත් එසේ වන්නේ නැත. ආණ්ඩුව කියන්නේ බොක්කෙන්ම රුපියල රැක්කේ ජනතාවගේ හිතසුව පිණිස යැයි කියාය. ඒ අස්සේ මුදලාලිලා මහ බැංකුවම දුන් ඩොලර්වලින් බඩු ගෙනාවේය. දැන් ඩොලරය පට්ට ගණන්ය. ඒ ගණනට අනුව පරණ බඩුවල මිල තීරණය කරන්නේ මුදලාලිලාය. ඒවා ගැන හොයන්නට ගොස් අනවශ්‍ය දේට ඇඟිලි නොගැසිය යුතුයැයි ආණ්ඩුව කල්පනා කරනවා වන්නට ඇත. ඇතැම්විට ඇඟිලි ගසන්නට දැන් දෙයක් ඉතිරිව නැතැයි කියාද ආණ්ඩුවට සිතෙනවා විය හැකිය. දැනගන්නට ඇති පරිදි නම් සිදුව තිබෙන්නේ ආණ්ඩුව සිතා මතාම සියල්ල අතහැර දැමීමය. ඒකත් නරකම නැත.

මේ අනුව බලන කල රටේ මිනිස්සු කොච්චර අවාසනාවන්තයෝද? කනගාටුවට කරුණ වන්නේ ජනාධිපතිවරයා අද ඒ අවාසනාවන්තයන්ගෙන්ම රට ගොඩනඟන්නට සහයෝගය ඉල්ලීමය.

  • පාන් ගෙඩියට ගිය කල

මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ආහාරයක් සේ තිබූ පාන් ගෙඩියටද ඉකුත් දිනවල සිදු කෙරුණේ මෙවැන්නකි. පා කළ රුපියල සමඟ ඩොලරය රුපියල් 270 ක් දක්වා ඉහළ යද්දී මෙරටට පාන් පිටි ආනයනය කරනු ලබන සමාගම් දෙක එක්ව පාන්පිටි මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබිණි.

රුපියල් හතළිහකින් පමණ එසේ පිටි මිල ඉහළ ගියේය. ඒ සමඟම කි‍්‍රයාත්මක වූ බේකරි හිමියෝ රුපියල් අසූවක්ව තිබූ පාන් ගෙඩියක මිලද රුපියල් තිහකින් ඉහළ දැමූහ. දැන් පාන් රුපියල් 110 ක් වටිනා සුඛෝපභෝගී අහරක් බවට පත්ව ඇත. පාන් මිල එසේ ඉහළ යද්දී කුස හිස් වුණේ දුප්පතුන්ගේ හා පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ ය.

එය කොතරම් සමාජයට දැනී තිබෙන්නක්ද කිවහොත් අද සුපුරුදු ලෙස නිවෙස ආසන්නයට චූන් පාන් වෙළෙන්දෝ එන්නාහ. එහෙත් එහි නළා හඬට උඩුබුරන බල්ලන් හැරෙන්නට පාන් ගන්නට කිසිවකුත් නැත. ඉඳහිට පාන් ගෙඩියක් හෝ වෙන යමක් ගන්නේ පෙරදා යාන්තමට හෝ වැඩිපුර ගතම් එකක් සොයා ගත් අය පමණය.

බොහෝ දුරට නිවාසවල මේ වන විට සිදුවන්නේ උදේ අහරට පාන් වෙනුවට වැයබර අඩු දෙයකින් කුස පුරවා ගැනීමය. තවම මේ ජනතා හැසිරීම් හරියටම එළියට පැමිණියේ නැත. එහෙත් මේ යන විදිහට ඉදිරියේදී රටේ ජනතාවට ජීවත් වීම සහ කුසගින්න ඉදිරියේ ලැජ්ජා නහර අමතක වූ විට ආණ්ඩුවට එරෙහිව රොද බැඳගෙන වීදි බැසීම නතර කරන්නටද නොහැකි වනු ඇත.

  • ඉහළ ගිය ආහාර මිල

පාන්වලටම අදාළ අනෙකුත් බේකරි කෑමවල තත්ත්වයද එසේමය. පුදුම වැඬේ වී තිබෙන්නේ එක එක තැන්වල ඒවායෙහි මිල ගණන් එක එක විදිහේ ඒවා වීමය. නිකමටවත් අතේ අඩුමුදලක් තබාගෙන ගොස් පරණ පුරුද්දට මිල නොවිමසා ඒවා ලබාගෙන අනුභව කළහොත් අවසානයට සිදුවන්නේ මුදලාලිගේ වළං පිඟන් හෝදන්නටය.

ආණ්ඩුව රුපියල පාකරන්නට පෙර මේ රටේ ඉදියප්පමක් අලෙවි කෙරුණේ රුපියල් හතරක වැනි මුදලකටය. අද එය රුපියල් හතකි. ඉදියප්පම් දහයක් රුපියල් හැත්තෑවකි. දිවා ආහාරය ලෙස ගන්නා බත් පාර්සලයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 220 ක මුදලකටය.

ගණන් ගිය එළවළු ටික ඇත්තේ ද එවන් තැනකය. ශී‍්‍ර ලංකාව දූපතකි. රට වටේම ඇත්තේ මුහුදය. එහෙත් මුහුදෙන් අල්ලන මාළුවලට මුදලාලි මිල නියම කරන්නේද ඉහළ ගිය ඩොලරයට සාපේක්‍ෂවය. තත්ත්වය මෙසේ වෙද්දී දැන් යළිත් ගෑස්මිල ඉහළ යෑමක් පිළිබඳවද කියැවෙමින් ඇත.

  • ආණ්ඩුව සහ මාෆියාවේ ගොදුරු

රටේ ආර්ථික අර්බුදයක් ඇතිවී වර්තමානයේ පවතින ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වූ විට මේ අන්දමට කටයුතු සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව දැන් මෙහිදී ඇතැමෙකුට තර්ක කළ හැකිය. එහෙත් අද මෙරට වෙළෙඳ පොළ තුළ මේ නිර්මාණය වී තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්ද?

කිසිසේත්ම නැත. මේ සිදුවෙමින් තිබෙන්නේ පාලනය කිරීමට හැකියාව තිබියදී ආණ්ඩුව බකන්නිලා සිටීම නිසා රටේ ජනතාව වෙළෙඳ මාෆියාවක ගොදුරු බවට පත්ව දුක් විඳීමය. මහා පරිමාණ මුදලාලිලා දුකට පත් ජනතාව ගසා කද්දී ඇස්පනාපිට සිදු වෙමින් තිබෙන අවනඩුවක්මය.

  • විදුලි බිල කොයිබටද?

මේ අන්දමට ඉදිරියේදී විදුලි බිලද විශාල වශයෙන් ඉහළ දැමිය යුතු බවට දැනට යෝජනා වී ඇත. ඒ කියන ආකාරයට විදුලි බිල ඉහළ දැමුවහොත් නැවත විදුලිය කප්පාදුවක් කිරීමට නම් රජයට සිදු නොවන්නේය. මන්ද විදුලිබිල හමුවේ ස්වයං විදුලි කප්පාදුවක් පවත්වාගෙන යෑමට ජනතාවට සිදුවන නිසාය.

එදාට ජනතාව කළුවරේ බලා සිටිනු ඇත. එසේ බලා සිටීමේ අවසන් ඉලක්කය මේ පාලනය අතුගා දැමීම වීම නම් කිසිවකුටත් වළක්වා ගත නොහැකි වනු ඇත. විදුලි බිල ඉහළ නොදැමුවද දැනටක් එය සිදුව තිබෙන්නකි. මන්ද අද රජය කෙරෙහි පෑරි ඇති ජනතා සිත්වල තිබෙන කෝපය ඒ තරමටම බරපතළය.

  • ඖෂධ අර්බුදය

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉදිරියේදී තව තවත් ගැටලූ නිර්මාණය වන බව දැනටමත් ඇතැම්හු සඳහන් කරන්නාහ. ඒ අතරින් එක් ප‍්‍රධාන කරුණක් වන්නේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවට අනාවැකි කියැවෙමින් තිබීමය. එවැන්නක් සිදුවුවහොත් මේ යන ආකාරයට එදාට බොහෝ දුරට මෙරට ඖෂධ මිල තීරණය කරන්නා ඖෂධ මුදලාලි විය හැකිය.

ලෝකයටම කොරෝනා ඇවිත් යද්දී රටක් වශයෙන් අප පමණක් මෙසේ ඇන ගැනීම හමුවේ දිනෙක ඖෂධ මුදලාලි ඖෂධ මිල තීරණය කරන තත්ත්වයක් ඇති වුවහොත් ජීවත්ව සිටිනවාට වඩා මියැදීම හොඳයැයි ජනතාවට ඒකාන්තයෙන්ම සිතෙනු ඇත.

අප එසේ කියන්නේ කෙරෙන කටයුතු සියල්ල හමුවේ කළ මෝඩකම් හා මුහුණ දීමට සිදුව තිබෙන නවනිංගිරාව හේතුවෙන් සමස්ත ජනතාවට කෙසේ වෙතත් එසේ වැළලී යෑමට ඇත්නම් හොඳයැයි කල්පනා කිරීම හැර වෙන කරන්නට දෙයක් අද හැටනව ලක්‍ෂයට නැතුව ඇතැයි අපට නිකමට මෙන් අපට සිතෙන නිසාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment