බණ්ඩාරගමදී දෙදෙනකුගේ අත් කැපුවේ කෝටි 40 කුඩු ඔත්තුව දුන් නිසාලූ

1368

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී පෙරේදා (18දා) තියුණු ආයුධ ප‍්‍රහාරයට ලක්වූයේ රුපියල් කෝටි හතළිහකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව ලබාදුන් පුද්ගලයා බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තියුණු ආයුධ ප‍්‍රහාරයෙන් එම පුද්ගලයාගේ දෑත්වලට බරපතළ තුවාල සිදුවී හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබූ අතර, එක් අතක් පමණක් තුවාල ලැබූ පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

මීට දින කිහිපයකට පෙර රිමාන්ඞ් භාරයෙන් නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුවකු ගේ නිවස ආසන්නයේදී මෙම තියුණු ආයුධ ප‍්‍රහාරය එල්ල වී තිබුණේ බණ්ඩාරගම මස්විල ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටය. තුවාල ලද දෙදෙනා සමඟ තවත් පුද්ගලයකු ත‍්‍රිරෝද රථයේ පැමිණි බවට තොරතුරු අනාවරණය වුවද සිද්ධියෙන් අනතුරුව එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නැතැයි පොලිසිය කියයි.

තියුණු ආයුධ ප‍්‍රහාරයෙන් අනතුරුව එක් පුද්ගලයකු ලේ පෙරෙන තුවාල සහිතව පොලිසියට ගොස් තිබූ අතර දෑත් දෙකම බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයා මාර්ගය දිගේ දිව ගොස් වල්ගම සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ ඇදවැටී තිබුණි.

එම තියුණු ආයුධ ප‍්‍රහාරය සඳහා පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද එම යතුරුපැදියේ මීට දින කිහිපයකට ඉහත නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුද සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා කීය.

බරපතළ තුවාල ලද බණ්ඩාරගම මස්විල ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනා සූක්ෂම ලෙස වල්ගම සුනාමි නිවාස සංකීර්ණය වෙත ගෙන්වා ගෙන මෙම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ පෙරේදා (17දා) දිනයේය.

මෙරට හෝ විදේශගතව සැඟව සිට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ උපදෙස් මත මෙම අපරාධය සිදුකර ඇතැයි ද ඉකුත් වසරේ අග භාගයේ දී පානදුර උතුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි පහරට ලක්ව ඝාතනය වූයේ ද එම ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදීමට පළිගැනීමක් වශයෙන් බවටද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වන විට ප‍්‍රදේශය හැර පලාගොස් ඇති අතර ඊයේ (18දා) විශේෂ පොලිස් කණ්ඩායමක් එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කර සුදු යකඩ පොල්ලක් සහ තියුණු ආයුධ කිහිපයක් සොයා ගෙන ඇත.

බණ්ඩාරගම පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් අදාළ සැකකරුවන් අත්අඩංගුවට යොදවා ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී එච්. එම්. පී. බී. විජේසිරි යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ආර්. ගුණසේකර, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වල්පොල යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment